Thursday, November 21, 2013

අළුත් පොතේ - පරණ අකුරු

රළු පරළු වී ගිය
අකුරු බොඳ වී ගිය
පොතක් මා ලඟ විය
නිතර තනිවට කියවිය

කාලය ගෙවි ගිය
පොතද අතටම දිය විය
පැරැණි පිටු ගැලැවිය
අළුත් පොතකට කල් විය

පැරැණි පොත වෙත සමු දී
අළුත් පොතකට සිත දී
රැගෙන විත් බර දී
අළුත් පිටුවක් පෙරැලී

පෙරළුනු අළුත් පිටුවේ
පැරැණි අකුරුය තිබුනේ
ඝනැති හම් කවරේ
නොමැත වෙනසක් කෙරුවේ

Sunday, November 17, 2013

උඹේ ගවුම


නංගිගේ ගවුමේ කටු සටහන
නංගියේ ඔය ගවුම
උඹෙ ඇඟේ හැඩේමයි
පවිටු තැන් කිළිටි තැන්
සඟවන්න අමාරුයි.

තරුණ ඇස්, මහළු ඇස්
අමුතු ඇස් මහ ගොඩයි
ගවුම් කර විනිවිදත්
ගියපු බව සහතිකයි

(උඹේ හෙට දවස ගැන
අනෙ නඟේ මට බයයි...)

Tuesday, November 5, 2013

අයිතිය






 'ගැහැණිය අයිති මිනිසාටයි' යන්න
වැටහුණු දා පටන්
මා අයිති ඔබට යැයි
මා සිතා උන්නෙමි...

ගොඩනැගූ මනෝ මන්දිර
බිත්ති සැරසු රූ සියල්ලෙහි
මගේ තනි රකිමින්
නිබඳ ඔබ මා අසළ විය...

මා ඔබෙ ගැහැණිය නොවන බව
ඔබ මට පසක් කර දුන් දිනයේ
මනෝ මන්දිර සියල්ල
ක්ෂණයෙන් බිඳී සමතලා විය...

ඔබට හිමි යැයි මා සිතා උන්
මගෙ අයිතිය
මටද අහිමිව ගිහින් ඇති බව
ඉතින් මට වැටහී ගියේය...