Monday, August 6, 2018
ඇත්තටම ජයග්‍රහණය කිරිම
ඊයේ පෙරේදා පද්මාවත් චිත්‍රපටිය බලන්න වෙලාවක් ලැබුණා. මම සාමාන්‍යයෙන් තව කෙනෙක් එක්ක චිත්‍රපටි බලන්න කැමති නැහැ. මොකද අතරමගදී බාධා වෙන නිසා. මගේ එයාඑක්ක නම් කොහොමට වත් චිත්‍රපටි බලන්න බැහැ මොකද අතර මගදී ප්‍රශ්න අහන නිසාත්, හින්දි හෝ දමිළ කතාවක සින්දුවක් නැටුමක් තියනවා නම් අවසරයක් නැතුවම ස්කිප් කරලා දමන නිසාත්. කොහොමහරි පද්මාවත් බලන්න එයාවත් එක්කහු කරගන්න සිද්ධ වුණා.
කතාව අවසානයේදී අපි දෙන්නට එකගතාවයකට එන්න බැරි වුණා. චිත්‍රපටය හදපු මිනිස්සුන්ට අපිට හිතවන්න ඕනේ වුනු විදියටම මම පද්මාවතී රැජිනගේ පැත්ත ගත්තා. එයා තමන්ගේ වරිගයේ නම්බුව ආරක්ෂා කරන්න කල හැකි උදාරතම කැප කිරීම කළා. සතුරු රජතුමාට දිනුම නොලැබෙන තැනට වැඩ කටයුතු කරලා ඉතිහාසයේ විශිෂ්ට කාන්තාවක් විදියට නම ලියවා ගත්තා.
මගේ අදහසට එයා විරුද්ධයි. එයා අහනවා පිරිමි ඔක්කොම යුද්දෙන් මැරිලා ගිහින්, ගැහැණු ඔක්කොම ගින්නට බිලිවෙලා මුළු රජධානියම නැතිවෙලා ගියාට පස්සේ ඒ ලැබුණු ගෞරවයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියල. ඒ වෙලාවේ මම පරාජය බාර නොගෙන පද්මාවතිගේ නම්බුව ආරක්ෂා කරන්න කතා කළා.
ඒත් එයාගේ තර්කයේත් ඇත්තක් නැත්තේ නැහැ. පද්මාවතී ගින්නට පැනල ඇත්තටම ලබාගත්තේ ජයග්‍රහණයක් ද?සතුරාට අවශ්‍ය දේ නොදුන්නා කියල තමාට ජයග්‍රහණයක් ලැබෙනවද? සතුරා පරාජය කල පලියට තමන්ට ජයග්‍රහණය ලැබෙනවද?
ජය හෝ පරාජය කියන්නේ මායාවක් ද? මේ ලොකුවට කතා කළා වුනත් තරමක් බාල නිෂ්පාදනයක් වුනු චිත්‍රපටියකට මනුස්සයෙක් මෙච්චර හිතවන්න පුළුවන් වුනු එකත් ඒ නිෂ්පාදකයින්ගේ ජයග්‍රහණයක් වෙන්න ඕනේ.
මේ චිත්‍රපටි උදාහරණ විතරක් නෙවෙයි, අපේ ඇත්ත ජිවිතේ ජය පරාජයත් මායාවක් නෙවෙයි ද. අපි ප්‍රභාකරන් ව පරාජය කළා. එත් සිංහල ජාතියක් විදියට, රටක් විදියට අපි ජයග්‍රහණයක් ලැබුවා ද? 2015 ජනවාරි වල අපි මහින්ද පරාජය කළා. අපි දිනුව ද? ඉස්සරහට එන මැතිවරණයකදී තියන ආණ්ඩුව සමහර විට (මේ යන විදියට බොහෝවිට) අපි පරාජය කරයි. එහෙම කියල ඒ පරාජය කිරීම නිසා අපි දිනාවිද?
සිදුහත් බෝසතාණන් මාර පරාජය කල පලියට බුදු බව ලබා ගත්තා ද? වීර්යයෙන් උත්සහ කල නිසා බුද්ධත්වය අවබෝද කර ගත්තා ද?
මම හිතන විදියට නම් ජයග්‍රහණය බොහෝවිට පරාජය කිරීමෙන් ස්වායක්තයි. අපිට
ජයක් ලබන්න තවත් කෙනෙක් පරාජය කරන්නම ඕනේ නැහැ. නමුත් තමන්ගේ සටන ගැන හොදින් දැනගන්න ඕනේ. ඒ වගේම තමන් සටන් කරන සතුරාවත් හොඳින් දැනගන්න ඕනේ. මේ ඔක්කොටම වැඩියෙන් තමන් තමන්ව හොඳින් දැනගන්න ඕනේ. සමහර විට අපි සටන් කරන්න බොහොම වෙහෙස වෙලා අවසානයේ ඒ ගැන කල්පනා කලහම ඒ සටන සම්පුර්ණයෙන්ම අනවශ්‍ය සටනක්. ඉතින්, ලබාගත්ත කියල හිතාගත්තු ජයග්‍රහණයත් අනවශ්‍යම ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය නැති වුනා කියලත් තමන්ගේ ජිවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
මේකට එක උදාහරනයක් කියලම මේ හෑල්ල ඉවර කරන්නම්.
iphone එකක් පාවිච්චි කරන්න අපි හුග දෙනෙක් ආස කරනවනේ. සමහරු මේකට සටන් කරනවා. මගේ එක මිත්‍රයෙක් iphone එකක් ලබා ගන්න අවුරුදු ගානක් සටන් කළා. කෑමට බිමට තිබුණු මුදල් පවා කැප කරලා අන්තිමේ දී එයා ඒ සටන දිනුවා. දිනලා ඊළඟ දවසේ එනකොට මන් එයාගෙන් ප්‍රශ්න කළා. දැන් පෙරුම් පුරලා පුරලා තමන්ට ඕනේ දේ දිනා ගත්තා නේද කියල. එයා කිව්වේ සටන් කරන කම් තිබුණු ආසාවත් සටන දිනුවට පස්සේ නැති වෙලා ගියා කියල.
අපි කරන හුගක් දේවල් මේ වගේ නෙවෙයි ද?
Labels:
අනේ මන්දා,
අඳෝනා,
හිතට හිතෙන දේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment