Thursday, December 25, 2014

අපි නොකළ වරදකට අපට දඩුවම් නොකර, තාත්තා විතරක්ම අනේ ආපහු දෙන්න!


අවුරුදු දහයක් ගත වෙලා උනත් අපිට තවමත් සුනාමි අමතක නැහැ. හොඳ නොවුණු පරණ තුවාලයක් වගේ සැරින්  සැරේ පෑරිලා රිදෙන්න ගන්නවා. අද, 2014 දෙසැම්බර් 26, ඒ වගේ තුවාල පෑරෙන දවසක්. අවුරුදු දහයකට පස්සේ උනත්, මුහුද ගොඩගලනවා ය, මිනිස්සු මුහුදු රළට යට වෙලා ය කියල රුපවාහිනියේ පෙන්නපු රූප, ඊයේ දැකපු දේ වගේ.

කොහොම වුනත් මේ පොස්ටුව ලියන්න ගත්තේ ආපු සුනාමි රළ ගැන කියන්න නෙවෙයි.

අනෙක් ඕනෑම පොදු ව්‍යසනයකදී වගේම සුනාමියෙන් පස්සෙත් ඒ ආශ්‍රිතව පොත්පත් ලියවෙන්න ගත්ත. කවි ලියවුනා. සින්දු ලියවුනා. සාහිත්‍යවේදීන් කියන්නේ මිනිස්සුන්ගේ හදවතට සියුම්ව දැනෙන සිදුවීමකදී ඒ වටා සාහිත්‍යාංග ගොඩනැගෙන එක සාමාන්‍ය සිදුවීමක් කියල.

සොනාලි දැරණියගලගේ 'wave' නිබන්ධනය මේ අතරින් වැඩිපුරම අවධානය දිනාගත්තා කිව්වොත් වැරදි නැහැ. ඇගේ කෘතිය කොතරම් ජනප්‍රිය උනාද, අවුරුද්දක් ගත වෙන්නත් කලින් සිංහල පරිවර්තනයකුත් නිකුත් වෙලා තිබ්බා. සොනාලි ඉංග්‍රීසියෙන් ලියලා පොත පිටරටකදී පල නොකලා නම් wave ඔය තරමට ලංකාවේ ජනප්‍රිය නොවෙන්න තිබ්බා. කවුරුත් ඒ ගැන වැඩිපුර දැන නොගන්න තිබ්බා.

ඒ අපේ ලංකාවේ හැටි.

මොකද එරික් ඉලයප්පාරච්චිගේ පාද යාත්‍රා ගැනවත්, ශාරිකා කරුණාතිලකගේ සෝන්දර බංගලාව ගැනවත් වැඩි කතා බහක් ඇති වුනේ නැහැ.

ඒ පොත්!

ප්‍රසිද්ධ මාධ්‍යයට නාවට සුනාමි ගැන කවි කතා තවත් ලියවෙන්න ඇති. බ්ලොග් සමුහයේම බැලුවොත් මේ උදාහරණ හොයාගන්න පුළුවන්.

සුනාමියෙන් පස්සේ අවුරුද්දේ ජ්‍යාත්‍යන්තර පොත් සල්පිලේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයාගේ ළමා ගීත ප්‍රසංගයක් තිබ්බා, අලුත් සීඩී පටයක් එලි දැක්වීමක් එක්කම. ඒ ප්‍රසංගයේදී හර්ෂණ දිසානායක ගයපු එක් ගීතයක් තිබුනා, සුනාමි දවසේ රුපාවහිනියෙන් දැකපු රූප වලට වඩා හදවතට දැනුනු, ඇස්  දෙකට කඳුළු ගෙනාපු.

නමුත් ඒ ප්‍රසංගයෙන් පස්සේ මට කවමදාකවත් ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක අහන්න ලැබුනේ නැහැ.

ඒත් අපේ ලංකාවේ හැටි.

ගීතය ගැන තව බොහෝ දේ කියන්න පුළුවන්. නමුත් ඒ කියන්න තියන දේ ඔක්කොම එක වරක් ගීතය ඇසුවොතින් ඔබේ හදවතටම දැනේවි.


Monday, November 24, 2014

එක මොහොතක්

 © වැල්ලවත්ත මුහුදු වෙරළේදී අනවසරයෙන් ගත් සේයාරුවකි 



ගෑස්, වතුර, ලයිට් බිල් 
කිරිපිටි තේ කොළ 
හාල් තුනපහ 
ටියුෂන් සල්ලිත් 
කැඩුණු කරාමේ 
පිච්චුණු බල්බ් 
දොස්තර ගාස්තු 

***
***
***
අමතක කර 
එක මොහොතක් 
අත් පටලවන් 
ක්ෂිතිජ ඉම දෙස 
බලා ඉමු අපි 
ජීවිතේ දුක් ගැහැට 
නැති එවුන් මෙන්... !

Monday, October 20, 2014

උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්

කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි සල්ලි ටිකකට ලොකු රණ්ඩුවක් අල්ලන්න සිද්ධ වෙන්න පුළුවන් කමක් තියන නිසාත් සමහර දවසට ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව කට පියන් එන හොඳ/නරක පුරුද්දක් මට තියෙනවා. සමහර විට මේක වෙන්නේ අමතක වීමත්, වෙනම ලෝකෙක ජීවත් වීමත් හින්ද. (රුපියල් සීය දීල ඉතුරු නොගෙන බැහැපු අවස්ථා ගැන කතා නොකර ඉමු)

මේ වගේ කාරණා  නිසා යාළුවගේ උපදෙස මට හොඳට මතක හිටියා. උපදෙසට මුල් වෙච්චි කාරණාවට මොනවා වුනත්, දැන් මට බස් එකේ යද්දී ඉතුරු ගන්න අමතක වෙන්නේ නෑ . ඉතුරු ඉල්ලගන්න තියන දවසට ඔලුවේ ඔය වචන ටික තැටිය එක තැන කැරකෙන සින්දුවක් වගේ.

අදත් ඒ වගේ දවසක්. 25ක ටිකට් එකට  (ඇත්ත ගාන 24 යි. මට ඉතුරු රුපියල ලැබිච්චි දවසක් නෑ ) මම රුපියල් 50ක් දුන්න කොන්දොස්තර අයියාට*. මාරු නෑ  කියල එයා රුපියල් 5ක් ඉල්ලුව. මේ දවස් වල මාරු සල්ලි අර්බුදයකට මුණ දීල ඉන්න නිසා මට දෙන්න 5ක් තිබ්බේ නෑ. ඉතුරු දුන්නෙත් නෑ. මුකුත් කිව්වෙත් නෑ. අයියා මාරු. එයා හිතන්න ඇති කන්නාඩි දාන නිසා එයාගේ අතේ තිබ්බ කාසි පේලිය මම දැක්කේ නෑ  කියල. හෑන්ඩ් ෆ්‍රී කනේ ගහන්  නිසා හිතන්න ඇති සාක්කුවේ කාසි හෙලවෙන සද්දේ ඇහෙන්නේ නෑ  කියල. එත් මම දැක්ක. මට හොඳට ඇහුණා. බස් එකේ ගමනාන්තයටම මමත් යන නිසා පස්සේ ඉල්ලගන්නම් කියල මම හිත හදාගත්ත.

දැන් කිලෝමීටර් 12ක් විතර දුර එනකම්ම යාළුවගේ වචන මට මතක් වෙනවා. ඔලුවට හරි වදයක්. බැරිම තැන කිලෝමීටර් 9-10 කට විතර පස්සේ මම ඉතුරු සල්ලි මතක් කළා. ලැබුනද? නෑ!

එවෙලේ නම් පැහැදිලිවම අයියා අතේ මාරු තිබ්බ. එයාට දෙන්න ඕනේ කමක් නෑ. රුපියල් පහේ කතාව අහල අයියා අපහු මාරු.

ඉන් පස්සේ එයා කීප සැරයක් මං  හිටි තැනින් එහා මෙහා ගියා. වැරදිලාවත් මගේ දිහාවේ නොබලන්න එයා පරිස්සම් උනා. මමත් දිගටම රවාගෙන ආවා. වැඩ ඇරිලා එනකොට මහන්සියි. හොරෙක් බෑග් එක අරන් දිව්වත් අරන් පලයන් කියල නිකම් ඉන්න තරමට මහන්සියි. ඉතින් රුපියල් 25කට වචන නාස්ති කරන්න බැහැ.

අනික සමහර දාට බස් එකට නගින හිඟන අයට  රුපියල් 20 ට වඩා දෙන වෙලාවල් තියනවා. ඒ නිසා ඕක නොලැබුනත් හිගන්නෙක්ට දුන්න කියලා හිත හදාගත හැකි.

හැබැයි මට කේන්තියි. ඉල්ලලත් මාරු නොදෙන්න තරම් උගේ කොන්ද හයියයි. මොකද මූට කරන්නේ, මගේ ඔලුවට තවත් අමාරුයි. අන්තිමේ මම තීරණයක් ගත්ත අපහු ඉතුරු නොඉල්ලන්න. එයා මාරු නොදී මාරු වුනේ තියන හොර හිතට. මම බලෙන් ඉතුරු ඉල්ල ගත්තොත් එයා හොරෙක් වෙන්නේ නෑ.

 "උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්" කොන්දොස්තර නැති දොර බලලා බස් එකෙන් බැහැල එන ගමන් මගේ ඔලුවේ තිබ්බේ ඔය වචන ටික.

Sunday, October 12, 2014

පැහැසරණී: සර්ප සෙනෙහස

එකම කවිය කීපසැරයක් ලියන්න වෙනවා ඉතින්. මක් කරන්නද :/



පැහැසරණී: සර්ප සෙනෙහස: විෂ දළට බියෙන් තනිකර දමා ගිය සැපින්නක් ලඟට ගෙන ලෙන්ගතුව කිරි පෙව්වෙමි. කෑදරව කිරි බිවු සැපින්නද මට පෙරළා ආදරය පෑවාය. එයින් මසිත ද ඔද ව...

Friday, September 26, 2014

වැස්සට නැති කුඩය

ඊයේ අනෝරා වැසි ඇද වැටුණි...

කුඩයක් අත නොවූ මා
මහා වැස්සෙන්
තෙත් බරිත වීමී...

කා වැදුණු සීතල
උහුලා ගත නොහී
වෙවුලුම් කන්නට විය
මුළු සිරුරම...

තෙත් බරිත වුනු
ඇදුම් බර දරන්නට නොහී
මගේ දෙපා
කිමිදෙන්නට විය
මඩ වුණූ මහ පාර මැද...

හදිසියේ දුටුවෙමි...

විසල් කුඩයක් යට
දෑස ද විසල් කරගෙන
ඔබ බලා සිටිනවා
නොතෙමී ...

අද මහ වැසි නැත.
සෞම්‍යය පරිසරය.

නමුත් ... ... ...

අඬගසයි ඔබ
සෙවණ දෙන්නට
ඔබේ විසල් කුඩයේ...

විසල් කරගෙන
මගේ දෑස
සිතමි මම ...

පෙරදා වැස්සට
සෙවණ නොලැබුණ
කුඩයේ සෙවණ
කුමක් කරන්නද
වැසි නැති දා මට ?



Friday, September 19, 2014

එම්බා ඔරලෝසුව!

...
අල්ලා නතර  කරගන්නට
හිතෙන විට
පසු නොබලා දුවන
උඹේ කටු 

වේගෙන් යන්න යැයි කී විට
ඉබි ගමන් යන්නේ 
ඔච්චම් කරන්නද 
මට
කාලය මා පරදවන වග දැන  
...

Tuesday, August 26, 2014

නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම්


 ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න  පුළුවන් පුදුමාකාර  හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්.  කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ වගකිව යුතු නිලධාරි මහත්වරු සහ නෝනලාට උනත් දෙලෝ සිහි වෙන්නේ ගබ්සාවක් කරගන්න ගිහින් අහිංසක ගෑනු කෙනෙක්ට විපත්තියක් උනාට පස්සෙයි. ඒ උනන්දුවත් ඉතින් දවස් දෙක තුනයි. ඊට පස්සේ ඒ නෝනා මහත්වරුන්ටයි, මාධ්‍ය කරන ඇත්තන්ටයි විතරක් නෙවෙයි ගබ්සාව නීති ගත  කරන එකට විරුද්දව කතා කරන ආගමික නායකයත් මේ සිද්ධි අමතක වෙලා  යනවා. ඒ අයගේ  නෙවේ, රටේ භුමියේ ප්‍රශ්නයක්. ඉතින් දොස් කියන්න එපා.

මොන මොන තර්ක ගෙනාවත් ගබ්සාව හරි දෙයක් කියලා සාධාරණීකරණය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ. එත් මේ ප්‍රශ්නයට විසඳුමක් අත්‍යවශ්‍යයි. ඇත්තටම ගබ්සාව නීති විරෝධී  රටේ සම්මත නීතියක් පවත්වාගෙන යන එක විතරද මේ ප්‍රශ්නයට විසඳුම? පුවත් වාර්තා වලට අනුව අපේ රටේ දවසකට නිතීවිරෝධි ගබ්සා කිරීම් 800කට වැඩි ප්‍රමාණයක් වෙනවා. වැඩිපුරම වෙළඳ කලාප කිට්ටුව.  නීති සම්මත වෙලා තිබුනට මේ සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් අපිට පේන්න නෑ. ඉතින් මේකට හැබෑවට පිළිතුර නීතියෙන් පැනල යන්න පුළුවන් වෙච්ච රටක අණ පනත් සම්මත කරගන්න එක ද?

නූපන් දරුවෙක් නැති කරලා දාන්න ක්‍රියා කරන්න තීරණයක් ගන්නේ මූලිකවම ඒ දරුවාව හදාවඩා ගන්න තියෙන නොහැකියාව නිසානේ.  දරුවාව නැති කරන්න හේතුව, ඒ දරුවා හදාගන්න ආර්ථිකව ශක්තියක් නැතිකම, අම්මාගේ සෞඛ්‍ය ගැටළු වගේ කාරණා වගේම අපවාද වලට තියෙන බය වගේ සාමාජීය කාරණයක් වෙන්නත් පුළුවන්. මේ කොයි කාරණාවෙන් උනත් පැහැදිලි වෙන්නේ මේ කුස පිළිසිඳ ගත් දරුවා ජීවිතයේ සැලැස්මට පිටින් සිද්ධ වුනු කාරණයක් බව.

ඉතින් මේවගේ සැලැස්මට පිටින් වෙන දේවල් නීති දාලා නතර කරන්න පුලුවන්ද?  සැලැස්මට පිටින් ගියොත්;

1. එක්කෝ පිට ගිය දේ අයින් කරලා ආපහු මුල් සැලැස්මට එන්න ඕනේ.
2. එක්කෝ සැලැස්ම මුළුමනින්ම වෙනස් කරලා අලුත් සැලැස්මකට එන්න ඕනේ.
3.එහෙමත් නැතිනම් සැලැස්මෙන් පිට නොයා වැඩේ කරගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ.

මගේ හැඳි මිටේ දිග නුවණට තේරෙන විදියට නීති විරෝධී ගබ්සා ප්‍රශ්නෙටත් සෑහෙන විසඳුමක් ලැබෙන්නේ 3 වෙනි කාරණෙන්. 

අපේ රටේ ලිංගික අධ්‍යාපනය තවමත් තියෙන්නේ බොහොම පහල මට්ටමක. උසස් පෙළ ජීව විද්‍යාව උගන්නන්න ගුරුවරුන් උනත් තවමත් ප්‍රජනන පද්ධතිය ගැන උගන්නන්නේ දෙගිඩියාවෙන්, අධිවේගෙන්. මාධ්‍ය හරහා වෙන දැනුවත් කිරීම උනත් ප්‍රමාණවත් නැහැනේ. ඒ පණිවිඩේ අවශ්‍ය කණ්ඩායමට යනවද කියලත් කියන්න බෑ. පහල පංතියකදී වත් සෞඛ්‍ය පාඩමට අනවශ්‍ය දරු උපත් වලක්වා ගන්න හැටි හෝ ලිංගාශ්‍රිත රෝග වලින් තමන් ආරක්ෂා කරගන්න හැටි ක්‍රමවත්ව උගන්නන්න පාඩමක් අන්තර්ගත නෑ. පාසල් අධ්‍යාපනයේ මේ මාතෘකා හරියාකාරව ඉගැන්නුවේ නැතිනම් වෙන කවද කොහේදී උගන්නන්නද කියල මගේ මොලේට තේරෙන්නෙත් නෑ. 

කොහොම උනත් මම හිතන්නේ, මිනිස්සුන්ව හරියට දැනුවත් කලොත්, කසාදයක් කරලා දෙනකම් ඉන්නේ නැතිව ගෑනු ළමයින්ට තමන්ව ආරක්ෂා කරගන්න විදිය කියල දුන්නොත්, මේ ලොකු ඉලක්කම් ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වේවි. නීති ලිහිල් කරන එකට විරුද්ධව කතා කරන්න මහන්සි ගන්න වෙලේ වෙළඳ කලාපයකට ගිහින් ඒ ගෑනු දරුවන්ව දැනුවත් කරන්න උත්සහ කලොත් ඒ දැරිවියෝවත් තමන්ගේ සැලසුමෙන් පිටට නොපැන ජීවිතේ ඉස්සරහට ගෙනියගනීවී නේද?      



Wednesday, August 20, 2014

පෙරළුණු රළ

එදා මට හිතුනේ 
මහ මුහුද තරම් 
ලස්සන තව තැනක් 
මහ පොළොවේ වෙනනම් 
නැහැයි කියලා ...

හීතල හුළඟට 

දාඩිය නිමෙනවා
රැල්ල පාගනකොට
මගේ හිතත් නිමෙනවා ...
 

මහ දවල් අවුවට පාර මැද්දෙත්
පේනවා මහ මුහුද

ඒ දවස් වල තනියම හිනා මට
දැන් නම් ඒ අව්වට
පිච්චිලා යනවා මාව.


එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා
ඊළඟ රැල්ලටම  

ඒ නම් මැකිලා යද්දී 
හිතන්න තිබ්බා අපිට
සතුට කොහොමත් 

දුකට පෙරළෙනවා කියලා.

මිරිඟුව පෙනී පෙනී 
ගිනි අවුවට පිච්චේනකොට
වෙලාවකට මට හිතනවා
වැල්ලේ නොලියා අපි නම්
කළුගලක කෙටුවනම් කියලා...


Wednesday, August 13, 2014

අපේ පාරේ මන්ත්‍රීතුමා

මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය
සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය
මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය
පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේය

යන එන මඟදි  හමුවෙන දායක රෑන
දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය
ඒ මඟ දෙපස කුණු වෙන  කැළි - කසල ගොඩ 
ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නද

සහචර පිරිස ඩෙංගු බලන්නට එනවා
වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා
පාරේ පල්  කාණු නොපෙනී යනවා
ලබන සැරෙත් මන්ත්‍රීට චන්දය දෙනවා

ටෙන්ඩර  බෙදන  දායකයනට නොමසුරුව
ඔහු උතුමෙක්ය  කලගුණ අමතක නොවෙන 
පාරේ ගොඩ ගැහෙන කඳු කඳු කුණු නොදැක්කට
වගපල කියන එක නම් හොඳ මදි නේද



Thursday, July 31, 2014

ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත...


චිත්‍රය : www.nation.lk

සුරංගීට දුක සිතුනේ   බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස්  මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත්  දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ  පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස්  අදට වසර විසිපහකි. "අම්මා කියන විදියට මේ ගීතය ලියලා තියෙන්නේ මං   වෙනුවෙන්. ඒ අවදියේදී මගේ කන විදලා තිබිලා නැහැ. මට මතකයක් නැතත්  කරනවා ඔහු ඉදිරියට සිදුවන්නට තිබෙන සිදුවීමක් ගැන මවා ගනිමින් මේ  සින්දුව ලියන්නට ඇති කියලා," සුරංගී තම නැසී  ගිය පියාගේ මතකයන් අවදි කළාය.

 


සමරවීරගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේ 1947 ජුනි 3 වනදා කොළඹදීය. ඔහුගේ පියා සයිමන් ද අල්විස් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වූ අතර කොළඹ මාලිගාකන්දේ පදිංචිව සිටි ඔහු ප්‍රථමික අධ්‍යාපනය මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් හදාරා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. ආනන්දයේ දීප්තිමත් සිසුවෙකු වූ ප්‍රේමකීර්ති, ආනන්දය නම් පාසල් පුවත් පතෙන් සිය දස්කම් විදහා දක්වන්නට විය. 1961 වසරේදී ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකර මහතා මෙහෙය වූ ළමා වැඩසටහනකට සම්බන්ධ වුනු ඔහු 1967 වන විට එහි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන්නට විය. 1971 වන විට ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ නිත්‍ය සේවකයෙකි.1989 දී ඝාතනයට ලක්වන විට ඔහු  ප්‍රතිභාපුර්ණ නිවේදකයෙකු, කථිකයකු, කවියෙකු මෙන්ම ගීත රචකයකු ලෙස මහජන ප්‍රසාදයට ලක්ව සිටියේය. ඔහුගේ වියෝවෙන් වසර 25කට පසු තවමත් ඔහුගේ නිර්මාණ නිබඳවම පැසසුමට ලක්වීමම ඔහු කෙරේ ජනතාව තුල තිබුණු ප්‍රසාදය මොනවට පෙන්නුම් කරයි.

ඔහුගේ දියණිය සුරංගි, පියා ගැන  කරත්ම පැවසුවේ තමන් සහ තම පියා ශාරීරිකව එකිනෙකාගෙන් දුරස්ථව සිටියද කිට්ටු මානසික බැඳීමක් තිබුණු බවයි. "මට මතක ඇති කාලයේ ඉඳන්ම මගේ අම්මයි තාත්තයි එකිනෙකාගෙන් වෙන්වෙලයි ජීවත් වුණේ. තාත්තාව මට මතකයට නැගෙන්නේ මාව නිතර බලන්න ආවගිය ආගන්තුකයෙක් වගෙයි. ඒ වගේ ආව ගිය අවස්ථා වලදී සිදුවුණු සිදුවීම් කීපයක් ඇරෙන්න මට තාත්තා පිලිබඳ ලොකු මතකයක් නැහැ. ඒ වගේ අවස්ථාවල මාව එලියට එක්කගෙන යනවා. ගෝල්ෆේස් වගේ තාත්තා ආස කරන තැන කිහිපයක් තිබ්බා. මේ තැන්වලට එක්කරගෙන ගියහම තාත්තා නිකම් හිටියේ නැහැ. ඒ තැන  පිලිබඳ විස්තර කතා රාශියක් කියනවා.ඉන් පස්සේ ආපහු ඇවිත් මාව ගෙදරින් බස්සවලා  යනවා."

ප්‍රේමකීර්ති ඝාතනයට ලක්වන විට සුරංගීට වයස 16කි. "මම  සාමාන්‍ය පෙළ පන්තියේ හිටියේ. ජීවිත තර්ජන තිබුණු බව මම දැනගෙන හිටියා. මට මතකයි තර්ජනය කරලා එවපු ලියුම් අම්මාට  පෙන්නවා. නමුත් ඔහු බයෙන් හිටියේ නෑ . කවුරුහරි ඇවිත් තමන්ට කරදරයක් කරන්න උත්සහ කලොත් එක කතා කරලා විසඳගන්න තමන්ට හැකියාව තියෙනවා කියල ඔහු විස්වාස කළා. කතා කරලා මිනිස්සු තමන්  නම්ම  ගන්න තාත්තිට අපුරු හැකියාවක් තිබුණා," ඇය  පවසන ආකාරයට බොහෝ ගුවන්විදුලි සේවකයන්ට මෙන්ම ප්‍රේමකීර්තිටද භීෂණ සමයේ නිරන්තර මරණ තර්ජන එල්ල වී ඇත. "මේ ගැන කියනකොට තව දෙයක් සඳහන් කරන්න ඕනේ. දෙන්නෙක්  දික්කසාද වුනාම  ඒ දෙපල එකිනෙකා එක්ක වෛරයෙන් ඉන්නවා කියලයි ලෝකයා හිතාගෙන ඉන්නේ. නමුත් මගේ අම්මයි තාත්තයි එකිනෙකාට සුහදව හිටියා. තාත්ති නැවත විවාහයක් කලින් මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා ඒ දෙදෙනා නැවතත් එකතු වේවි කියලා. මම කුඩා කාලයේදී ඒ ගැන හීන  මැව්වා," ඇය  තම කුඩා කාලයේ බිඳවැටුණු බලාපොරොත්තුවක් ගැනද සඳහන් කළාය.  

ඝාතනය කරන්නට පළමු දිනයේද ප්‍රේමකීර්ති සුරංගී දැක   බලා යන්නට ඇවිත් ගොස් තිබිණි. "30 වෙනිදා  උදෙත් තාත්ති අපේ ගෙදර ආවා. ඒ  හිටියේ හෝමාගම. ඔහු හිටියේ  මහරගම. ඒ දවස් වල කලබල නිසා කොහොමත් ඉස්කෝල වහලයි තිබ්බේ. එදා මගේ සුරතල් බල්ලට අසනීපෙන් හිටියේ. තාත්තා  බලලා හවසට ඌට  බෙහෙත් අරන්දෙන්න එන පොරොන්දුව පිටයි  එයා ගෙදරින් ගියේ. හැබැයි එදා ඒ ආව ගමනේ  තාත්ත ලොකු කල්පනාවක හිටපු බව මට තේරුණා. කල්පනාවක ඉදන්  කතා කරන බව මට දැනුනා. වෙනදාට ගෙදරින් යනකොට වාහනේ රිවර්ස් කරලා මට ඇත අත  වනනවා. එදා  තාත්තාට එකත් අමතක වුනා."


ප්‍රේමකීර්ති  ඝාතනයට කලකට පෙර  ලියා පල කල  කවියක් ඔහු තම අනාගතය  පිලිබඳ දැන  සිටියාදැයි සිතෙන තරමට ඔහුගේ ජීවිත අවසානයට සමානකමක්  දක්වයි. කවියේ මුල් පද වලින් කියවෙන්නේ කලාතුරකින් දියණිය බලන්නට එන තාත්තා කෙනෙකුන් ගැනය. එසේ කලාතුරකින් එන තාත්තාට දීමට දාස්පෙතියා මල් ටිකක් දියණිය කල් තියා අරන් තියාගෙන සිටියාය. කලකට පසු ආ තාත්තාට ආදරයෙන් දුන් මල් ඔහු තම සාක්කුවේ හොවාගෙන ආපහු යයි.


දාස් පෙති මල්
...
...
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි.


කවියේ සඳහන් දියණිය පරිද්දෙන් සුරංගී ද තම පියා සුරතලාට බෙහෙත් රැගෙන එන තුරු බලා ඉන්නට ඇත. "තාත්තාගේ ඝාතනය ගැන අපිට ආරංචිය අරගෙන ආවේ වික්ටර් අංකල්. මම නිදාගෙනයි හිටියේ. අම්ම කෑගහන සද්දෙට මට  ඇදෙන් බැස්සුනා. එත් එක්කම මට තේරුණා සිද්දවෙලා ඇත්තේ මොකක්ද කියල. ඒ යුගයේ අපි කොහොමත් ඔය වගේ ආරංචි ගැන බයෙන් හිටියේ. කොහොමටත් මුසල කාල වකවානුවක්. එතනින් එහාට වුනු දේවල් පිළිබඳව මට පැහැදිලිව මතක නැහැ. මතකයට නඟා ගන්නත් බැහැ."

තම පියාගේ නිර්මාණ කටයුතු පිළිබඳව ගැඹුරින් කතා කරන්නට අසමත් වුවත් පියෙකුගෙන් දියණියකට ලැබුණු වටිනා ඔවදන් කීපයක් පිළිබඳව ඇය  මතකය අවදි කළාය."ඉස්සර  මම  පුංචිම කාලේ, හැමදාම එනකොට තාත්තා පොතක් අරන් එනවා. ඒ ගෙනාපු හැම පොතකම මොනවා  ලියලා දීලා  යනවා යටින් තාත්තා කියලා අත්සන්  කරලා. මට ඒ දවස් වල අකුරු  කියවල  තේරුම් ගන්න බැහැ.  කියවන්න  පුළුවන් වෙනකොට තමයි තේරුනේ ඒ ලියල දීපු දේවල් කොයි තරම් .ලස්සනද කියලා. එකක ලියල  තියනවා 'ඔබ  යුවතියක් වන දිනෙක මම පස් ගොඩක් පමණි. ඒ පස් ගොඩ පාගන්න දුවේ...' කියලා."

"මම ඒ දවස්වල හරි අසයි පූස් පැටවුන්ට. තාත්ති මේ ගැන හොඳින් දැන ගෙන හිටියා. ඉතින් මට ගෙන පොත් ඒ වගේ  පින්තුර තියන පොත්.  මෙයින් එක පොතක පින්තුරේක තිබුනා පූස් පැටියෙක් කොස්සක් එක්ක  සෙල්ලම් කරන රූපයක්. ඒ යටින් තාත්තා ලියා තියෙනවා 'හිතවතුන් අතුගාන්න එපා දුවේ' කියලා. පුංචි කාලේ මම හිතුවේ තාත්තා මට පූසන්ට කරදර කරන්නට එපා කියලා ලියා තියෙනවා කියලයි," තම පියාගේ වදන් වල ගැඹුරු අර්ථය වඩාත් හොඳින් තේරුම් ගන්නට  තමන්ට හැකිවුයේ තමන් තරුණ වියට පත් වූවාටත් පසුව යයි ඇය පවසන්නීය. "මේ තෑගි දුන්නු පොත් තවමත් සුරැකිව තියනවා. මේවා තවමත් මගේ භාරයට  පත්වෙලා නෑ . තවමත් මේවා පරිස්සම් කරගෙන  තියාගෙන ඉන්නේ අම්මා."

සමහර විට මේ ලියපු දේවල් නැවත කියවන විට තාත්තා කොතරම් සංවේදී මනුස්සයෙක්ද බව   තේරෙනවා.සමහරක් විටක මට හිතෙනවා ඔහුට ඉදිරියේ සිදුවීමට ඇති දේ පිළිබඳව දැනීමක් තිබුනාදෝ කියල.  කොහොම වුනත් තවමත් තාත්තට ගරු කරනවා. ආදරය කරනවා. තවමත් ඔහු නිසා අපිට සැලකිලි ලැබෙන වෙලාවල් තියනවා. මේ වගේ තාත්තගේ දුව වීම පිළිබඳව නිහතමානි ආඩම්බරයක් තියනවා. නමුත් මම අද වනතුරු ඒ ආඩම්බරය මගේ වාසියට අරගෙන නැහැ. ඒ නමට කැළලක් වෙන විදියට නොහැසිරෙන්නයි මම උත්සහ කරන්නේ," සුරංගී කතා බහ අවසන් කරමින්  පැවසුවාය. 

ප්‍රේමකීර්ති 21 වන ගුණ සමරුව අළලා සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකට සුරංගී මෙසේ ලියා තිබුණි.


  හිස මුදුනත තැබූ රුවන් මලක් සේ
රැකගමි ඔබෙ නම පියාණනේ
නොකෙළෙමි වරදක් නොතබමි කැළලක්
එය මට කිරුළකි පියාණනේ
පිරිහෙන ගුණ දම් නසතිය මනු දම්
උගතිමි ඔබගෙන් පියාණනේ
ඔබ මට හිමි කළ බැබළෙන ඒ නම
මගෙ දරු සුරකිති පියාණනේ

~සුරංගි ද අල්විස්








Tuesday, July 29, 2014

ඇසිල්ල

සිනාසෙන විසල් දෑස්  ළඟ
මා දෑස  නතර විය
බර  වූ හදවත කඩා වැටී
පඩිපෙළ පාමුල  පතිත වීය

ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.

සිනාසෙමින්  පැමිණි ඔබ
මා හදවත අහුලා
දුලී කුණු පිස දමා
සිනාසෙමින්ම
මා වෙත පෑවේය

ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.

පඩිය පාමුල
මගේ හදවත
මටම පෑගී
තැලී පොඩිවී තිබුණි


Tuesday, July 22, 2014

අපි පරක්කු වුණා සුනිල් සර්



එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර්
ඇවිත් බලලා යන්න 
වැඩ ගොඩ උනා අතපහු උනා
මේ පාර නම් එන්නමයි හිටියේ
ආයේ සැරයක් කතාවක් අහල යන්න

විද්‍යාව විතරක් ඉගැන්නුවනම්
අමතක කරලා ඉන්න තිබ්බා
සර් ඉගැන්නුවේ ජීවිතේ
දහස් ගානකට ලෝභ නැතුවම
බෙදලා දුන්නේ ආදරේ

සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි
බෙදන්න තරම් ආදරේ ගොඩක්
සර්ට තිබුණු හන්දමයි
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ

එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා


සර් එදා හරක් හදවතේ
ඝනකම පෙන්නලා හිනා උනත්
සුරතලේට හදපු බැල්ල
අසනීපෙන් උන්නු වෙලේ
"බලන්න එපා එයා දිහා,
එයාට දුක හිතෙයි" කිව්වම
අදුනගත්ත අපි එදා
සර්ගේ හදවත කොයිතරම්
මෙලෙක්ද කියල

මනමාලයෙක් එන දවසේ
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු
අක්කා ගැන කියා කියා
වර්ගඵලය කියා දීලා
එක මොහොතෙන්
අක්කා මතක් කර කර
දුක් වෙන කොට
අපේ අක්කා හොඳ අක්කා කියනකොට
අපි දැනගත්තා සර්
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි
ඇවිත් යන්න එන්න හිටියේ

වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු උනා සර්

අවුරුදු ගානකට පස්සෙත්
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ
සර්ගේ රස පිරුණු විහිළු කතා
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා
අපි හිනා උනා සර්

ආයේ හිනා වෙලා යන්න
ඇවිත් යන්නයි හිටියේ
අනේ සුනිල් සර්
සර් ඉක්මන් උනා
අපි පරක්කු වුණා... 

Wednesday, July 9, 2014

බක බක :(





ගෙම්බෙක්මි වලක් නැති
සොයා යන මුදු වැල්ලක්
සැපට ඉන්නට
කපාගන්නට හොඳ වලක්

එහෙට පැන මෙහෙට පැන
හොඳ තැනක් හොයාගෙන
අමාරුවෙන් කැපුව වලෙත්
මේන් තඩි ගෙම්බෙක්

කැපුවොත් අපි වලක්
ගෙම්බෙක්නේ කවදටත් !







 

Thursday, June 26, 2014

සේකර මහත්තය ස්ටේෂන් එකේ දැකපු කාලේ ඔහුගේ ගීතයක් ගයන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ - සුනිල් එදිරිසිංහ

 
පින්තූරය: චන්දන විජේසිංහ www.nation.lk




අපි සියල්ලෝම සිහින දකින්නෝ වෙමු.   නමුත් අප දකින සිහින සැබෑ  කරගෙන ඒ පිළිබඳව උදම්  අනන්නට හැකි වන්නේ අප අතරින් අතලොස්සකට පමණකි. සුනිල් එදිරිසිංහයන්ද කුඩා අවදියේදී සිහිනයක් දුටුවේය. ඒ කවරදාක හෝ ගායකයෙක් වීමට ලැබේවා යන්නයි. ඔහුගේ සිහිනය සැබෑ වුවා පමණක් නොවේ. ඔහු එම සිහිනයේ හිනිපෙත්තටම නැග්ගේය; ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ ගායකයා වුවේය.  සිංහල ගීත රසවිදින සියල්ලන් පාහේ  ඔහුගේ කටහඩට ආසා  කරයි. ගීත වලට පෙම්  බඳියි. සිහින සැබෑ  කරගන්නට ඔහු පැමිණි මාවත දිගුය. ඒ සදහා විවිධ  කැප කිරීම් සිදුකිරීමට ඔහුට සිදුවිය. ඒ සඳහා අවශ්‍ය දක්ෂතාවද ඔහු තිබිම ඔහු ආමග පහසු කරවන්නක් විය. එම දක්ෂතාවය හදුනාගන්නට ඔහුට නිබඳව කලන මිතුරු ඇසුර ලැබුණු බව ඔහු පවසයි.  තමන් කරනා ඕනෑම දෙයක සාර්ථකත්වය කලණ මිතුරු ඇසුර,  සහජ දක්ෂතාව මෙන්ම කැප වීම මත තීරණය වන බව සුනිල් එදිරිසිංහයන් තරයේ  විස්වාස කරයි.  

සුනිල් එදිරිසිංහ උපන්නේ  කැලණිය, නුoගමුගොඩ ග්‍රාමයේය. 1959 වසරේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඇතුලත් වන ඔහු 1969 වසරේදී උසස් අධ්‍යාපනය නිමකර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙහි රැකියාවකට බැඳුනේය.  තමන්ගේ සාර්ථකත්වයට පවුලෙන් ලැබුණු සහය අපමණ බව ඔහු සිහි කරයි. "මගේ දෙමවුපියන් නිරතුරුවම කලාව අගය කරපු අය. මට මතකයි, මම කුඩා කාලේ අම්මා නිතරම කවි ගීත ගායනා කරනවා. ඇයට හරි අපුරු කටහඩක්  තිබුනා. මේ උනන්දුව නිසාම වෙන්න ඇති අපේ පවුලේ දරුවන්  සියලු දෙනාම කලාවට යොමු වුනේ." සුනිල් එදිරිසිංහ මහතා අට  දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයය. පිලිවෙලින් ඔහුගේ වැඩිමල් සහෝදර පී ඩී  එදිරිසිංහ පළමුවත්, ඉන් පසුව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාත් කළා ක්ෂේත්‍රයට ඇතුළු විය.

"මම පුංචි කාලේ, අක්ක සංගීත පන්ති යනකොට අක්කගේ තනියට යනවා. මේ යන ගමන් වලදී මකුලොලුව මහත්තයාගේ ජන සංගීතයත්, අමරදේව මාස්ටර්ගේ රාග  වලටත් හොරෙන් ඇහුම්කන් දෙන්න මට අවස්ථාව ලැබෙනවා. මේ විදියට අල්ලගන්න රාග මම ගෙදරදී තනියම පුරුදු වුණා. ඒ විදියට තමයි මුලින්ම මම සංගීතය ඉගෙන ගත්තේ. ඒ වගේම ඒ කලේ හේවුඩ් එකේ ඉගෙන ගත්තු නිමල් අයගේ මිත්‍රයෝ නිතර අපේ ගෙදරට අවා ගියා. ඒ අයගෙනුත් මම බොහෝ දේ ඉගෙන ගත්තා," ඔහු අතීතය ආවර්ජනය කළේය.  "මගේ පළමු රසිකයෝ උනේ  මගේ පවුලේම අය. සමහර දින වලදී අම්ම හරි තාත්තා හරි මට කතා කරලා, ඔලුවත් අත ගාල මට කවියක් හරි ගීතයක් හරි ගායනා කරන්න  කියනවා. ඊට පස්සේ එකේ ගුණාගුණ කියා කියා වර්ණනා කරනවා. මට පවුලෙන් ඒ ලැබුන වර්ණනා නිසා තමයි මාව මේ තරමට දිරිමත් උනේ. ඒ ලැබුණු දිරිමත් කිරීම් ඕනෑම දරුවෙකුට ලැබීම විශාල භාග්‍යයක්." පවුලේ අයගේ සහය ගැන කතාබහ කරන අතර තුරදී ඔහු තමන්ට පාසලේ මිතුරන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රශංසාවන්ද  මතකයට  නැගුවේය.

ඔහු වාසනාව පිළිබඳව දිගින් දිගටම ඉඟි කරයි. ඔහු තමන් ගායනය කල පළමු ගීතයම ප්‍රසිද්ධියට පත් වීමද තමන්ගේ වසනා ගුණය පිලිබඳ ඉගියක් දෝ සිතයි.  ඔහු සංගීත ක්ෂේත්‍රයට පා තබන්නේ,  ඒ 1970 වසරේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්  අධ්‍යක්ෂණය කරන ලද 'මාතර ආච්චි' චිත්‍රපටයට තේමා ගීතය ගායනය කිරීමෙනි. " 'සඳකඩ පහනක කැටයම් ඔපලා...' ගීතය වොලී නානායක්කාර මහතා රචනා කල පළමු චිත්‍රපට ගීතය වගේම ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පළමු සංගීත රචනාව. ඒ වගේම සතිස් අයියාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. ගීතය වගේම චිත්‍රපටයත් සාර්ථක  වුනා. සංගීත ක්ෂේත්‍රයේ මේ ගීතය අදටත් හදුන්වන්නේ සිව් කුළුඳුල් ගීතයක් විදියටයි. නැවත එවැනි සිව් කුළුඳුල් ගීතයක්  බිහිවුණු බවක් මට මතක නෑ . නවකයන් විදියට අප සිව් දෙනාටම මේ චිත්‍රපටය අභියෝගයක් වුනා. නමුත් අපි ඒ අභියෝගයට හොදින් මුහුණ දුන්නා." 




මේ ගීතයෙන් ඔහුගේ හැකියාව හඳුනාගත ප්‍රවීනයන්  කිහිපදෙනෙකුගෙන්ම සංගීතය හදාරන ලෙසට ඔහුට අවවාද ලැබෙන්නට වූ අතර, එම අවවාද හිස් මුදුනින් පිළිගත් තරුණ සුනිල්, එකල කීර්තිමත් සංගීත  ගුරුවරයෙකු වූ පී වී නන්දසිරි මහතා යටතේ සංගීතය ඉගෙන ගැනීම  ආරම්භ කළේය. 1980 වසරේදී ගුවන්විදුලි සංස්ථාවට පය තබන ඔහු ශ්‍රේණිගත ගායකයෙකු බවට පත් වුනා. එමෙන්ම, ඔහුගේ සංගීත දිවියේ කලණ මිතුරන් යයි ඔහු නම් කරන කුමාරදාස සපුතන්ත්‍රී සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ද ඔහුට මුණ ගැසෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ දීයි. 



 තැටිගත කල පළමු ගීතය ගායනා කර වසර 45ක් පමණ ගත වුවද සුනිල් එදිරිසිංහ කලාකරුවානන්  තමන්ගේ ගීත වල තත්ත්වය නොවෙනස්ව තබා ගැනීමට හේතු වූ කරුණ ලෙස දකින්නේද තමන් ඇසුරු කල කල්‍යාණ මිතුරන්ගේ ආභාෂය බව සඳහන් කළේය. "සපු සහ රෝහණ ඇරෙන්න, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි, කුලරත්න අරියවංශ. බණ්ඩාර ඇහැලියගොඩ, සිසිර විජේතුංග, බන්දුල නානායක්කාරවසම් සහ වසන්ත කුමාර කොබවක වැනි, මා වටා සිටි මිතුරන් නිරතුරුවම වඩා නිවැරදි දේ කිරීමට මා පෙලඹවුවා. මේ අතරින් මට වැඩිපුරම ගීත රචනා කර දීල තිබෙන්නේ සපුතන්ත්‍රී මහතා. ඔහුගේ ගීත රචනා හැටකට අධික ප්‍රමාණයක් මේ වන විට මම ගායනා කර  තිබෙනවා."   සපුතන්ත්‍රී මහතා ඔහු වෙනුවෙන් රචනා කල ගීත අතර හදේ  කොතැනක හෝ හිඳී  ඔබ නිදා නොනිදා මෙන්..., මිනිසා සුවඳයි මල සේ.., සන්තාප මාවතේ ... සහ නිදුකාණනේ... යන ගීත කෙතරම් ප්‍රබල දැයි අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.  





 




අන් කළා මාධ්‍යයන් හා සසදන විටදී, පුද්ගලයාගේ සිතුවිලි වලට ප්‍රබල බලපෑමක් කිරීමට ගීතය සමත් බව සුනිල් එදිරිසිංහයන් විශ්වාස  කරන්නේය. "මිනිසුන් නිතරම පාහේ සිටින්නේ පීඩාවෙන්. ගීතය එම පීඩාවට අස්වැසිල්ලක් විය යුතුයි. පොප් ඇතුළු බොහෝ ජනප්‍රිය ගීත මාධ්‍ය මගින් සිදුවන්නේ පුද්ගලයා එම පීඩාවෙන් තාවකාලිකව ඈත්කර තැබීම විනා විසදුමකට අත්වැලක් වීම නොවෙයි. සුභාවිත ගීත කලාවකින්  පුද්ගලයාට තාවකාලික සතුට වගේම  ඊට වඩා ගැඹුරු ජීවිතාවබෝදයක් ලබාගන්නට පුළුවන්. ඒ නිසායි ගීත රචකයින් වගේම ගායකයින් තමන්ගේ නිර්මාණ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ. වර්තමාන සිංහල ගීතය මේ රටාවෙන් පිට පැන තිබීම අපරාදයක්."  ගීතයක යටි අරුත තේරුම් ගැනීමට සියලු දෙනාටම  එක සේ හැකියාව නොමැති බවත්, මිනිසා තේරුම් ගැනීමට පහසු දේම පහසුවෙන් ග්‍රහණය කරගන්නා බවත් මෙවැනි පිරිස් වැඩි වීම හේතුවෙන් සුභාවිත ගීත කලාව පිරිහෙමින් පවතින බවත් වැඩි දුරටත් ඔහු අවධාරණය කළේය. මිනිසා යහමගට ගැනීමට අත්වැලක් වන ගීත පිළිබඳව කතා කීරීමේදී සුනිල් එදිරිසිංහයන් ගේ මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, බානෙන් බැඳී රජ රට පෙදෙසින්නේ, මිනිසෙකු පිට නැගී අසරුවෙකි වැනි ගීත කැපී පෙනෙයි. මේ අතරින් බානෙන් බැඳී රජ රට පෙදෙසින්නේ, මිනිසෙකු පිට නැගී අසරුවෙකි යන ගීත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනාවන්  වේ. 



එදිරිසිංහ මහතාගේ ගීත සියල්ලක්ම පාහේ රසවිඳින විට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනුයේ එම ගීතය තුලින් හෙතෙම පලකරන හැගීම් ය. එක ගීතයක් නෑරම  රසිකයාගේ සිතට කාවදින ලෙස ගයනා කිරීමට ඔහුට ඇත්තේ අපුර්ව හැකියාවකි. " යම් කළා නිර්මාණයක්ට සම්බන්ද වනවා නම් මට එයට අවංක විය යුතුයි. කලාවට බොරු කලොත් එය ඉක්මනින් වටහා ගත  හැකියි. කලාවට විතරක් නෙවෙයි යමෙක් නිරත වන ඕනෑම කර්තව්‍යයකට  පොදුයි. මට ගීත රචනාවක් ලැබෙන  මම එම වචන සහ නාද රටා යන දේ අංගයම පිළිබඳව හැදෑරීමක් කරනවා. එසේ නොකලොත් මට අවංකව එම ගීතයට සාධාරණයක් කරන්නට බැහැ . මම ජීවත් වෙන්නේ මේ ගීත රසවිදින රසිකයින් නිසා. ඔවුන්ට ලබා දිය හැකි උපරිමය ලබා දිය යුතුයි," ඔහු වැඩි දුරටත් විතර කළේය. 


එදිරිසිංහ මහතාගේ ගීත අතර තවත් එක සුවිශේෂී ගීතයක් ලෙස 'සීතල දිය පිරි සුනිල විලයි..' ගීතය සැලකිය හැකිය. මහගම සේකර මහතාගේ නොපළ ගීත කෘතියෙන් උපුටාගත් මෙම ගීතය ගයනා කිරීමට ලැබීම තමන් ජීවිතයේ තමන් ලද මහගු භාග්‍යයක් ලෙස සුනිල් එදිරිසිංහ මහතා සලකයි.  ඔහු එම ගීතය ගායන කරන විට මහගම සේකර මහතා ජීවතුන් අතරින් වෙන්ව සිටියත්, එය තමන් පුදුමයට පත් කල බව එදිරිසිංහ මහතා  පැවසුවේය. " මම කුඩා කාලයේ ඉඳලම සේකර මහත්තයා මගේ ලෝකේ වීරයන්  අතර ඉහලින්ම හිටි  කෙනා. පෞද්ගලිකව හදුනා ගන්නට  නොහැකි වුනත් කීප වාරයක් ඔහු දකින්නට මම වාසනාවන්ත උනා,"  ඒ මතකය අවධි කරන විට දැනටත් ඔහුගේ දෑස්  ප්‍රීතියෙන් දිලිසෙනු දැකගත හැකිය. " මම ඉස්සර රැකියාවට ගියේ කෝච්චියේ. මම වැල්ලවත්තෙන් නගිනවා. සේකර මහත්තය කොටුවෙන් නගිනවා. ඔහුව දැකපු දාට මට හරිම සතුටුයි. නමුත් ඒ අවදියේදී ඔහුගේ ගීතයක් මට ගායනා කරන්නට  ලැබේවි කියල මට හීනෙකින් වත් හිතුනේ නෑ ." 







English :http://www.nation.lk/edition/fine/item/28958-%E2%80%98art-can%E2%80%99t-be-faked%E2%80%99-sunil-edirisinghe.html

Friday, June 20, 2014

තව වෙහෙසවනු කිම?


පෙම් බැඳි  මුත් මහා සයුරට
වෙරලබඩ  සිට පාගනු මිසක රැල්ල
පවසට දිය බිඳක්
ලබන්නට නොහැකිය මට


ඒ නමුත් බිඳෙන පෙරලෙන
මුහුදු රැලි දෙස වශීකෘතව
මා බලා සිටියෙමි

මහා සමුදුර වෙතින් හමනා
සිසිල දනවන සුළං පරදා
ගිනි ගහන හිරු රැස්
දවාලයි මා දෑස
දෙතොල වියලී ඉරි තැලී
පිපාසය ගෙනදෙයි මහත් පීඩා

අහෝ තේජස් මහා සමුදුර
ඔබට නොහැකිය පවස නිවනට
කුඩා දිය පහරකින්
ලදොත් මා දිය බිඳක්
නිමවේය මේ පවස 
පෙරලෙන ඔබේ රළ බලා 
තව වෙහෙසවනු කිම
සොයා යන්නෙමි 
සිසිලස පිරුණු  කුඩා දිය දහරක් ...

Wednesday, May 21, 2014

සිනාවට හේතුව!

එදා
වියෝ දුක
දුටුවෙමි
හැඳින්නෙමි

තනිවම
සටන් කෙරුවෙමි
පැරදුනෙමි
දිනුවෙමි

අද
එදා මගෙ
දුක ගැන
ඔබ කම්පා වන විට

එදෙස බලා
මා
සිනා සෙනු මිස
වෙන කුමක් කරන්නද?




Wednesday, April 30, 2014

කුසලාන




ඩිග්රි තුනක් ඇති
විකුම්ට කියන්න
අම්ම මට මුණ ගැහුණු බව
සතුට පිරි මාවතක
දිනුම් කණුව පෙනි පෙනී
ඔහු ඉන්න බව
ඇය මට කියූ වග.

අහන් ඉන්නට වෙලාවක්
තිබුනොතින් ඔහුට...
කියන්න ඔහු දැන නොහිටියට
මට එන්න වුනු පාරේ
එක දිගට තිබුනු බව
මහා බාධක ගොඩක්...

කුසලාන නැති උනත්
පහු කරපු බව මම
දිනුම් කණු මහ ගොඩක්
ඩිග්‍රියක් නැති වුනත්
ඉදිරියෙන් බව මම හුඟක්.

Friday, March 14, 2014

ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැඟුමක් ද ගීතය - බණ්ඩාර ඇහැලියගොඩ





 
පිංතූරය : චන්දන විජේසිංහ www.nation.lk


"මගේ ගම ඇහැළියගොඩ, එල්ලාවල, පරණගම. ඉතාම සුන්දර, පිටිසර සශ්‍රීක ගම්මානයක්. සියලු ධන ධාන්‍යයන්ගෙන් පරිපූර්ණයි. කුඹුරු, තේ, රබර්, පොල් විතරක් නෙවෙයි මැණික් පවා තිබුණා. මගේ තාත්තා ගොවියෙක්. මම මුලින්ම ගියේ ගමේ පාසල, එල්ලාවල, පරණගම විද්‍යාලයට.පුංචි පාසලක්, එක ගොඩනැගිල්ලයි තිබුනේ. සමහර දවස් වලට අපි ඉගෙන ගත්තේ ඉස්කොලේ මිදුලේ අරලිය ගහක් යට. ගෙදර ඉඳල ඉස්කෝලෙට හැතැම්මක් විතර දුර යන්නේ, දං හිඹුටු කකා කටවල් රතු කරගෙන...සමනල්ලු පස්සෙ එලව එලව. එනකොට ඇළ දොළ වල පැනලා නාන්න පුළුවන් නිදහස් පරිසරයක් තිබුනා.  එළියට බැස්සාම සම්පුර්ණ සෞන්දර්‍ය ලෝකයක් අපිට විවෘතව තිබුණා.

පුංචි කාළේ ඉඳලම මම තාත්තාට කුඹුරු වැඩ වලට උදවු වුණා. කුඹුරු කෙටිලි, හරක් එලවිලි, ගොයම් කැපිලි, පෑගිලි ඔය කොයි දේටත් සම්බන්ද වුණා. ඒ නිසා ඒ කාළයේ ඉඳලම ගැමි ජීවිතය අත් විඳිමින් එහි ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව, විශේෂයෙන්ම අද හුඟක් දරුවන්ට නැති අවස්ථාවක් අපිට තිබ්බා. අපට අපේ ආචිචිලා, සීයලා, අම්මලා, තාත්තාලා තමයි අපේ මුල්ම සාහිත්‍ය ගුරුවරුන් වුණේ. ඔවුන් තමයි අපිට කවි, කතා කියලා දුන්නේ. ඒ දේවල් වලින් අපේ සාහිත්‍යම වටාපිටාව පෝෂණය වුණා." මේ ප්‍රවීන ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ ළමා කාලයයි. ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේන් උසස් පෙළ හදාරන ඔහුට පේරාදෙණිය විශ්ව විද්‍යාල පිවිසුම් වරම් හිමිවෙයි. විශ්ව විද්‍යාල සමයේදි වේදිකාවට පෙම් බැඳි ඔහු ගීත රචනා කිරීමට පෙළඹුනේ තම විවාහයේනුත් පසු කාළයක දී  ය.

ඔහුගේ පළමු ගීත නිර්මාණයෙන්ම රසිකයින් අතරට ප්‍රභල පණිවිඩයක් යවන්නට ඔහු සමත් වූ බව නිසැක ය. පළමු නිර්මාණය වූ 'තිරය ඇරෙනවා තිරය වැසෙනවා' මුලින්ම ප්‍රචාරය වන්නේ 1983 මාර්තු මාසයේ වුවත්, ඊට පාදක වූ සිදුවීම ඔහුගේ පාසල් අවධිය දක්වා අතීතයට දිව යයි. "මා අතින් ගීයක් ලියවෙනවා මිසක මම ගීත ලියලා දෙනව හරි අඩුයි. එහෙම ලියද්දි මා අතින් ලියවෙන්නේ ප්‍රේමය ද විරහව ද දරිද්‍රතාවය ද මවු ගුණද පිය ගුණද කියන්න මම දන්නේ නැහැ. නිර්මාණය නිර්මාණයක් ලෙස එලියට එනවා මිසක, බලෙන් නිර්මාණ එලියට අද්දවා ගැනීමේ ක්‍රමයක් මට නැහැ.

මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ. මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ. සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

 
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී


ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ


"මේ ගීතය ගායනා කරන්න භාර ගන්නා විට සුනිල් එදිරිසිංහයන් මගේ මිතුරෙක් නොවේ. නමුත් මා මිත්‍ර ජයලත් මනෝරත්නයන් හරහා ඔහු වෙත යවපු ගීත කිහිපයක් අතරින් මෙම ගීතය සහ ලෝකයක් තනන්නට කියන ගීත දෙක ගුවන් විදුලියේ සරළ ගී වැඩහටහන සඳහා ඔහු තෝරා ගත්තා.   

වර්තමානයේ වගේ නෙවෙයි, මා ගීත ලිවීම ආරම්භ කළ අවධියේ ගුවන්විදුලියේ නිර්ලෝභීව ගීත රචකයාගේ නම ප්‍රකාශ කරනවා. ඒ නිසාම මගේ ගීතය ප්‍රචාරය වුනායින් පස්සේ මට බොහෝ ගායකයින්ගේන් ආරධනා ලැබුනා ගීත රචනා කරන්න. එදා සිට මේ වනතුරු ලංකාවේ ගායක ගායිකාවන් සියල්ලකටම පාහේ මා මේ වනවිට ගීත රචනා කර දී තිබේනවා." වර්තමාන ගුවන් විදුලි නාළිකා තුල පෙර මෙන් ගීත උත්පාදක වැඩසටහන් නොමැති වීම විශාල අඩුපාඩුවක් බවත් එය ගීත ක්ෂේත්‍රයේ පරිහානියට හේතු වන බවත් ඔහු සඳහන් කළේ ය.

බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ පියාගේ සහෝදරයා පාරම්පරික නැටුම් ශිල්පියෙකි. ඔහු නැටුමින් පෙලහර පාන විට එය නැරඹීමට ගම් ගණනාවක සෙනඟ රැස්විය. " පළාතේ සංදර්ශන, තොවිල්, ගම්මඩුවලට ඔහු නැතිවම බැරිවුණා.නමුත් අවසාන කාළයේදි ඔහු පිළිකාවක් හදිලා කාත් කවුරුත් නැතුව මිය ගියේ. නටන කොට ගමක් එකතු වුනා. පිළිකාව නිසා ගමම ඈත් වුනා. මේ කළාකරුවාගේ ඛේදවාචකය මට ඉතාම තදින් දැනුණා. ඒ දැනීම තමයි පසු කලේක අන්න බලන්, බෙර හඬින් උදම් වී ගීතය බවට පත් වුනේ."



අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්‌කම කැරකෙන අන්දම්

අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස්‌ තට්‌ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්‌
රනේ රුවට නළලත දිළිසේ

අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක්‌ නෑසේ

සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි






සිංහල ගීත සමස්ථය ගත් කළ බහුතරයක් ප්‍රේමය, විරහව ආදි  ගීත ගණයට ඇතුලත් කළ හැකිය. නමුත් ඇහළියගොඩ ගීත ප්‍රේමයට පමණක් සීමා වී නැත. "යොවුන් ප්‍රේමයට වඩා පරිසරය පිළිබඳව, සමාජය පිළිබඳව  සහ මම වෙසෙන වටාපිටාව පිලිබඳව මගේ තිබෙන ප්‍රේමය දැඩියි. ඒ නිසා වෙන්නට ඇති මගේ ගීත අතර ප්‍රේම ගීත අඩු බවක් හැඟෙන්නේ." නමුත් මෑත ඉතිහාසයේ ටෙලි නාට්‍ය තේමා ගීත අතරින් වඩා රමණීය ගීත ලෙස පිළිගැනෙන දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා නාට්‍යයේ ජීවිතය කවියක් සහ ස්වයංජාත ටෙලි වෘතාන්තයේ තේමා ගීත රචනා වෙන්නේ ඔහු අතිනි.

 

පාරමී දම් පුරා සපැමිණ
එකට හමු වී වෙන්ව යන සඳ....
කියා ගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින 


ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ....

පතා ආවෙත් එලෙසමයි 

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන්...
විශ්වයම සුවපත් කළ හැකියි 


නිතින් සසර දුක ජය ගන්නට පේවී
දහම් සරණ මිස සරණක් නැත දේවී 


ගී තනු - නවරත්න ගමගේ
ගායනය - සුනිල් එදිරිසිංහ සමග විශාරද නන්දා මාලිනී 



 

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හබා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් මව දිව මැවී කවිකම..

ජීවිතේ කවියක්...

සෙනෙහසින් රැදී උන් එක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..

ජීවිතේ කවියක්...

ගායනය : නන්දා මාලනී




දියණියන් වෙනුවන් ගැයෙන ගීත අතරේත් ඔහුගේ ගී පද වලට මුල් තැනක් හිමි වන්නේ එම ගීත හදවතට බොහෝ සෙයින් සමීප වන නිසා විය හැකිය.දියණියන් දෙදෙනෙකුගේ පියෙකු නිසා ඔහුගේ ගී පද රචනා බොහෝ සංවේදීව ලිය වූවා විය හැකිය.  

 
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //

දුවේ නුඹ මගෙ... 


බණ්‌ඩාර ඇහැළියගොඩගේ ගීත කනකින් අසා අනික් කනින් පිට කළ හැකි ගීත නොවේ. ඔහු කණ හරහා ආමන්ත්‍රණය කරන්නේ හදවතටය. මනසය. ඔහුගේ ගීත සමාජ ශෝධක ගුණයේන් හෙබි බව කීම අතිශයෝක්තියක් නොවේ. අවාසනාවන්ත කාරණය වන්නේ, මෙවැනි ගීත සඳහා වර්තමාන ගුවන් විදුලි නාළිකා වල වෙන් වෙන ඉඩ ප්‍රමාණවත් නොවීම ය. 

English : http://www.nation.lk/edition/fine/item/26642-touching-heartstrings-with-music.html

Tuesday, February 18, 2014

ලු!



ලඟට අරන් සෙනේහයෙන්
දුක් කඳුලු පිස දාන
ඔබ සනසන මං
සොර ගැහැණි ලු
වේසාවි ලු!
ඔවුන් නොදන්නවා උනාට
තියාගන්නමයි කියලා
ඔබෙ හදවත මට දුන්නෙ
ඔබේ පිරිසිදු දෑතින්ම ලු !

තලා පෙලා ඔබ තෙරපා
පෙම් ලොව දොරගුලු දාලා
නපුරු ලොවක ඔබ තනිකල
ගුණයහපත්
අගමෙහෙසිය
අනේ පවු ලු
අසරණයි ලු!

ඔවුන් නොදන්නවා උනාට
ඔබ අත
ඇයගේ අත මත
එකට තබා පැටැලෙව්වෙ
සත්ගුණවත් මවුපියන් ලු
බව දැන් අමතකයි ලු!

Thursday, February 13, 2014

කුලීකාර වස්තුව



Courtesy: http://cdn4.wn.com/ 


‍යන්න මාවත නොදන්නී
තාර අතුරා
අනුන් යන මඟ
දෙපස එලි කොට තනන්නී...

ඇට ගැහුණු හිස් ළදරු කුස්
නිතර සිහිකොට තැවෙන්නී
රස මසවුලෙන් විසල් කුස්
නිතර පුරවා තබන්නී...

රළු ඉරුණු රෙදි අඳින්නී
අන් ගත එතෙන
සුදු සිනිදු
රෙදි පිළි මදින්නී...

ඉන්න සෙවනක් නොමැත්තී
අන් හිසක සෙවනක
සතුට සදමින්
සෝ දුකින් කල් ගෙවන්නී

Wednesday, February 12, 2014

වරද කාගෙද

එක සිත
දෙතැනක
තුන් තැනක
කිහිප තැනකම

(අඩු වැඩි වශයෙන්)
නතර වී
ඇත.


වරද කාගෙද
දුවන සිතෙහිද
පෙනෙන රුවෙහිද
කවදා
කවුරුන්
කියා දේවිද?


 

Monday, January 20, 2014

ගුවන් ටිකට් පත එපා කියා ගුවන ජයගත් සිඟිත්තී - නන්දා මාලිනී



 
පිංතූරය: චන්දන විජේසිංහ www.nation.lk


මම පුංචි කාළේ ගුවන් විදුලියේ එයාර්ශිප් කියලා ගායනා තරගයක් තිබුණා.  අද වගේ සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහනක් නෙවෙයි.  ගුවන් විදුලියේ ආරියසේන මිල්ලවිතානාච්චි සහ පොස්පර් ප්‍රනාන්දු කියන මහත්ත්වරුන්ගේ උත්සහයක්. මේ තරගයේදි මම පළවෙනි තැන ආවා. මට තෑග්ග විදියට ලැබුනේ බොම්බායට යන්න ගුවන් ටිකට්පතක්.අපි හරි දුප්පත්, කන්න නෑ අපිට,අදින්න නෑ. තාත්තා ඉඳිකටු ඇන ඇන අපිට කන්න දෙන්නේ. ඉතින් කොහොමද අපි රට රට වල යන්නේ?,” බොහෝ දෙනා දන්නා නන්දා මාලිනිය බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් කියන්නට සැරසුනේ ඇය සංගීත පන්ති පවත්වාගෙන යන නුගේගොඩ සංගීත ආශ්‍රමයේ ඈඳි පුටුවක වාඩි ගෙනය. නිරන්තරවම ඇය සරසන සුදු සාරිය මෙන්ම ආශ්‍රමයද සරළය.   

ඇය නොනැවතී කියන කතාවද ගායනයකට සමය. ඒ ගමන මම තාත්තටත් කිව්වා අපට බොම්බායේ යන්න බැරි නිසා අපි මේකට සල්ලි මාරු කරගමු කියලා. මට හොඳට මතකයි ඔය කොටියෙක් ඉන්න ඔරලොසු කණුව ගාවයි ඒ කන්තෝරුව තිබුනේ. තාත්තත් එක්ක මම ගියා එතනට. මමමයි ඒ මහත්තුරුත් එක්ක කතා කලේ. 'මහත්තයා, අපි දන්නේ නෑ මේවයෙ යන්න, අපිට සල්ලි නෑ. මහත්තයලට පුලුවන්නම් මේක අරගෙන සල්ලි දෙන්න.' මම කිව්ව දේ අහලා ඒ මහත්තුරු අපට සල්ලි දුන්නා. විනාඩි පහළවක්වත් ගියේ නෑ. ඒ අය තේරුම් ගත්තා අපේ කතාව."

"සල්ලි ලැබුණු ගමන්ම මම තාත්තට කිව්වා අපි මොනවා හරි බොමු කියලා. පාට පාට බීම අපට කඩවල පේනවා. ඒ ගමන ලඟ තිබුණු කඩේකින් අපි ලොකු සරුවත් දෙකක් බීවා. ඉන් පස්සේ යන ගමන් මම තාත්තාට කිව්වා අපි ඉස්තිරික්කයක්  ගමු කියලා. මම එහෙම ඇහුවෙ මගේ තාත්තා පොල් කටු අඟුරු දාපු ඉස්තිරික්කයකිනුයි ඒ කාලේ මහපු කෝට් මදින්නේ. කෝට් බාස් කියලයි තාත්තට ඒ කාලේ කිව්වේ. පුංචි බම්බු කෑල්ලකුත් තියාගෙන ඒකට පිඹිනවා. එකෙන් එන අළු මූණේ හැමතැනම.  මම දකිනවානේ හැමදාම මේක. පුංචි වුනත් මට ඒ අවශ්‍යතාවය තේරුණා. ඒ ඇහුවම තාත්තා මට හිනාවුණා.  'උඹට පිස්සු ද? ඉස්තිරික්ක ගත්තට අපට කෝ ලයිට්?' ඔන්න එතකොටයි මට මතක් වුනේ අපට ලයිට් නැති වග.ඉතින් මම කිව්වා. අපි ලයිටුත් ගමු කියල කොටහේනේ ගෙදරට. ඒ සල්ලී වලීන් ඔන්න ගෙදරට ලයිටුත් ගත්තා." ඉස්තිරික්කයකුත් ලයිටුත් ගත් පසුද තවත් මුදල් ඔවුන් අත ඉතිරි වී තිබුණි. පුංචි නන්දාට ඉතිරි මුදලින් සපුරා ගත හැකි තවත් අවශ්‍යතාවයක් සිහි වුණි.

"තාත්තා වැඩ ඉවර කරද්දී හැමදාම රෑ වෙනවා, අම්මා තේ කොප්පේ හදලා මොකකින් හරි වහලා තියනව.වැඩ නිසා තේක සීතල වෙනවා. පොඩි වුනත් මේක මට තදින් දැනිලා තියෙන්න අති, ඉතිරි සල්ලි වලින් තාත්තට උණු වතුර බෝතලයක් ගත්තේ.”

අතීත කතාව කියා නිම කළද එයට එක්කළ යුතු වර්තමාන කතාවක් ද ඇය සතු විය. “මේ සිද්ධිය මම පස්සේ කාළෙක පත්තරෙකට කිව්වා.ඒ ලිපිය පළවුනාත් එක්කම හැරෙන තැපෑලෙන් ලියුමක් එනවා වික්ටර් රත්නායකයන්ගෙන්, 'මට හරි ආසයි මම දෙවෙනියාට ආපු එක ගැන' කියලා. මම දන්නේත් නෑ ඒ දවස් වල මාත් එක්ක තරගයකට වික්ටර් හිටපු බවක් වත්," වික්ටර් රත්නායකයන්ගේ හෘද්යාංගම ලිපිය පිළිබඳව ඇය සංවේගය පළකළාය. රම්‍ය තීර්තයේදි ඔහු හා එකම වේදිකාවක ගී ගයන්නට ලැබීම තමන් ලද භාග්‍යයක් බව ඈ වැඩිදුරටත් පැවසුවා ය.

නන්දා මාලිනිය උපන්නේ 1943 වසරේදීය. ජීවිතයේ සැත්තෑ විය පසු කරමින් සිටිය ද ඈ අදත් එදා මෙන්ම ශක්තිමත් ය. එදා මෙන්ම අදත් ඇය ගයන ගීත රසිකයන්ගේ හදවත් තුල කිඳා බසින්නේ වයස් පරතරයකින් තොරවය. අපි පවුලේ නව දෙනයි. මගේ තාත්තා ටේලර් කෙනෙක්. අපි ඉතාමත් අඩු පහසුකම් සහිතව ජීවත් වුණු ඉතාමත් දුප්පත් පවුලක්,නමුත් මගේ පියා නිතරම උත්සහ කලේ අපිට හොඳම අධ්යාපනයක් ලබා දෙන්න.කොච්චර නැති බැරි උනත් ඔලුව කෙලින් තියාගෙන ඉන්න විදිය තමයි කියල දුන්නේ. සමහර විට අපි එක වේලයි කෑවේ,අපි හොඳට අන්න තිබ්බෙ නෑ.නමුත් ඒවා නෙවෙයි තාත්තාගේ ප්රශ්න වුනේ. තාත්තා හැම වෙලේම අපිට උගන්නන්නයි උත්සහ කළේ,” ඇය ළමා කාලයේ තවත් තොරතුරු බෙදා ගන්නට සූදානම් .

ඇගේ පියා නමින් වින්සන් පෙරේරා . "අපේ තාත්තා මහ පුදුම පුද්ගලයෙක්. එයා අපිට නියම කරල තිබුනා රෑ කෑමට කලින් හැමදාම බුදුන් වදින්න. අපේ ලොකු අක්කා තමයි අපට කෑම බෙදන්නේ. අපිට ඇහෙනවා කුස්සියේ බෙලෙක් පිඟන් එකට වැදෙන සද්දේ.බෙදලා දෙන බත් එක මදි උනත්, වැඩි උනත් එච්චර තමයි. ආයේ ඉල්ලන්න බැහැ.ඉල්ලන්න නෑ.බඩගිනි වැඩිදාට අපි ඉක්මනින් ඉක්මනින් ගාථා කියනවා. ඒ වගේ දාට ඉවර වෙලා ඇවිත් තාත්තාට වැන්දාම තාත්තා අපිව හරවලා යවනවා, 'අද නම් ගාථා කිව්වා හොඳ නෑ.ගිහින් ආයේ කියලා එන්න' කියලා.කොයි විදියට හරි ගාථා ටික සන්සුන්ව කියන්න ඕනේ, නැත්තම් බැණුම් තමයි.ලොකු වුනාමයි තෙරුනේ අපිට තාත්තාගේ විදිය, " ඈ විස්තර කරමින් කීවාය. "තාත්තා කනකොට හැමදාම බත් මිටක් සතුන්ට වෙන් කරනවා.කාල ඉවරවෙලා ඒ බත් මිට සතෙකුට හරි කුරුල්ලේකුට හරි දානවා. මටත් ඒ සිරිත පුරුදු වෙලා තියෙන්නෙ තාත්තාගෙන්. " ඇය පිය ගුණ පුනපුනා සිහි කරන්නී ය.අද මම ශක්තිමත්. තාත්තා නිසා තමයි අද මම ශක්තිමත්ව ඉන්නේ,” තම පියා තමන් දිවියේ කිඳා බැස ඇති බවත්, ඔහු තමන්ට පුරුදු කළ ජීවිතය නිසා වර්තමානය සාර්තක වූ බවත් ඇය මතක් කරන්නේ ගෞරවයෙනි.


ඇය අද ගත කරන දිවිය එදා අභියෝග වලින් ලද පන්නරය මත ඉදි වුවකි. මම හිතන්නේ අපි සෑහීමකට පත්වෙන්න ඕනේ අපිට ලැබෙන දේ සම්බන්ධව. ඒක තමයි ගෑණියකගේ පවුල් ජීවිතය හරියන්න හරි, සමාජ ජීවිතය හරියන්න හරි, එයාගේ ඉදිරි දැක්ම හරියන්න හරි, එයා එයාගේ සීමාවෙ ඉන්න දැන ගන්න ඕනේ.පොඩි දවස් වල අද ඉස්කෝලෙට ඇඳපු ඇඳුම රෑට හෝදලා මදිනවා, අතිනුයි මදින්නේ, අපිට ඉස්තිරික්ක තිබුනෙ නෑ. අතින් මැදලා කොට්ටෙ යටින් තියාගන්නවා. මට දැනටත් පොඩි දෙයයි තියෙන්නෙ,මම සුදු විතරයි අදින්නේ; පුලුවන් තරම් සරලව ජීවත් වෙන්නයි තවමත් මම උත්සහ කරන්නේ. මේ විදියට කරන්න කියලා මට මගේ දරුවෙකුටවත් බල කරන්න බැහැ,ඒ ජීවිතය එන්න ඕනේ තමන්ගෙන්මයි. මගේ ජීවිත පසුබිමෙන් තමයි මට මේ සරල ජීවිතේ පුරුදු වුනේ.


දේශපාලන අරගලයක් තිබෙන වකවානුවක 'පවන' වැනි සංගීත ප්‍රසංග සඳහා ගීත ගැයීමට අවශ්‍ය ශක්තියද තමන්ට ලැබුනේ තමන් පසුකල මේ අභියෝගකාරී ජිවිතයෙන් බව ඇය පවසයි. "ඇත්තටම මට බයක් අති වුනේ නැහැ පාලන තන්ත්රයේ අඩුපාඩු ගැන ගීත කියන්න. අපි දරිද්‍රතාවයෙන් පෙළුනු ළමයි. අපි හැමදාම ඒ අයගේ දුකයි දැක්කේ.හැටේ වත්තෙ අපි ඉන්න කාලේ අපේ තාත්තා මහලා දුන්නු පුංචි පුංචි කලිසම් අරගෙන ගෙයක් ගෙයක් ගානේ යනවා. මිනිස්සු අපිව ගන්නේ නැහැ ඇතුලට. මේ වේදනාව අපිට හරියට දැනුනා. පවනෙන් අපි කතා කලෙත් ඔය දේම තමයි. මගේ ගායනය සමාජයේ සුභ සිද්ධිය සඳහා විය යුතුයි. ඒ නිසාම තමයි, පවන එ කාලේ බිහි විය යුත්තක්ම වුනේ. ඒ කාලේ රටේ වාතාවරණය ඉතාමත් දරුණු ලෙස අයුක්තිය අසාධාරණය රජ වෙලා තිබුණු කාළයක්. නිකරුණේ ජිවිතය නැති කරගන්න වුවමනාවක් නැති නිසා මට 89 අවුරුද්දේ රටින් පිට වෙලා ඉන්නත් සිද්ධ වුණා. මරණය හොඳ විඩියට සිද්ධ වෙනවා නම් මරණයට මුහුණ දෙන්න කමක් නෑ," ඇය ඇගේ ගීතයකින්ම පිලිවදන් දුන්නාය.

දහසක් ඉපදී මිය යන පොළවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මා මළ බව මුලු රටට දැනෙන්නට
මිය යන්නට මා පෙරුම් පුරන්නෙමි

අපි දැක්කා ඒ කාළයේ තිබුණු තරුණයින්ගේ අසහනය. ඉගෙන ගත්තු ළමයින්ට කිසිදෙයක් නැහැ.එගොල්ලෝ කඩු කිණිසි අතට ගත්තේ ඒකයි. මේ අසාධාරණය අපට පෙනුණා. මේ අයුක්තිය අපට පෙනුණ. ඒ පෙනුණු දේ තමයි අපි 'පවන'ට ගොනු කලේ. ඒ නිසාම ඒ පාලන තන්ත්‍රයෙන් අපිට පවන කරන්න දුන්නෙ නෑ. එ නිසයි ඉක්මනින්ම ගීත ටික සංගත තටියකට නඟලා ප්‍රසංගය නතර කළේ. පවනේ බීජ තවම තියනවා, ඒ බවත් කියන්න ඕනෑ," ඇය යමක් නොකියා කියන්නට උත්සහ කළාය.පවනේ බීජ අඩු වැඩි වශයෙන් තවමත් සමාජයේ හොල්මන් කරනවා. ඒ ගීත අදටත් වලංගුයි.හෙටට වලංගු නොවන ලෙසට කටයුතු වුනොත් එච්චරයි," ඇය තව දුරටත් පැහැදිලි කළාය.


Read in English :methinksatnation