Thursday, October 11, 2018

-------- රෙජී --------



ඊයේ ලෝක මානසික සෞඛය දිනය. මුහුණු පොතේ විවිධ ලියුම් කියවනකොට, විශේෂයෙන්ම මානසික රෝගීන්ට වෙනස්කම් කිරීම ගැන,මගේ මතකයට ආපු කෙනෙක් ඉන්නවා.

ඒ  රෙජී!

රෙජී ජිවත් වෙන්නේ අපේ ගෙවල් කිට්ටුව. වයස අවුරුදු 70කට වැඩි ඇති. ගොඩක් උස, උසේ හැටියට මහත තියන මනුස්සයෙක්. මුණ පුරා රැවුල වවල.  එක්කෝ සරමක් එක්ක ෂර්ට් එකක්. නැත්තන් කොට කලිසමක් එක්ක. කොයි ඇඳුම ඇඳන් හිටියත් ඒවා අපිරිසිදුයි. පිරිසිදු කරලා ගත්තනම් වයසට ගිය නළුවෙක් වගේ පෙනුමයි.

රෙජී ට රැයක් දවාලක් නැහැ. හිතුනු හිතුනු වෙලාවට රිටකුත් අරන් පාරේ එහාට මෙහාට ඇවිදිනවා. රෙජීට හොඳ කාල වගේම නරක කාලත් තියනවා. හොඳ කාලෙට කොන්ඩේ ගානට කපල මුණ එහෙම සෝදලා තමයි යන්නේ. නරක කාලවලට කොන්ඩේ එහෙම්මම අපිළිවෙලට වැවිල, කටෙන් කෙල බේරෙනවා. උදේ පාන්දරම එලියට බහින කොට දකින්න ආස හිතෙන දර්ශනයක් නෙවෙයි.

ඒ කාලෙට ඉස්පිරිතාලෙන් ඇවිත් රෙජිට බෙහෙත් විදින බවත්, එතකොට තත්ත්වය යහපත් අතට හැරෙන බවත් මම අහල තියනවා.වෙනස දැකල තියනවා වුනාට බෙහෙත් විදිනවා මම නම් දැකල නෑ.


රෙජීට හොඳ වචන නරක වචන එච්චර ගානක් නෑ. එයාගේ අකමැත්තක් තියනවනම් පාර දිගේ ලවුඩ් ස්පිකර් දමාගෙන වගේ අදාල කෙනාට ලුණු ඇඹුල් ඇතිව බනිනවා. අපේ සීයාටත් නම ගම සහිතව බනිනවා අපිට ඇහිලා තියනවා. ගමේ මිනිස්සු කියල තියනවා.

මේ ඔක්කොම නිසා පොඩි කාලේ දී රෙජිට මම බය වුනා. පාරේ එනවා නම් අනිත් පැත්තට වෙලා මග අරිනවා. එත් ලගින් යද්දී බයයි.

දැන් අවුරුදු ගානක් තිස්සේ රෙජිත් පාරේ යනවා. බනිනවා. කෑගහනවා. මනුසයෙකුට හෝ සතෙකුට හිංසාවක් කරන බවක් පේන්න නැහැ. ඉතින් මගේ බය ටික ටික අඩුවුණා. මන් හිතන්නේ වයසින් වැඩෙද්දී  මනෝ රෝග ගැන ලබපු දැනුමත්  රෙජිව දකින විදිය වෙනස් වෙන්න බලපෑවා.

උදේට උදේට රෙජි සල්ලි කියක් හරි ඉල්ලනවා. ඉස්සර මම දැක්කේ නෑ වගේ යනවා. රෙජී සීයට බනිනවා.


එක දවසක් මම මගේ හැසිරීමේ වෙනසක් කළා. රෙජි ලඟට ඇවිත් සල්ලි ඉල්ලුවම නොදැක්ක ගානට ඉන්නේ නැතුව, 'අන්කල් ගූඩ් මොර්නින්ග්' කියල ඔහුට සුබ පැතුවා. අනේ රේජි ලස්සනට හිනා වුනා. මගේ පපුවේ බර දෙතුන් ගුණයකින් වැඩි වුණා. 'ආ ගුඩ් මොර්නින්ග් නෝන'. මෙන්න පිස්සු රෙජි සාමාන්‍ය මනුස්සයෙක් වගේ මට පෙරලා සුබ  පතනවා. 'මේ තේකක් බොන්න කීයක් හරි දෙන්න නෝනා.'

රෙජී තේ බොන්නේ නෑ. එකතු වෙන සල්ලි වලින් මැජික් අරිෂ්ට බොනවා. මම එක දන්නව. එත් මම පර්ස් එකට අත දාල නෝට්ටුවක් දුන්න. 20ක් ද 50ක් ද මතක නෑ.

එදා ඉදන් හැමදාම උදේට රෙජි එනවා මම බස්  රථයට නගින්න ඉන්න වෙලාවට. වචනයක් දෙකක් කතා කරනවා. හිටි ගමන් විහිලුත් කරනවා. හහ්...හහ් ...හා ගාල මහා හය්යෙන් හිනා වෙනවා. රුපියල් 20ක් ඉල්ලන් යනවා.

ඊට පස්සේ කවදාවත් රෙජි සීයාට බනිනවා මට ඇහිලා නැහැ. කවුරුත් අපිට ඇහුනු බවක් කිව්වෙත් නැහැ!

------------------------------------------------------------------------------------------------------------------

***සමහර විට මානසික ආබාධ තියනවා අයට අපි සලකන විදියට වෙන්න ඇති ඒ අය අපිට සලකන්නේ. අපි ඒ අය දිහා බලන විදියට වෙන්න ඇති අපි දිහාත් බලන්නේ***




Sunday, August 19, 2018

පල්ලියට ආ මව

ලෝගු දරන්නාණෙනි නුඹ ඔය අමතන
මහ තෙද බල ඇති දෙව් සමිඳුන්
දැක නැතිවද තවමත් අසරණ මා 
මෙහි සැමදා විත්  යදිනා මුත්

සිව්වැනි වරටත් කුසහොත් මාගේ
පොඩි කිරි දරුවන් සියලු දෙනා
මොන පාපයකට ගැහැණු වුණාදැයි
අහන්න මා ගැන දුක් සිතලා

යන්තන් කිරි බොන වයසෙම මාගෙන්
වෙන්කළ මගේ දරුවන් දෙදෙනා
කොහේ ගියාදැයි සමිඳ දන්නවැති
අහන්න පොඩ්ඩක් සමාවෙලා

මම ද ගැහැනියකි  තිරිසන් වුවද
දෙවි සමිඳානන් මැවූ ලෙසේ
මවු පදවිය දුනි - මගෙන් පැහැර ගති
දෙවි සමිඳාණන් කැමති ලෙසේ

ලෝගු දරන ඔබගේ ඔය හදවත
මගේ කෙඳිරියට උණු වෙන මුත්
ඔබ ඉහලින් වන සමිඳුන් හදවත 
නැත උණු වන්නේ මා වෙනුවෙන්


Monday, August 6, 2018

ඇත්තටම ජයග්‍රහණය කිරිම



ඊයේ පෙරේදා පද්මාවත් චිත්‍රපටිය බලන්න වෙලාවක් ලැබුණා. මම සාමාන්‍යයෙන් තව කෙනෙක් එක්ක චිත්‍රපටි බලන්න කැමති නැහැ. මොකද අතරමගදී බාධා වෙන නිසා. මගේ එයාඑක්ක නම් කොහොමට වත් චිත්‍රපටි බලන්න බැහැ  මොකද අතර මගදී ප්‍රශ්න අහන නිසාත්, හින්දි හෝ දමිළ කතාවක සින්දුවක් නැටුමක් තියනවා නම් අවසරයක් නැතුවම ස්කිප් කරලා දමන නිසාත්. කොහොමහරි පද්මාවත් බලන්න එයාවත් එක්කහු කරගන්න සිද්ධ වුණා.

කතාව අවසානයේදී අපි දෙන්නට එකගතාවයකට එන්න බැරි වුණා. චිත්‍රපටය හදපු මිනිස්සුන්ට අපිට හිතවන්න ඕනේ වුනු විදියටම මම පද්මාවතී රැජිනගේ පැත්ත ගත්තා. එයා තමන්ගේ වරිගයේ නම්බුව ආරක්ෂා කරන්න කල හැකි උදාරතම කැප කිරීම කළා. සතුරු රජතුමාට දිනුම නොලැබෙන තැනට වැඩ කටයුතු කරලා ඉතිහාසයේ විශිෂ්ට කාන්තාවක් විදියට නම ලියවා ගත්තා.

මගේ අදහසට එයා විරුද්ධයි. එයා අහනවා පිරිමි ඔක්කොම යුද්දෙන් මැරිලා ගිහින්, ගැහැණු ඔක්කොම ගින්නට බිලිවෙලා මුළු රජධානියම නැතිවෙලා ගියාට පස්සේ ඒ ලැබුණු ගෞරවයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියල. ඒ වෙලාවේ මම පරාජය බාර නොගෙන පද්මාවතිගේ නම්බුව ආරක්ෂා කරන්න කතා කළා.

ඒත් එයාගේ තර්කයේත් ඇත්තක් නැත්තේ නැහැ. පද්මාවතී ගින්නට පැනල ඇත්තටම ලබාගත්තේ ජයග්‍රහණයක් ද?සතුරාට අවශ්‍ය දේ නොදුන්නා කියල තමාට ජයග්‍රහණයක් ලැබෙනවද?  සතුරා පරාජය කල පලියට තමන්ට ජයග්‍රහණය ලැබෙනවද?

ජය හෝ පරාජය කියන්නේ මායාවක් ද?  මේ ලොකුවට කතා කළා වුනත් තරමක් බාල නිෂ්පාදනයක් වුනු චිත්‍රපටියකට මනුස්සයෙක් මෙච්චර හිතවන්න පුළුවන් වුනු එකත් ඒ නිෂ්පාදකයින්ගේ ජයග්‍රහණයක් වෙන්න ඕනේ.

මේ චිත්‍රපටි උදාහරණ විතරක් නෙවෙයි, අපේ ඇත්ත ජිවිතේ ජය පරාජයත් මායාවක් නෙවෙයි ද. අපි ප්‍රභාකරන් ව පරාජය කළා. එත් සිංහල ජාතියක් විදියට, රටක් විදියට අපි ජයග්‍රහණයක් ලැබුවා ද? 2015 ජනවාරි වල අපි මහින්ද පරාජය කළා. අපි දිනුව ද? ඉස්සරහට එන මැතිවරණයකදී තියන ආණ්ඩුව සමහර විට (මේ යන විදියට බොහෝවිට) අපි පරාජය කරයි. එහෙම කියල ඒ පරාජය කිරීම නිසා අපි දිනාවිද?

සිදුහත් බෝසතාණන් මාර පරාජය කල පලියට බුදු බව ලබා ගත්තා ද? වීර්යයෙන් උත්සහ කල නිසා බුද්ධත්වය අවබෝද කර ගත්තා ද?

මම හිතන විදියට නම් ජයග්‍රහණය බොහෝවිට පරාජය කිරීමෙන් ස්වායක්තයි. අපිට
ජයක් ලබන්න තවත් කෙනෙක් පරාජය කරන්නම ඕනේ නැහැ. නමුත් තමන්ගේ සටන ගැන හොදින් දැනගන්න ඕනේ. ඒ වගේම තමන් සටන් කරන සතුරාවත් හොඳින් දැනගන්න ඕනේ. මේ ඔක්කොටම වැඩියෙන් තමන් තමන්ව හොඳින් දැනගන්න ඕනේ. සමහර විට අපි සටන් කරන්න බොහොම වෙහෙස වෙලා අවසානයේ ඒ ගැන කල්පනා කලහම ඒ සටන සම්පුර්ණයෙන්ම අනවශ්‍ය සටනක්. ඉතින්, ලබාගත්ත කියල හිතාගත්තු ජයග්‍රහණයත් අනවශ්‍යම ජයග්‍රහණයක්.  ඒ ජයග්‍රහණය නැති වුනා කියලත් තමන්ගේ ජිවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

මේකට එක උදාහරනයක් කියලම මේ හෑල්ල ඉවර කරන්නම්.

iphone එකක් පාවිච්චි කරන්න අපි හුග දෙනෙක් ආස කරනවනේ. සමහරු මේකට සටන් කරනවා. මගේ එක මිත්‍රයෙක් iphone  එකක් ලබා ගන්න අවුරුදු ගානක් සටන් කළා. කෑමට බිමට තිබුණු මුදල් පවා කැප කරලා අන්තිමේ දී එයා ඒ සටන දිනුවා. දිනලා ඊළඟ දවසේ එනකොට මන් එයාගෙන් ප්‍රශ්න කළා. දැන් පෙරුම් පුරලා පුරලා තමන්ට ඕනේ දේ දිනා ගත්තා නේද කියල. එයා කිව්වේ සටන් කරන කම් තිබුණු ආසාවත් සටන දිනුවට පස්සේ නැති වෙලා ගියා කියල.

අපි කරන හුගක් දේවල් මේ වගේ නෙවෙයි ද?

Monday, July 23, 2018

අත්හැරුණු දේ යලි මතක් කිරීම සහ පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගැනීම

  කාලයක් තිස්සේ බ්ලොග් ලිවිල්ල අත්හැරිලා තිබුණේ. දැන්  මතක් වෙලා බලපුවම   හරියටම අවුරුදු  දෙකකින් කිසිම දෙයක් ලියවිලා නැහැ. මේක හිතාමතා අත්හරිමකටත් වඩා ඉබේ සිද්දවුණු දෙයක්. බොහෝවිට රැකියාවේ සිදුවුණු වෙනසත්, නිතර පරිගණකය ඇසුරට අවශ්‍යතාවක් නොතිබීමත් මේකට හේතු වෙන්න ඇති.

බ්ලොග් එකට හුගක් දේවල් ලියවුනේ කියාගන්න බැරි දේවල්  කියල දාන්න මේක  හොඳ මෙවලමක්  නිසා."මා මුවින් වැමෑරුනු දුක් ගැහැට එකතු කර එය මහා කවියකැයි පසු කලෙක ඔබ කීහ." කියල මහගම සේකරත් කියල  තිබුනනේ.  මමත් සේකරත් පොලොවයි අහසයි වගේ උනාට, මේ කියමන  අදාලයි වගේ.     


 වැඩිපුර හිතට ආපු දේවල්  අකුරු වෙලා තියෙන්නේ ජිවිතේ අමාරු කාල වලදී, හිතට එන හැමදේම කියාගන්න කෙනෙක් නැති එහෙම නැත්තන් අහන ඉන්න අයට තමන් කියන දේ තේරෙන්නේ නැහැයි කියල හිතුනු අවස්ථාවලදී.

එහෙම කියල අද මේ හිතට  එන දේවල් යතුරු කරන්නේ කියාගන්න බැරි දෙයක් තියෙන නිසා නෙවෙයි. ඊයේ උදේ එක්තරා ආචාර්යවරයෙක්  බ්ලොග් ලියවිල්ල ගැන අහම්බෙන් වගේ  කතා කරපු නිසා. මේ ආචාර්ය වරයා බ්ලොග්  ලියන්නන්   කිහිප දෙනෙක්වම දිරි ගන්වල තියෙනව. හිතට එන දෙවල් අකුරු කරල එ හරහා යම් අස්වැසිල්ලක් ලබාගන්න පුලුවන් බව එතුමා කිව්ව. මෙක මන් හොදටම දන්න දෙයක්. විදල තියන දෙයක්. එ නිසා වෙන්න ඇති මෙ වෙලාවේ මෙ වචන ටික ලියවෙන්නෙ.

බ්ලොග් ලිවිල්ල වගෙම කියවිල්ලත් යම්තක් දුරකට මගෙ අතින් මග ඇරිල තිබුනා. එ බවත් මට ආපහු මතක් කලෙ මෙ ආචාර්යවරයා. ඔහු අපුරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා. බ්ලොග් කියවිම අත් හැරීම නිසා  කොතරම් රසවත් දේ මගහැරෙනවා  ද. කට්ටකාඩුව එ බ්ලොගයෙ නම.

ස්ටීවන් කිං කියන ප්‍රසිද්ධ කතාකරුවා  මෙහෙම කියනවා. "ඔබට කියවීමට වෙලාව නැතිනම් ඔබට ලිවීමට වේලාවක් (සහ අවශ්‍ය මෙවලම්) ද නැත. මේ කියමනත් මට අදාල කරගන්න පුළුවන්. දැනට අවුරුදු කිහිපයකට කලින් මාසයක් ඇතුලේ කියවපු පොත් කාන්තාරව දැන් අවුරුද්දක් ඇතුලේත් කියවන්නේ ලොකු වෑයමක්  දරල.

මං පොත් කියවන්න ආසාව තියන කෙනෙක්. පොතේ අන්තර්ගත කතාවට වඩා පොතේ සමහර උදෘත වලින් ජීවිතය කියවන්න මං හුඟක්ම කැමතියි. පොත් කියවල ටික දවසක් ගියත් කල්පනා කරන්න දේවල් ඉතුරු කරන පොත් වලට, කතන්දර වලට මම හුඟක්ම කැමතියි. වැඩ ගොඩවෙනකොට ආසාවන් ඉෂ්ට කරගන්න වේලාවක් හොයාගන්න අමාරු  වෙනවා.ඊටත් එහා එකට අවශ්‍ය මානසික ශක්තිය  පිරිහිලා යනවා.

මේ අලුත් බ්ලොග් සටහන ඒ නීරස කාලයට තිතක් තබාවි කියල පොඩි බලාපොරොත්තුවක් තියනවා. හැබැයි, මේ සටහන තියල ආයෙත් මාස ගණනක් යනකම් බ්ලොග් එකක් තියනවා ද නැද්ද කියල මතක් නොවෙන්නත් පුළුවන්කමක් තියනවා. කල යුතු දෑ අපමණයි. කාලය සීමිතයි. තෝරගත්තු මර්ගයේ පරහක් ද කියලත් මට වෙලාවකට හිතෙනවා.