Friday, December 25, 2020

She'll love you when she hears your story!

 "ඔබේ කතාව ඇසූ විට ඇය ඔබට පෙම් බඳීවි"

මා සිනාසුනා මතකයි. 

එදා සිට මේ වන තුරුම 

මා යම් තැනක නතරව 

තවමත් සිතනවා ඒ ගැන 


"කුමක්ද මගේ කතාව?"

ඔබ දන්නා මගේ කතාව. 

සමහර අය මා හැර ගිය බවද 

නියමිත කාලයට පෙර ?

සමහර දේ නොලැබී ගිය බවද 

වුවමනාවන් දැඩිම විට?

අනේක විධ සිත් රිදුම්  ද

පාවා දීම්  ද පෑරවීම් ද?

කුමක්ද ඔබ දන්නා කතාව

ඔබ ඇයට කියන්නට සැරසෙන?


නැතිනම්, ජිවිතේ තනිකමද 

සිනාවේ කඩතුරාවෙන් වසාගෙන ඉන්නා 

ජිවිතේ බලාපොරොත්තු 

කිසිවෙකුත් තේරුම් නොගන්නා 

ජිවිතයේ ආලෝකය ද 

සොයාගෙන ගොස් හති වැටෙන 

කිසිදා මා සොයා නොඑන?


කුමක්ද ඔබ දන්නා කතාව?

අත් හැරිය යුතුදේ උරේ මත දරාගෙන 

එ බර නොදැනෙන මා යන ගමනද  

ඔබ දුර ඈත සිට බලා සිටිනා? 

 


Sunday, May 10, 2020

එතෙක් ඉවසමු, ඉවසා බැරිම තැන...

හැකිනම් සොඳුර 
ඔබ කර මත ඇති 
සියලු අමිහිරි බර 
මා කරපිටට ගන්නෙමි

ඔබ ගයන දුක් ගී 
මාගෙ කර්කශ හඬින් 
කෑ ගසා ගයන්නෙමි

ඔබේ සියොළඟ වේදනාවන් 
මාගේ කර පිරිමැද 
දුරු කර හරින්නෙමි 

අහසේ තරුද
මුහුදේ වැලිද ගෙන 
ලොව උඩු යටිකුරු කර 
සියලු දේ පෙර ලෙස 
අඹන්නෙමි 

එත් බැරිනම් අඩුම ගානේ 
කියාගන්නම බැරිම දුකකට 
කඳුලක්ව ගලන්නෙමි

එහෙත් සොඳුර.... 
මා දෑස ද වියලිය. 
දෑත ද විලංගු ය.
කරමත ලොකු බරකි ය. 

නමුත් මා දිනක 
'විලංගු ලිහන නැණ' 
සොයාගන්නෙමි 
ඔබටද කියා දෙන්නෙමි.

එතෙක් ඉවසමු සොඳුර 
ඉවසා බැරිම තැන... 







Thursday, May 7, 2020

ඔබෙ සුසුම් පමණක්ම ද සුසුම්?

සුසුමකට සිනාසෙන්නී
දන්නවාද ඔබ
පුපුරු ගහන මතකයක බර
හඬා වෙහෙසුණු ඇස්
කකියවන රිදුම් ගැන

ඔබෙ සුසුම් පමණක්ම
සුසුම් යැයි බස්  දොඩන්නී
දන්නවාද ඔබ
සිරුම් තුවාලත්
සමහරක් විටකදී
සුව නොවී ඔඩු දුවන බව
රිදුම් ඉවසුම් නැති බව


නොපෙනෙන වේදනාවට
අවමන් කරන්නී
දන්නවාද ඔබ
ජීවිතය එපා වන
ඒ උන්ම එක්‌ දිනක
පරාජය පසෙකලා
වේදනා දුක් මතම
ජය කණුව ගොඩ නඟන බව

Saturday, September 7, 2019

වෙහෙස

අපේ ගමන වෙහෙසකරයි
නිවනට මග බෝ දුරයි
වෙහෙස නිමන නිවන් මගද
වෙහෙසකර ද මට සැකයි!

Monday, August 12, 2019

මුතු ඇටයේ අපි

ගිලෙන නැවක ඉඳ  ඉදිරිය බල බල කඳුළු සලන                                                   අපි
මේ නැව අතහැර ඈතට ඈතට යන්න හිතන                                                      අපි
නැවෙන් පිටට ගොස් නැව දෙස බලමින් සුසුම් හෙලන                                      අපි
නැව් බඳ ඇතිවුන සිදුර වසන මඟ කිසිවිට නොසොයන නොදකින මේ         අපි!


Saturday, April 20, 2019

අවසන් නොවුනු කතාවක්

බීර විදුරුවක පෙන බුබුළු අතරින්
පා කරලන්නට සිතුවෙමි
හදවත පතුලේ කැලතෙන
රිදුම සිරවුම වේදනාව
ගැලුම් ගණනක් බීර
නිරපරාදේ දුක් විඳපු සැටි
ලඟා කර දෙනු නොහැකිව
මා සිතේ අරමුණ

උල් පිහි තුඩක් ගෙන
මස් ගොබයකට තද කලෙමි 
වේදනාවක් නොදැනේ
හදවත් කකියවන
පැරණි වේදනාවන්
රිදවයි උල් පිහි තුඩට වැඩියෙන්


පහනක් දැල්වූවා
යදිමින් දෙවියන්ට
නැති වගයි උන්ගේ පඬුපුල් ආසන
මගේ දුකට උණු වෙන්නේ
...

ඉතින් 
අල්ලා බැලුවෙමි  
මා  සුරත පහන් දැල්ලට...
නැත පුදුමයක් දෙවියනේ
මටත් නැත දැනෙන්නේ
පිලිස්සුමක වේදනාවක්
ඉතින් කෙලෙසක උණු වෙයි ද 
මගේ දුකට ඔබේ අසුන 

Saturday, February 2, 2019

රන් ඔටුනු සහ කටු ඔටුනු


හිස දරද්දී රන් ඔටුනු 

සිහිවෙයි 
පෙර කල දැරූ 
කටු ඔටුනු ...


එහි උල් කටු ඇනී 
දැනුනු වේදනාවක් 
සිහි වී රිදෙයි 
මා සිත...
.
.
.






හිසට රන් බර වැඩි වූ කල 
ඇනුණු රිදවුණු කටු ද 
මිහිරියාවක සෙයකි 
මවන්නේ...

කළ පවු වල මහත! 
රත්තරන් පසෙක ලා
තියුණු උල් කටු අනින 
වේදනාවට ලොබ බඳිනවා 
මේ සිත 
.




(Image courtesy : HEAVY CROWNS BY ANNA CORNIFFE: shopannacorniffe.bigcartel.com/)