Monday, October 20, 2014

උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්

කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි සල්ලි ටිකකට ලොකු රණ්ඩුවක් අල්ලන්න සිද්ධ වෙන්න පුළුවන් කමක් තියන නිසාත් සමහර දවසට ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව කට පියන් එන හොඳ/නරක පුරුද්දක් මට තියෙනවා. සමහර විට මේක වෙන්නේ අමතක වීමත්, වෙනම ලෝකෙක ජීවත් වීමත් හින්ද. (රුපියල් සීය දීල ඉතුරු නොගෙන බැහැපු අවස්ථා ගැන කතා නොකර ඉමු)

මේ වගේ කාරණා  නිසා යාළුවගේ උපදෙස මට හොඳට මතක හිටියා. උපදෙසට මුල් වෙච්චි කාරණාවට මොනවා වුනත්, දැන් මට බස් එකේ යද්දී ඉතුරු ගන්න අමතක වෙන්නේ නෑ . ඉතුරු ඉල්ලගන්න තියන දවසට ඔලුවේ ඔය වචන ටික තැටිය එක තැන කැරකෙන සින්දුවක් වගේ.

අදත් ඒ වගේ දවසක්. 25ක ටිකට් එකට  (ඇත්ත ගාන 24 යි. මට ඉතුරු රුපියල ලැබිච්චි දවසක් නෑ ) මම රුපියල් 50ක් දුන්න කොන්දොස්තර අයියාට*. මාරු නෑ  කියල එයා රුපියල් 5ක් ඉල්ලුව. මේ දවස් වල මාරු සල්ලි අර්බුදයකට මුණ දීල ඉන්න නිසා මට දෙන්න 5ක් තිබ්බේ නෑ. ඉතුරු දුන්නෙත් නෑ. මුකුත් කිව්වෙත් නෑ. අයියා මාරු. එයා හිතන්න ඇති කන්නාඩි දාන නිසා එයාගේ අතේ තිබ්බ කාසි පේලිය මම දැක්කේ නෑ  කියල. හෑන්ඩ් ෆ්‍රී කනේ ගහන්  නිසා හිතන්න ඇති සාක්කුවේ කාසි හෙලවෙන සද්දේ ඇහෙන්නේ නෑ  කියල. එත් මම දැක්ක. මට හොඳට ඇහුණා. බස් එකේ ගමනාන්තයටම මමත් යන නිසා පස්සේ ඉල්ලගන්නම් කියල මම හිත හදාගත්ත.

දැන් කිලෝමීටර් 12ක් විතර දුර එනකම්ම යාළුවගේ වචන මට මතක් වෙනවා. ඔලුවට හරි වදයක්. බැරිම තැන කිලෝමීටර් 9-10 කට විතර පස්සේ මම ඉතුරු සල්ලි මතක් කළා. ලැබුනද? නෑ!

එවෙලේ නම් පැහැදිලිවම අයියා අතේ මාරු තිබ්බ. එයාට දෙන්න ඕනේ කමක් නෑ. රුපියල් පහේ කතාව අහල අයියා අපහු මාරු.

ඉන් පස්සේ එයා කීප සැරයක් මං  හිටි තැනින් එහා මෙහා ගියා. වැරදිලාවත් මගේ දිහාවේ නොබලන්න එයා පරිස්සම් උනා. මමත් දිගටම රවාගෙන ආවා. වැඩ ඇරිලා එනකොට මහන්සියි. හොරෙක් බෑග් එක අරන් දිව්වත් අරන් පලයන් කියල නිකම් ඉන්න තරමට මහන්සියි. ඉතින් රුපියල් 25කට වචන නාස්ති කරන්න බැහැ.

අනික සමහර දාට බස් එකට නගින හිඟන අයට  රුපියල් 20 ට වඩා දෙන වෙලාවල් තියනවා. ඒ නිසා ඕක නොලැබුනත් හිගන්නෙක්ට දුන්න කියලා හිත හදාගත හැකි.

හැබැයි මට කේන්තියි. ඉල්ලලත් මාරු නොදෙන්න තරම් උගේ කොන්ද හයියයි. මොකද මූට කරන්නේ, මගේ ඔලුවට තවත් අමාරුයි. අන්තිමේ මම තීරණයක් ගත්ත අපහු ඉතුරු නොඉල්ලන්න. එයා මාරු නොදී මාරු වුනේ තියන හොර හිතට. මම බලෙන් ඉතුරු ඉල්ල ගත්තොත් එයා හොරෙක් වෙන්නේ නෑ.

 "උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්" කොන්දොස්තර නැති දොර බලලා බස් එකෙන් බැහැල එන ගමන් මගේ ඔලුවේ තිබ්බේ ඔය වචන ටික.

Sunday, October 12, 2014

පැහැසරණී: සර්ප සෙනෙහස

එකම කවිය කීපසැරයක් ලියන්න වෙනවා ඉතින්. මක් කරන්නද :/



පැහැසරණී: සර්ප සෙනෙහස: විෂ දළට බියෙන් තනිකර දමා ගිය සැපින්නක් ලඟට ගෙන ලෙන්ගතුව කිරි පෙව්වෙමි. කෑදරව කිරි බිවු සැපින්නද මට පෙරළා ආදරය පෑවාය. එයින් මසිත ද ඔද ව...