Thursday, October 11, 2018

-------- රෙජී --------



ඊයේ ලෝක මානසික සෞඛය දිනය. මුහුණු පොතේ විවිධ ලියුම් කියවනකොට, විශේෂයෙන්ම මානසික රෝගීන්ට වෙනස්කම් කිරීම ගැන,මගේ මතකයට ආපු කෙනෙක් ඉන්නවා.

ඒ  රෙජී!

රෙජී ජිවත් වෙන්නේ අපේ ගෙවල් කිට්ටුව. වයස අවුරුදු 70කට වැඩි ඇති. ගොඩක් උස, උසේ හැටියට මහත තියන මනුස්සයෙක්. මුණ පුරා රැවුල වවල.  එක්කෝ සරමක් එක්ක ෂර්ට් එකක්. නැත්තන් කොට කලිසමක් එක්ක. කොයි ඇඳුම ඇඳන් හිටියත් ඒවා අපිරිසිදුයි. පිරිසිදු කරලා ගත්තනම් වයසට ගිය නළුවෙක් වගේ පෙනුමයි.

රෙජී ට රැයක් දවාලක් නැහැ. හිතුනු හිතුනු වෙලාවට රිටකුත් අරන් පාරේ එහාට මෙහාට ඇවිදිනවා. රෙජීට හොඳ කාල වගේම නරක කාලත් තියනවා. හොඳ කාලෙට කොන්ඩේ ගානට කපල මුණ එහෙම සෝදලා තමයි යන්නේ. නරක කාලවලට කොන්ඩේ එහෙම්මම අපිළිවෙලට වැවිල, කටෙන් කෙල බේරෙනවා. උදේ පාන්දරම එලියට බහින කොට දකින්න ආස හිතෙන දර්ශනයක් නෙවෙයි.

ඒ කාලෙට ඉස්පිරිතාලෙන් ඇවිත් රෙජිට බෙහෙත් විදින බවත්, එතකොට තත්ත්වය යහපත් අතට හැරෙන බවත් මම අහල තියනවා.වෙනස දැකල තියනවා වුනාට බෙහෙත් විදිනවා මම නම් දැකල නෑ.


රෙජීට හොඳ වචන නරක වචන එච්චර ගානක් නෑ. එයාගේ අකමැත්තක් තියනවනම් පාර දිගේ ලවුඩ් ස්පිකර් දමාගෙන වගේ අදාල කෙනාට ලුණු ඇඹුල් ඇතිව බනිනවා. අපේ සීයාටත් නම ගම සහිතව බනිනවා අපිට ඇහිලා තියනවා. ගමේ මිනිස්සු කියල තියනවා.

මේ ඔක්කොම නිසා පොඩි කාලේ දී රෙජිට මම බය වුනා. පාරේ එනවා නම් අනිත් පැත්තට වෙලා මග අරිනවා. එත් ලගින් යද්දී බයයි.

දැන් අවුරුදු ගානක් තිස්සේ රෙජිත් පාරේ යනවා. බනිනවා. කෑගහනවා. මනුසයෙකුට හෝ සතෙකුට හිංසාවක් කරන බවක් පේන්න නැහැ. ඉතින් මගේ බය ටික ටික අඩුවුණා. මන් හිතන්නේ වයසින් වැඩෙද්දී  මනෝ රෝග ගැන ලබපු දැනුමත්  රෙජිව දකින විදිය වෙනස් වෙන්න බලපෑවා.

උදේට උදේට රෙජි සල්ලි කියක් හරි ඉල්ලනවා. ඉස්සර මම දැක්කේ නෑ වගේ යනවා. රෙජී සීයට බනිනවා.


එක දවසක් මම මගේ හැසිරීමේ වෙනසක් කළා. රෙජි ලඟට ඇවිත් සල්ලි ඉල්ලුවම නොදැක්ක ගානට ඉන්නේ නැතුව, 'අන්කල් ගූඩ් මොර්නින්ග්' කියල ඔහුට සුබ පැතුවා. අනේ රේජි ලස්සනට හිනා වුනා. මගේ පපුවේ බර දෙතුන් ගුණයකින් වැඩි වුණා. 'ආ ගුඩ් මොර්නින්ග් නෝන'. මෙන්න පිස්සු රෙජි සාමාන්‍ය මනුස්සයෙක් වගේ මට පෙරලා සුබ  පතනවා. 'මේ තේකක් බොන්න කීයක් හරි දෙන්න නෝනා.'

රෙජී තේ බොන්නේ නෑ. එකතු වෙන සල්ලි වලින් මැජික් අරිෂ්ට බොනවා. මම එක දන්නව. එත් මම පර්ස් එකට අත දාල නෝට්ටුවක් දුන්න. 20ක් ද 50ක් ද මතක නෑ.

එදා ඉදන් හැමදාම උදේට රෙජි එනවා මම බස්  රථයට නගින්න ඉන්න වෙලාවට. වචනයක් දෙකක් කතා කරනවා. හිටි ගමන් විහිලුත් කරනවා. හහ්...හහ් ...හා ගාල මහා හය්යෙන් හිනා වෙනවා. රුපියල් 20ක් ඉල්ලන් යනවා.

ඊට පස්සේ කවදාවත් රෙජි සීයාට බනිනවා මට ඇහිලා නැහැ. කවුරුත් අපිට ඇහුනු බවක් කිව්වෙත් නැහැ!

------------------------------------------------------------------------------------------------------------------

***සමහර විට මානසික ආබාධ තියනවා අයට අපි සලකන විදියට වෙන්න ඇති ඒ අය අපිට සලකන්නේ. අපි ඒ අය දිහා බලන විදියට වෙන්න ඇති අපි දිහාත් බලන්නේ***