Thursday, December 25, 2014

අපි නොකළ වරදකට අපට දඩුවම් නොකර, තාත්තා විතරක්ම අනේ ආපහු දෙන්න!


අවුරුදු දහයක් ගත වෙලා උනත් අපිට තවමත් සුනාමි අමතක නැහැ. හොඳ නොවුණු පරණ තුවාලයක් වගේ සැරින්  සැරේ පෑරිලා රිදෙන්න ගන්නවා. අද, 2014 දෙසැම්බර් 26, ඒ වගේ තුවාල පෑරෙන දවසක්. අවුරුදු දහයකට පස්සේ උනත්, මුහුද ගොඩගලනවා ය, මිනිස්සු මුහුදු රළට යට වෙලා ය කියල රුපවාහිනියේ පෙන්නපු රූප, ඊයේ දැකපු දේ වගේ.

කොහොම වුනත් මේ පොස්ටුව ලියන්න ගත්තේ ආපු සුනාමි රළ ගැන කියන්න නෙවෙයි.

අනෙක් ඕනෑම පොදු ව්‍යසනයකදී වගේම සුනාමියෙන් පස්සෙත් ඒ ආශ්‍රිතව පොත්පත් ලියවෙන්න ගත්ත. කවි ලියවුනා. සින්දු ලියවුනා. සාහිත්‍යවේදීන් කියන්නේ මිනිස්සුන්ගේ හදවතට සියුම්ව දැනෙන සිදුවීමකදී ඒ වටා සාහිත්‍යාංග ගොඩනැගෙන එක සාමාන්‍ය සිදුවීමක් කියල.

සොනාලි දැරණියගලගේ 'wave' නිබන්ධනය මේ අතරින් වැඩිපුරම අවධානය දිනාගත්තා කිව්වොත් වැරදි නැහැ. ඇගේ කෘතිය කොතරම් ජනප්‍රිය උනාද, අවුරුද්දක් ගත වෙන්නත් කලින් සිංහල පරිවර්තනයකුත් නිකුත් වෙලා තිබ්බා. සොනාලි ඉංග්‍රීසියෙන් ලියලා පොත පිටරටකදී පල නොකලා නම් wave ඔය තරමට ලංකාවේ ජනප්‍රිය නොවෙන්න තිබ්බා. කවුරුත් ඒ ගැන වැඩිපුර දැන නොගන්න තිබ්බා.

ඒ අපේ ලංකාවේ හැටි.

මොකද එරික් ඉලයප්පාරච්චිගේ පාද යාත්‍රා ගැනවත්, ශාරිකා කරුණාතිලකගේ සෝන්දර බංගලාව ගැනවත් වැඩි කතා බහක් ඇති වුනේ නැහැ.

ඒ පොත්!

ප්‍රසිද්ධ මාධ්‍යයට නාවට සුනාමි ගැන කවි කතා තවත් ලියවෙන්න ඇති. බ්ලොග් සමුහයේම බැලුවොත් මේ උදාහරණ හොයාගන්න පුළුවන්.

සුනාමියෙන් පස්සේ අවුරුද්දේ ජ්‍යාත්‍යන්තර පොත් සල්පිලේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයාගේ ළමා ගීත ප්‍රසංගයක් තිබ්බා, අලුත් සීඩී පටයක් එලි දැක්වීමක් එක්කම. ඒ ප්‍රසංගයේදී හර්ෂණ දිසානායක ගයපු එක් ගීතයක් තිබුනා, සුනාමි දවසේ රුපාවහිනියෙන් දැකපු රූප වලට වඩා හදවතට දැනුනු, ඇස්  දෙකට කඳුළු ගෙනාපු.

නමුත් ඒ ප්‍රසංගයෙන් පස්සේ මට කවමදාකවත් ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක අහන්න ලැබුනේ නැහැ.

ඒත් අපේ ලංකාවේ හැටි.

ගීතය ගැන තව බොහෝ දේ කියන්න පුළුවන්. නමුත් ඒ කියන්න තියන දේ ඔක්කොම එක වරක් ගීතය ඇසුවොතින් ඔබේ හදවතටම දැනේවි.

video