Thursday, January 22, 2015

මඟුල් පරක්කුව

පහුගිය දවසක රැකියාවේ වැඩකට මිරැන්ඩා හේමලතා මහත්මිය මුණගැහෙන්න යන්න අපට සිද්ධ වුනා. අපි ඇගේ  නිවසට ගිය අවස්ථාවේ ඇය  අපේ පැරණි ජන ක්‍රීඩා උපකරණ කිහිපයක් අධ්‍යයනය කරමිනුයි හිටියේ.ඇය අධ්‍යයනය කරමින් හිටිය උපකරණ සියල්ල මුල් උපකරණ අදේශයෙන් ඇය  විසින් තනා ගත් ඒවා. ඒ අතර තිබුණු මඟුල් පරක්කුව ගැන ඇය අපට රසවත් කතාවක් කිව්වා.

"මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න බාවිතා කරපු ක්‍රීඩාවක්. ඉවසීම නැති කෙනෙකුට මේක අවසානය වෙනතුරු ක්‍රීඩා කරන්න බැහැ. මඟුල් පරක්කුව කියල මේකට නම වැටෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඉස්සර මඟුල් බලාපොරොත්තුවක් තියාගෙන පිරිමි දරුවෙක් තමන්ගේ ගෙදරට ආවම ගැහැණු  දරුවාගේ තාත්තා, දුවව පෙන්නනන්න කලින් පිරිමි දරුවට දෙන්නේ මේ මඟුල් පරක්කුව. මේ ප්‍රේහෙලිකාව පිරිමි දරුවා විසඳන විදියෙන් ඔහු තේරුම් ගන්නවා මේ පිරිමි දරුවා තමන්ගේ දුව දෙන්න තරම් සුදුසු ඉවසිලිවන්තයෙක්ද කියල."

ඇය කියන්නේ අපි දැනට බටහිරින් එන බුද්ධි වර්ධන උපකරණ වලට වැඩ බොහොම දියුණු උපකරණ අපේ ගැමියන් අතර භාවිත වුනත්, අපේ අවාසනාවකට මේ දේවල් අභාවිතය ගිහින නිසා, බටහින් එන උපකරණ අපිට මැජික් වගේ පේනවා කියලයි.

මේ පින්තුරේ තියෙන්නේ හේමලතා මහත්මිය හදාගෙන තියන මඟුල් පරක්කුව. මේ විසඳලා ඉවර වුනු මඟුල් පරක්කුවක්.



පහල තියන පින්තුරේ ලංකාදීප පත්තරේ පළවුණු එකක්. මගුල් පරක්කුව විසඳගන්න එක ආකාරයක  පියවර එකේ පෙන්නලා තියනවා.
(http://www.lankadeepa.lk/index.php/articles/107523)


රුපයේ පෙන්නලා තියන ආකාරයට කෙලවරේ තියන හතරැස් ලොකු කොටස ඉදිරියේ තියන විවෘත කොටසින් එලියට ගැනීමයි කල යුතු වන්නේ. මේක විසඳන එක සංකීර්ණ බව මේ රූපයෙන්ම පේනවා.

මේ ගැන උනන්දුවක් ඇති වුනු නිසා අන්තර්ජාලය හරහා තව තොරතුරු ටිකක් හොයල බැලුවා. බොහොමයක් ලිපිවල තිබ්බේ මඟුල් පරක්කුව විවාහ මංගල උත්සව වලදී චාරිත්‍ර සිදු වෙනකම් ඥාතින්  කාලය ගත කරන්න භාවිතා කල දෙයක් කියලයි. ඒ පිලිබඳ වීඩියෝවක් පල්ලෙහා තියෙන්නේ.

https://www.facebook.com/video/video.php?v=822338384491965

තව තොරතුරු දන්නවනම් පහලින් ලියලම යමු...

Thursday, December 25, 2014

අපි නොකළ වරදකට අපට දඩුවම් නොකර, තාත්තා විතරක්ම අනේ ආපහු දෙන්න!


අවුරුදු දහයක් ගත වෙලා උනත් අපිට තවමත් සුනාමි අමතක නැහැ. හොඳ නොවුණු පරණ තුවාලයක් වගේ සැරින්  සැරේ පෑරිලා රිදෙන්න ගන්නවා. අද, 2014 දෙසැම්බර් 26, ඒ වගේ තුවාල පෑරෙන දවසක්. අවුරුදු දහයකට පස්සේ උනත්, මුහුද ගොඩගලනවා ය, මිනිස්සු මුහුදු රළට යට වෙලා ය කියල රුපවාහිනියේ පෙන්නපු රූප, ඊයේ දැකපු දේ වගේ.

කොහොම වුනත් මේ පොස්ටුව ලියන්න ගත්තේ ආපු සුනාමි රළ ගැන කියන්න නෙවෙයි.

අනෙක් ඕනෑම පොදු ව්‍යසනයකදී වගේම සුනාමියෙන් පස්සෙත් ඒ ආශ්‍රිතව පොත්පත් ලියවෙන්න ගත්ත. කවි ලියවුනා. සින්දු ලියවුනා. සාහිත්‍යවේදීන් කියන්නේ මිනිස්සුන්ගේ හදවතට සියුම්ව දැනෙන සිදුවීමකදී ඒ වටා සාහිත්‍යාංග ගොඩනැගෙන එක සාමාන්‍ය සිදුවීමක් කියල.

සොනාලි දැරණියගලගේ 'wave' නිබන්ධනය මේ අතරින් වැඩිපුරම අවධානය දිනාගත්තා කිව්වොත් වැරදි නැහැ. ඇගේ කෘතිය කොතරම් ජනප්‍රිය උනාද, අවුරුද්දක් ගත වෙන්නත් කලින් සිංහල පරිවර්තනයකුත් නිකුත් වෙලා තිබ්බා. සොනාලි ඉංග්‍රීසියෙන් ලියලා පොත පිටරටකදී පල නොකලා නම් wave ඔය තරමට ලංකාවේ ජනප්‍රිය නොවෙන්න තිබ්බා. කවුරුත් ඒ ගැන වැඩිපුර දැන නොගන්න තිබ්බා.

ඒ අපේ ලංකාවේ හැටි.

මොකද එරික් ඉලයප්පාරච්චිගේ පාද යාත්‍රා ගැනවත්, ශාරිකා කරුණාතිලකගේ සෝන්දර බංගලාව ගැනවත් වැඩි කතා බහක් ඇති වුනේ නැහැ.

ඒ පොත්!

ප්‍රසිද්ධ මාධ්‍යයට නාවට සුනාමි ගැන කවි කතා තවත් ලියවෙන්න ඇති. බ්ලොග් සමුහයේම බැලුවොත් මේ උදාහරණ හොයාගන්න පුළුවන්.

සුනාමියෙන් පස්සේ අවුරුද්දේ ජ්‍යාත්‍යන්තර පොත් සල්පිලේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයාගේ ළමා ගීත ප්‍රසංගයක් තිබ්බා, අලුත් සීඩී පටයක් එලි දැක්වීමක් එක්කම. ඒ ප්‍රසංගයේදී හර්ෂණ දිසානායක ගයපු එක් ගීතයක් තිබුනා, සුනාමි දවසේ රුපාවහිනියෙන් දැකපු රූප වලට වඩා හදවතට දැනුනු, ඇස්  දෙකට කඳුළු ගෙනාපු.

නමුත් ඒ ප්‍රසංගයෙන් පස්සේ මට කවමදාකවත් ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක අහන්න ලැබුනේ නැහැ.

ඒත් අපේ ලංකාවේ හැටි.

ගීතය ගැන තව බොහෝ දේ කියන්න පුළුවන්. නමුත් ඒ කියන්න තියන දේ ඔක්කොම එක වරක් ගීතය ඇසුවොතින් ඔබේ හදවතටම දැනේවි.


Monday, November 24, 2014

එක මොහොතක්

 © වැල්ලවත්ත මුහුදු වෙරළේදී අනවසරයෙන් ගත් සේයාරුවකි 



ගෑස්, වතුර, ලයිට් බිල් 
කිරිපිටි තේ කොළ 
හාල් තුනපහ 
ටියුෂන් සල්ලිත් 
කැඩුණු කරාමේ 
පිච්චුණු බල්බ් 
දොස්තර ගාස්තු 

***
***
***
අමතක කර 
එක මොහොතක් 
අත් පටලවන් 
ක්ෂිතිජ ඉම දෙස 
බලා ඉමු අපි 
ජීවිතේ දුක් ගැහැට 
නැති එවුන් මෙන්... !

Monday, October 20, 2014

උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්

කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි සල්ලි ටිකකට ලොකු රණ්ඩුවක් අල්ලන්න සිද්ධ වෙන්න පුළුවන් කමක් තියන නිසාත් සමහර දවසට ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව කට පියන් එන හොඳ/නරක පුරුද්දක් මට තියෙනවා. සමහර විට මේක වෙන්නේ අමතක වීමත්, වෙනම ලෝකෙක ජීවත් වීමත් හින්ද. (රුපියල් සීය දීල ඉතුරු නොගෙන බැහැපු අවස්ථා ගැන කතා නොකර ඉමු)

මේ වගේ කාරණා  නිසා යාළුවගේ උපදෙස මට හොඳට මතක හිටියා. උපදෙසට මුල් වෙච්චි කාරණාවට මොනවා වුනත්, දැන් මට බස් එකේ යද්දී ඉතුරු ගන්න අමතක වෙන්නේ නෑ . ඉතුරු ඉල්ලගන්න තියන දවසට ඔලුවේ ඔය වචන ටික තැටිය එක තැන කැරකෙන සින්දුවක් වගේ.

අදත් ඒ වගේ දවසක්. 25ක ටිකට් එකට  (ඇත්ත ගාන 24 යි. මට ඉතුරු රුපියල ලැබිච්චි දවසක් නෑ ) මම රුපියල් 50ක් දුන්න කොන්දොස්තර අයියාට*. මාරු නෑ  කියල එයා රුපියල් 5ක් ඉල්ලුව. මේ දවස් වල මාරු සල්ලි අර්බුදයකට මුණ දීල ඉන්න නිසා මට දෙන්න 5ක් තිබ්බේ නෑ. ඉතුරු දුන්නෙත් නෑ. මුකුත් කිව්වෙත් නෑ. අයියා මාරු. එයා හිතන්න ඇති කන්නාඩි දාන නිසා එයාගේ අතේ තිබ්බ කාසි පේලිය මම දැක්කේ නෑ  කියල. හෑන්ඩ් ෆ්‍රී කනේ ගහන්  නිසා හිතන්න ඇති සාක්කුවේ කාසි හෙලවෙන සද්දේ ඇහෙන්නේ නෑ  කියල. එත් මම දැක්ක. මට හොඳට ඇහුණා. බස් එකේ ගමනාන්තයටම මමත් යන නිසා පස්සේ ඉල්ලගන්නම් කියල මම හිත හදාගත්ත.

දැන් කිලෝමීටර් 12ක් විතර දුර එනකම්ම යාළුවගේ වචන මට මතක් වෙනවා. ඔලුවට හරි වදයක්. බැරිම තැන කිලෝමීටර් 9-10 කට විතර පස්සේ මම ඉතුරු සල්ලි මතක් කළා. ලැබුනද? නෑ!

එවෙලේ නම් පැහැදිලිවම අයියා අතේ මාරු තිබ්බ. එයාට දෙන්න ඕනේ කමක් නෑ. රුපියල් පහේ කතාව අහල අයියා අපහු මාරු.

ඉන් පස්සේ එයා කීප සැරයක් මං  හිටි තැනින් එහා මෙහා ගියා. වැරදිලාවත් මගේ දිහාවේ නොබලන්න එයා පරිස්සම් උනා. මමත් දිගටම රවාගෙන ආවා. වැඩ ඇරිලා එනකොට මහන්සියි. හොරෙක් බෑග් එක අරන් දිව්වත් අරන් පලයන් කියල නිකම් ඉන්න තරමට මහන්සියි. ඉතින් රුපියල් 25කට වචන නාස්ති කරන්න බැහැ.

අනික සමහර දාට බස් එකට නගින හිඟන අයට  රුපියල් 20 ට වඩා දෙන වෙලාවල් තියනවා. ඒ නිසා ඕක නොලැබුනත් හිගන්නෙක්ට දුන්න කියලා හිත හදාගත හැකි.

හැබැයි මට කේන්තියි. ඉල්ලලත් මාරු නොදෙන්න තරම් උගේ කොන්ද හයියයි. මොකද මූට කරන්නේ, මගේ ඔලුවට තවත් අමාරුයි. අන්තිමේ මම තීරණයක් ගත්ත අපහු ඉතුරු නොඉල්ලන්න. එයා මාරු නොදී මාරු වුනේ තියන හොර හිතට. මම බලෙන් ඉතුරු ඉල්ල ගත්තොත් එයා හොරෙක් වෙන්නේ නෑ.

 "උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්" කොන්දොස්තර නැති දොර බලලා බස් එකෙන් බැහැල එන ගමන් මගේ ඔලුවේ තිබ්බේ ඔය වචන ටික.

Sunday, October 12, 2014

පැහැසරණී: සර්ප සෙනෙහස

එකම කවිය කීපසැරයක් ලියන්න වෙනවා ඉතින්. මක් කරන්නද :/



පැහැසරණී: සර්ප සෙනෙහස: විෂ දළට බියෙන් තනිකර දමා ගිය සැපින්නක් ලඟට ගෙන ලෙන්ගතුව කිරි පෙව්වෙමි. කෑදරව කිරි බිවු සැපින්නද මට පෙරළා ආදරය පෑවාය. එයින් මසිත ද ඔද ව...

Friday, September 26, 2014

වැස්සට නැති කුඩය

ඊයේ අනෝරා වැසි ඇද වැටුණි...

කුඩයක් අත නොවූ මා
මහා වැස්සෙන්
තෙත් බරිත වීමී...

කා වැදුණු සීතල
උහුලා ගත නොහී
වෙවුලුම් කන්නට විය
මුළු සිරුරම...

තෙත් බරිත වුනු
ඇදුම් බර දරන්නට නොහී
මගේ දෙපා
කිමිදෙන්නට විය
මඩ වුණූ මහ පාර මැද...

හදිසියේ දුටුවෙමි...

විසල් කුඩයක් යට
දෑස ද විසල් කරගෙන
ඔබ බලා සිටිනවා
නොතෙමී ...

අද මහ වැසි නැත.
සෞම්‍යය පරිසරය.

නමුත් ... ... ...

අඬගසයි ඔබ
සෙවණ දෙන්නට
ඔබේ විසල් කුඩයේ...

විසල් කරගෙන
මගේ දෑස
සිතමි මම ...

පෙරදා වැස්සට
සෙවණ නොලැබුණ
කුඩයේ සෙවණ
කුමක් කරන්නද
වැසි නැති දා මට ?



Friday, September 19, 2014

එම්බා ඔරලෝසුව!

...
අල්ලා නතර  කරගන්නට
හිතෙන විට
පසු නොබලා දුවන
උඹේ කටු 

වේගෙන් යන්න යැයි කී විට
ඉබි ගමන් යන්නේ 
ඔච්චම් කරන්නද 
මට
කාලය මා පරදවන වග දැන  
...