Monday, July 23, 2018

අත්හැරුණු දේ යලි මතක් කිරීම සහ පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගැනීම

  කාලයක් තිස්සේ බ්ලොග් ලිවිල්ල අත්හැරිලා තිබුණේ. දැන්  මතක් වෙලා බලපුවම   හරියටම අවුරුදු  දෙකකින් කිසිම දෙයක් ලියවිලා නැහැ. මේක හිතාමතා අත්හරිමකටත් වඩා ඉබේ සිද්දවුණු දෙයක්. බොහෝවිට රැකියාවේ සිදුවුණු වෙනසත්, නිතර පරිගණකය ඇසුරට අවශ්‍යතාවක් නොතිබීමත් මේකට හේතු වෙන්න ඇති.

බ්ලොග් එකට හුගක් දේවල් ලියවුනේ කියාගන්න බැරි දේවල්  කියල දාන්න මේක  හොඳ මෙවලමක්  නිසා."මා මුවින් වැමෑරුනු දුක් ගැහැට එකතු කර එය මහා කවියකැයි පසු කලෙක ඔබ කීහ." කියල මහගම සේකරත් කියල  තිබුනනේ.  මමත් සේකරත් පොලොවයි අහසයි වගේ උනාට, මේ කියමන  අදාලයි වගේ.     


 වැඩිපුර හිතට ආපු දේවල්  අකුරු වෙලා තියෙන්නේ ජිවිතේ අමාරු කාල වලදී, හිතට එන හැමදේම කියාගන්න කෙනෙක් නැති එහෙම නැත්තන් අහන ඉන්න අයට තමන් කියන දේ තේරෙන්නේ නැහැයි කියල හිතුනු අවස්ථාවලදී.

එහෙම කියල අද මේ හිතට  එන දේවල් යතුරු කරන්නේ කියාගන්න බැරි දෙයක් තියෙන නිසා නෙවෙයි. ඊයේ උදේ එක්තරා ආචාර්යවරයෙක්  බ්ලොග් ලියවිල්ල ගැන අහම්බෙන් වගේ  කතා කරපු නිසා. මේ ආචාර්ය වරයා බ්ලොග්  ලියන්නන්   කිහිප දෙනෙක්වම දිරි ගන්වල තියෙනව. හිතට එන දෙවල් අකුරු කරල එ හරහා යම් අස්වැසිල්ලක් ලබාගන්න පුලුවන් බව එතුමා කිව්ව. මෙක මන් හොදටම දන්න දෙයක්. විදල තියන දෙයක්. එ නිසා වෙන්න ඇති මෙ වෙලාවේ මෙ වචන ටික ලියවෙන්නෙ.

බ්ලොග් ලිවිල්ල වගෙම කියවිල්ලත් යම්තක් දුරකට මගෙ අතින් මග ඇරිල තිබුනා. එ බවත් මට ආපහු මතක් කලෙ මෙ ආචාර්යවරයා. ඔහු අපුරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා. බ්ලොග් කියවිම අත් හැරීම නිසා  කොතරම් රසවත් දේ මගහැරෙනවා  ද. කට්ටකාඩුව එ බ්ලොගයෙ නම.

ස්ටීවන් කිං කියන ප්‍රසිද්ධ කතාකරුවා  මෙහෙම කියනවා. "ඔබට කියවීමට වෙලාව නැතිනම් ඔබට ලිවීමට වේලාවක් (සහ අවශ්‍ය මෙවලම්) ද නැත. මේ කියමනත් මට අදාල කරගන්න පුළුවන්. දැනට අවුරුදු කිහිපයකට කලින් මාසයක් ඇතුලේ කියවපු පොත් කාන්තාරව දැන් අවුරුද්දක් ඇතුලේත් කියවන්නේ ලොකු වෑයමක්  දරල.

මං පොත් කියවන්න ආසාව තියන කෙනෙක්. පොතේ අන්තර්ගත කතාවට වඩා පොතේ සමහර උදෘත වලින් ජීවිතය කියවන්න මං හුඟක්ම කැමතියි. පොත් කියවල ටික දවසක් ගියත් කල්පනා කරන්න දේවල් ඉතුරු කරන පොත් වලට, කතන්දර වලට මම හුඟක්ම කැමතියි. වැඩ ගොඩවෙනකොට ආසාවන් ඉෂ්ට කරගන්න වේලාවක් හොයාගන්න අමාරු  වෙනවා.ඊටත් එහා එකට අවශ්‍ය මානසික ශක්තිය  පිරිහිලා යනවා.

මේ අලුත් බ්ලොග් සටහන ඒ නීරස කාලයට තිතක් තබාවි කියල පොඩි බලාපොරොත්තුවක් තියනවා. හැබැයි, මේ සටහන තියල ආයෙත් මාස ගණනක් යනකම් බ්ලොග් එකක් තියනවා ද නැද්ද කියල මතක් නොවෙන්නත් පුළුවන්කමක් තියනවා. කල යුතු දෑ අපමණයි. කාලය සීමිතයි. තෝරගත්තු මර්ගයේ පරහක් ද කියලත් මට වෙලාවකට හිතෙනවා. 

No comments:

Post a Comment