Thursday, June 26, 2014

සේකර මහත්තය ස්ටේෂන් එකේ දැකපු කාලේ ඔහුගේ ගීතයක් ගයන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ - සුනිල් එදිරිසිංහ

 
පින්තූරය: චන්දන විජේසිංහ www.nation.lk




අපි සියල්ලෝම සිහින දකින්නෝ වෙමු.   නමුත් අප දකින සිහින සැබෑ  කරගෙන ඒ පිළිබඳව උදම්  අනන්නට හැකි වන්නේ අප අතරින් අතලොස්සකට පමණකි. සුනිල් එදිරිසිංහයන්ද කුඩා අවදියේදී සිහිනයක් දුටුවේය. ඒ කවරදාක හෝ ගායකයෙක් වීමට ලැබේවා යන්නයි. ඔහුගේ සිහිනය සැබෑ වුවා පමණක් නොවේ. ඔහු එම සිහිනයේ හිනිපෙත්තටම නැග්ගේය; ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ ගායකයා වුවේය.  සිංහල ගීත රසවිදින සියල්ලන් පාහේ  ඔහුගේ කටහඩට ආසා  කරයි. ගීත වලට පෙම්  බඳියි. සිහින සැබෑ  කරගන්නට ඔහු පැමිණි මාවත දිගුය. ඒ සදහා විවිධ  කැප කිරීම් සිදුකිරීමට ඔහුට සිදුවිය. ඒ සඳහා අවශ්‍ය දක්ෂතාවද ඔහු තිබිම ඔහු ආමග පහසු කරවන්නක් විය. එම දක්ෂතාවය හදුනාගන්නට ඔහුට නිබඳව කලන මිතුරු ඇසුර ලැබුණු බව ඔහු පවසයි.  තමන් කරනා ඕනෑම දෙයක සාර්ථකත්වය කලණ මිතුරු ඇසුර,  සහජ දක්ෂතාව මෙන්ම කැප වීම මත තීරණය වන බව සුනිල් එදිරිසිංහයන් තරයේ  විස්වාස කරයි.  

සුනිල් එදිරිසිංහ උපන්නේ  කැලණිය, නුoගමුගොඩ ග්‍රාමයේය. 1959 වසරේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඇතුලත් වන ඔහු 1969 වසරේදී උසස් අධ්‍යාපනය නිමකර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙහි රැකියාවකට බැඳුනේය.  තමන්ගේ සාර්ථකත්වයට පවුලෙන් ලැබුණු සහය අපමණ බව ඔහු සිහි කරයි. "මගේ දෙමවුපියන් නිරතුරුවම කලාව අගය කරපු අය. මට මතකයි, මම කුඩා කාලේ අම්මා නිතරම කවි ගීත ගායනා කරනවා. ඇයට හරි අපුරු කටහඩක්  තිබුනා. මේ උනන්දුව නිසාම වෙන්න ඇති අපේ පවුලේ දරුවන්  සියලු දෙනාම කලාවට යොමු වුනේ." සුනිල් එදිරිසිංහ මහතා අට  දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයය. පිලිවෙලින් ඔහුගේ වැඩිමල් සහෝදර පී ඩී  එදිරිසිංහ පළමුවත්, ඉන් පසුව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාත් කළා ක්ෂේත්‍රයට ඇතුළු විය.

"මම පුංචි කාලේ, අක්ක සංගීත පන්ති යනකොට අක්කගේ තනියට යනවා. මේ යන ගමන් වලදී මකුලොලුව මහත්තයාගේ ජන සංගීතයත්, අමරදේව මාස්ටර්ගේ රාග  වලටත් හොරෙන් ඇහුම්කන් දෙන්න මට අවස්ථාව ලැබෙනවා. මේ විදියට අල්ලගන්න රාග මම ගෙදරදී තනියම පුරුදු වුණා. ඒ විදියට තමයි මුලින්ම මම සංගීතය ඉගෙන ගත්තේ. ඒ වගේම ඒ කලේ හේවුඩ් එකේ ඉගෙන ගත්තු නිමල් අයගේ මිත්‍රයෝ නිතර අපේ ගෙදරට අවා ගියා. ඒ අයගෙනුත් මම බොහෝ දේ ඉගෙන ගත්තා," ඔහු අතීතය ආවර්ජනය කළේය.  "මගේ පළමු රසිකයෝ උනේ  මගේ පවුලේම අය. සමහර දින වලදී අම්ම හරි තාත්තා හරි මට කතා කරලා, ඔලුවත් අත ගාල මට කවියක් හරි ගීතයක් හරි ගායනා කරන්න  කියනවා. ඊට පස්සේ එකේ ගුණාගුණ කියා කියා වර්ණනා කරනවා. මට පවුලෙන් ඒ ලැබුන වර්ණනා නිසා තමයි මාව මේ තරමට දිරිමත් උනේ. ඒ ලැබුණු දිරිමත් කිරීම් ඕනෑම දරුවෙකුට ලැබීම විශාල භාග්‍යයක්." පවුලේ අයගේ සහය ගැන කතාබහ කරන අතර තුරදී ඔහු තමන්ට පාසලේ මිතුරන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රශංසාවන්ද  මතකයට  නැගුවේය.

ඔහු වාසනාව පිළිබඳව දිගින් දිගටම ඉඟි කරයි. ඔහු තමන් ගායනය කල පළමු ගීතයම ප්‍රසිද්ධියට පත් වීමද තමන්ගේ වසනා ගුණය පිලිබඳ ඉගියක් දෝ සිතයි.  ඔහු සංගීත ක්ෂේත්‍රයට පා තබන්නේ,  ඒ 1970 වසරේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්  අධ්‍යක්ෂණය කරන ලද 'මාතර ආච්චි' චිත්‍රපටයට තේමා ගීතය ගායනය කිරීමෙනි. " 'සඳකඩ පහනක කැටයම් ඔපලා...' ගීතය වොලී නානායක්කාර මහතා රචනා කල පළමු චිත්‍රපට ගීතය වගේම ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පළමු සංගීත රචනාව. ඒ වගේම සතිස් අයියාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. ගීතය වගේම චිත්‍රපටයත් සාර්ථක  වුනා. සංගීත ක්ෂේත්‍රයේ මේ ගීතය අදටත් හදුන්වන්නේ සිව් කුළුඳුල් ගීතයක් විදියටයි. නැවත එවැනි සිව් කුළුඳුල් ගීතයක්  බිහිවුණු බවක් මට මතක නෑ . නවකයන් විදියට අප සිව් දෙනාටම මේ චිත්‍රපටය අභියෝගයක් වුනා. නමුත් අපි ඒ අභියෝගයට හොදින් මුහුණ දුන්නා." 




මේ ගීතයෙන් ඔහුගේ හැකියාව හඳුනාගත ප්‍රවීනයන්  කිහිපදෙනෙකුගෙන්ම සංගීතය හදාරන ලෙසට ඔහුට අවවාද ලැබෙන්නට වූ අතර, එම අවවාද හිස් මුදුනින් පිළිගත් තරුණ සුනිල්, එකල කීර්තිමත් සංගීත  ගුරුවරයෙකු වූ පී වී නන්දසිරි මහතා යටතේ සංගීතය ඉගෙන ගැනීම  ආරම්භ කළේය. 1980 වසරේදී ගුවන්විදුලි සංස්ථාවට පය තබන ඔහු ශ්‍රේණිගත ගායකයෙකු බවට පත් වුනා. එමෙන්ම, ඔහුගේ සංගීත දිවියේ කලණ මිතුරන් යයි ඔහු නම් කරන කුමාරදාස සපුතන්ත්‍රී සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ද ඔහුට මුණ ගැසෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ දීයි. 



 තැටිගත කල පළමු ගීතය ගායනා කර වසර 45ක් පමණ ගත වුවද සුනිල් එදිරිසිංහ කලාකරුවානන්  තමන්ගේ ගීත වල තත්ත්වය නොවෙනස්ව තබා ගැනීමට හේතු වූ කරුණ ලෙස දකින්නේද තමන් ඇසුරු කල කල්‍යාණ මිතුරන්ගේ ආභාෂය බව සඳහන් කළේය. "සපු සහ රෝහණ ඇරෙන්න, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි, කුලරත්න අරියවංශ. බණ්ඩාර ඇහැලියගොඩ, සිසිර විජේතුංග, බන්දුල නානායක්කාරවසම් සහ වසන්ත කුමාර කොබවක වැනි, මා වටා සිටි මිතුරන් නිරතුරුවම වඩා නිවැරදි දේ කිරීමට මා පෙලඹවුවා. මේ අතරින් මට වැඩිපුරම ගීත රචනා කර දීල තිබෙන්නේ සපුතන්ත්‍රී මහතා. ඔහුගේ ගීත රචනා හැටකට අධික ප්‍රමාණයක් මේ වන විට මම ගායනා කර  තිබෙනවා."   සපුතන්ත්‍රී මහතා ඔහු වෙනුවෙන් රචනා කල ගීත අතර හදේ  කොතැනක හෝ හිඳී  ඔබ නිදා නොනිදා මෙන්..., මිනිසා සුවඳයි මල සේ.., සන්තාප මාවතේ ... සහ නිදුකාණනේ... යන ගීත කෙතරම් ප්‍රබල දැයි අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.  





 




අන් කළා මාධ්‍යයන් හා සසදන විටදී, පුද්ගලයාගේ සිතුවිලි වලට ප්‍රබල බලපෑමක් කිරීමට ගීතය සමත් බව සුනිල් එදිරිසිංහයන් විශ්වාස  කරන්නේය. "මිනිසුන් නිතරම පාහේ සිටින්නේ පීඩාවෙන්. ගීතය එම පීඩාවට අස්වැසිල්ලක් විය යුතුයි. පොප් ඇතුළු බොහෝ ජනප්‍රිය ගීත මාධ්‍ය මගින් සිදුවන්නේ පුද්ගලයා එම පීඩාවෙන් තාවකාලිකව ඈත්කර තැබීම විනා විසදුමකට අත්වැලක් වීම නොවෙයි. සුභාවිත ගීත කලාවකින්  පුද්ගලයාට තාවකාලික සතුට වගේම  ඊට වඩා ගැඹුරු ජීවිතාවබෝදයක් ලබාගන්නට පුළුවන්. ඒ නිසායි ගීත රචකයින් වගේම ගායකයින් තමන්ගේ නිර්මාණ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ. වර්තමාන සිංහල ගීතය මේ රටාවෙන් පිට පැන තිබීම අපරාදයක්."  ගීතයක යටි අරුත තේරුම් ගැනීමට සියලු දෙනාටම  එක සේ හැකියාව නොමැති බවත්, මිනිසා තේරුම් ගැනීමට පහසු දේම පහසුවෙන් ග්‍රහණය කරගන්නා බවත් මෙවැනි පිරිස් වැඩි වීම හේතුවෙන් සුභාවිත ගීත කලාව පිරිහෙමින් පවතින බවත් වැඩි දුරටත් ඔහු අවධාරණය කළේය. මිනිසා යහමගට ගැනීමට අත්වැලක් වන ගීත පිළිබඳව කතා කීරීමේදී සුනිල් එදිරිසිංහයන් ගේ මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, බානෙන් බැඳී රජ රට පෙදෙසින්නේ, මිනිසෙකු පිට නැගී අසරුවෙකි වැනි ගීත කැපී පෙනෙයි. මේ අතරින් බානෙන් බැඳී රජ රට පෙදෙසින්නේ, මිනිසෙකු පිට නැගී අසරුවෙකි යන ගීත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනාවන්  වේ. 



එදිරිසිංහ මහතාගේ ගීත සියල්ලක්ම පාහේ රසවිඳින විට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනුයේ එම ගීතය තුලින් හෙතෙම පලකරන හැගීම් ය. එක ගීතයක් නෑරම  රසිකයාගේ සිතට කාවදින ලෙස ගයනා කිරීමට ඔහුට ඇත්තේ අපුර්ව හැකියාවකි. " යම් කළා නිර්මාණයක්ට සම්බන්ද වනවා නම් මට එයට අවංක විය යුතුයි. කලාවට බොරු කලොත් එය ඉක්මනින් වටහා ගත  හැකියි. කලාවට විතරක් නෙවෙයි යමෙක් නිරත වන ඕනෑම කර්තව්‍යයකට  පොදුයි. මට ගීත රචනාවක් ලැබෙන  මම එම වචන සහ නාද රටා යන දේ අංගයම පිළිබඳව හැදෑරීමක් කරනවා. එසේ නොකලොත් මට අවංකව එම ගීතයට සාධාරණයක් කරන්නට බැහැ . මම ජීවත් වෙන්නේ මේ ගීත රසවිදින රසිකයින් නිසා. ඔවුන්ට ලබා දිය හැකි උපරිමය ලබා දිය යුතුයි," ඔහු වැඩි දුරටත් විතර කළේය. 


එදිරිසිංහ මහතාගේ ගීත අතර තවත් එක සුවිශේෂී ගීතයක් ලෙස 'සීතල දිය පිරි සුනිල විලයි..' ගීතය සැලකිය හැකිය. මහගම සේකර මහතාගේ නොපළ ගීත කෘතියෙන් උපුටාගත් මෙම ගීතය ගයනා කිරීමට ලැබීම තමන් ජීවිතයේ තමන් ලද මහගු භාග්‍යයක් ලෙස සුනිල් එදිරිසිංහ මහතා සලකයි.  ඔහු එම ගීතය ගායන කරන විට මහගම සේකර මහතා ජීවතුන් අතරින් වෙන්ව සිටියත්, එය තමන් පුදුමයට පත් කල බව එදිරිසිංහ මහතා  පැවසුවේය. " මම කුඩා කාලයේ ඉඳලම සේකර මහත්තයා මගේ ලෝකේ වීරයන්  අතර ඉහලින්ම හිටි  කෙනා. පෞද්ගලිකව හදුනා ගන්නට  නොහැකි වුනත් කීප වාරයක් ඔහු දකින්නට මම වාසනාවන්ත උනා,"  ඒ මතකය අවධි කරන විට දැනටත් ඔහුගේ දෑස්  ප්‍රීතියෙන් දිලිසෙනු දැකගත හැකිය. " මම ඉස්සර රැකියාවට ගියේ කෝච්චියේ. මම වැල්ලවත්තෙන් නගිනවා. සේකර මහත්තය කොටුවෙන් නගිනවා. ඔහුව දැකපු දාට මට හරිම සතුටුයි. නමුත් ඒ අවදියේදී ඔහුගේ ගීතයක් මට ගායනා කරන්නට  ලැබේවි කියල මට හීනෙකින් වත් හිතුනේ නෑ ." 







English :http://www.nation.lk/edition/fine/item/28958-%E2%80%98art-can%E2%80%99t-be-faked%E2%80%99-sunil-edirisinghe.html

Friday, June 20, 2014

තව වෙහෙසවනු කිම?


පෙම් බැඳි  මුත් මහා සයුරට
වෙරලබඩ  සිට පාගනු මිසක රැල්ල
පවසට දිය බිඳක්
ලබන්නට නොහැකිය මට


ඒ නමුත් බිඳෙන පෙරලෙන
මුහුදු රැලි දෙස වශීකෘතව
මා බලා සිටියෙමි

මහා සමුදුර වෙතින් හමනා
සිසිල දනවන සුළං පරදා
ගිනි ගහන හිරු රැස්
දවාලයි මා දෑස
දෙතොල වියලී ඉරි තැලී
පිපාසය ගෙනදෙයි මහත් පීඩා

අහෝ තේජස් මහා සමුදුර
ඔබට නොහැකිය පවස නිවනට
කුඩා දිය පහරකින්
ලදොත් මා දිය බිඳක්
නිමවේය මේ පවස 
පෙරලෙන ඔබේ රළ බලා 
තව වෙහෙසවනු කිම
සොයා යන්නෙමි 
සිසිලස පිරුණු  කුඩා දිය දහරක් ...