Monday, November 24, 2014

එක මොහොතක්

 © වැල්ලවත්ත මුහුදු වෙරළේදී අනවසරයෙන් ගත් සේයාරුවකි 



ගෑස්, වතුර, ලයිට් බිල් 
කිරිපිටි තේ කොළ 
හාල් තුනපහ 
ටියුෂන් සල්ලිත් 
කැඩුණු කරාමේ 
පිච්චුණු බල්බ් 
දොස්තර ගාස්තු 

***
***
***
අමතක කර 
එක මොහොතක් 
අත් පටලවන් 
ක්ෂිතිජ ඉම දෙස 
බලා ඉමු අපි 
ජීවිතේ දුක් ගැහැට 
නැති එවුන් මෙන්... !

Monday, October 20, 2014

උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්

කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි සල්ලි ටිකකට ලොකු රණ්ඩුවක් අල්ලන්න සිද්ධ වෙන්න පුළුවන් කමක් තියන නිසාත් සමහර දවසට ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව කට පියන් එන හොඳ/නරක පුරුද්දක් මට තියෙනවා. සමහර විට මේක වෙන්නේ අමතක වීමත්, වෙනම ලෝකෙක ජීවත් වීමත් හින්ද. (රුපියල් සීය දීල ඉතුරු නොගෙන බැහැපු අවස්ථා ගැන කතා නොකර ඉමු)

මේ වගේ කාරණා  නිසා යාළුවගේ උපදෙස මට හොඳට මතක හිටියා. උපදෙසට මුල් වෙච්චි කාරණාවට මොනවා වුනත්, දැන් මට බස් එකේ යද්දී ඉතුරු ගන්න අමතක වෙන්නේ නෑ . ඉතුරු ඉල්ලගන්න තියන දවසට ඔලුවේ ඔය වචන ටික තැටිය එක තැන කැරකෙන සින්දුවක් වගේ.

අදත් ඒ වගේ දවසක්. 25ක ටිකට් එකට  (ඇත්ත ගාන 24 යි. මට ඉතුරු රුපියල ලැබිච්චි දවසක් නෑ ) මම රුපියල් 50ක් දුන්න කොන්දොස්තර අයියාට*. මාරු නෑ  කියල එයා රුපියල් 5ක් ඉල්ලුව. මේ දවස් වල මාරු සල්ලි අර්බුදයකට මුණ දීල ඉන්න නිසා මට දෙන්න 5ක් තිබ්බේ නෑ. ඉතුරු දුන්නෙත් නෑ. මුකුත් කිව්වෙත් නෑ. අයියා මාරු. එයා හිතන්න ඇති කන්නාඩි දාන නිසා එයාගේ අතේ තිබ්බ කාසි පේලිය මම දැක්කේ නෑ  කියල. හෑන්ඩ් ෆ්‍රී කනේ ගහන්  නිසා හිතන්න ඇති සාක්කුවේ කාසි හෙලවෙන සද්දේ ඇහෙන්නේ නෑ  කියල. එත් මම දැක්ක. මට හොඳට ඇහුණා. බස් එකේ ගමනාන්තයටම මමත් යන නිසා පස්සේ ඉල්ලගන්නම් කියල මම හිත හදාගත්ත.

දැන් කිලෝමීටර් 12ක් විතර දුර එනකම්ම යාළුවගේ වචන මට මතක් වෙනවා. ඔලුවට හරි වදයක්. බැරිම තැන කිලෝමීටර් 9-10 කට විතර පස්සේ මම ඉතුරු සල්ලි මතක් කළා. ලැබුනද? නෑ!

එවෙලේ නම් පැහැදිලිවම අයියා අතේ මාරු තිබ්බ. එයාට දෙන්න ඕනේ කමක් නෑ. රුපියල් පහේ කතාව අහල අයියා අපහු මාරු.

ඉන් පස්සේ එයා කීප සැරයක් මං  හිටි තැනින් එහා මෙහා ගියා. වැරදිලාවත් මගේ දිහාවේ නොබලන්න එයා පරිස්සම් උනා. මමත් දිගටම රවාගෙන ආවා. වැඩ ඇරිලා එනකොට මහන්සියි. හොරෙක් බෑග් එක අරන් දිව්වත් අරන් පලයන් කියල නිකම් ඉන්න තරමට මහන්සියි. ඉතින් රුපියල් 25කට වචන නාස්ති කරන්න බැහැ.

අනික සමහර දාට බස් එකට නගින හිඟන අයට  රුපියල් 20 ට වඩා දෙන වෙලාවල් තියනවා. ඒ නිසා ඕක නොලැබුනත් හිගන්නෙක්ට දුන්න කියලා හිත හදාගත හැකි.

හැබැයි මට කේන්තියි. ඉල්ලලත් මාරු නොදෙන්න තරම් උගේ කොන්ද හයියයි. මොකද මූට කරන්නේ, මගේ ඔලුවට තවත් අමාරුයි. අන්තිමේ මම තීරණයක් ගත්ත අපහු ඉතුරු නොඉල්ලන්න. එයා මාරු නොදී මාරු වුනේ තියන හොර හිතට. මම බලෙන් ඉතුරු ඉල්ල ගත්තොත් එයා හොරෙක් වෙන්නේ නෑ.

 "උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්" කොන්දොස්තර නැති දොර බලලා බස් එකෙන් බැහැල එන ගමන් මගේ ඔලුවේ තිබ්බේ ඔය වචන ටික.

Sunday, October 12, 2014

පැහැසරණී: සර්ප සෙනෙහස

එකම කවිය කීපසැරයක් ලියන්න වෙනවා ඉතින්. මක් කරන්නද :/



පැහැසරණී: සර්ප සෙනෙහස: විෂ දළට බියෙන් තනිකර දමා ගිය සැපින්නක් ලඟට ගෙන ලෙන්ගතුව කිරි පෙව්වෙමි. කෑදරව කිරි බිවු සැපින්නද මට පෙරළා ආදරය පෑවාය. එයින් මසිත ද ඔද ව...

Friday, September 26, 2014

වැස්සට නැති කුඩය

ඊයේ අනෝරා වැසි ඇද වැටුණි...

කුඩයක් අත නොවූ මා
මහා වැස්සෙන්
තෙත් බරිත වීමී...

කා වැදුණු සීතල
උහුලා ගත නොහී
වෙවුලුම් කන්නට විය
මුළු සිරුරම...

තෙත් බරිත වුනු
ඇදුම් බර දරන්නට නොහී
මගේ දෙපා
කිමිදෙන්නට විය
මඩ වුණූ මහ පාර මැද...

හදිසියේ දුටුවෙමි...

විසල් කුඩයක් යට
දෑස ද විසල් කරගෙන
ඔබ බලා සිටිනවා
නොතෙමී ...

අද මහ වැසි නැත.
සෞම්‍යය පරිසරය.

නමුත් ... ... ...

අඬගසයි ඔබ
සෙවණ දෙන්නට
ඔබේ විසල් කුඩයේ...

විසල් කරගෙන
මගේ දෑස
සිතමි මම ...

පෙරදා වැස්සට
සෙවණ නොලැබුණ
කුඩයේ සෙවණ
කුමක් කරන්නද
වැසි නැති දා මට ?



Friday, September 19, 2014

එම්බා ඔරලෝසුව!

...
අල්ලා නතර  කරගන්නට
හිතෙන විට
පසු නොබලා දුවන
උඹේ කටු 

වේගෙන් යන්න යැයි කී විට
ඉබි ගමන් යන්නේ 
ඔච්චම් කරන්නද 
මට
කාලය මා පරදවන වග දැන  
...

Tuesday, August 26, 2014

නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම්


 ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න  පුළුවන් පුදුමාකාර  හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්.  කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ වගකිව යුතු නිලධාරි මහත්වරු සහ නෝනලාට උනත් දෙලෝ සිහි වෙන්නේ ගබ්සාවක් කරගන්න ගිහින් අහිංසක ගෑනු කෙනෙක්ට විපත්තියක් උනාට පස්සෙයි. ඒ උනන්දුවත් ඉතින් දවස් දෙක තුනයි. ඊට පස්සේ ඒ නෝනා මහත්වරුන්ටයි, මාධ්‍ය කරන ඇත්තන්ටයි විතරක් නෙවෙයි ගබ්සාව නීති ගත  කරන එකට විරුද්දව කතා කරන ආගමික නායකයත් මේ සිද්ධි අමතක වෙලා  යනවා. ඒ අයගේ  නෙවේ, රටේ භුමියේ ප්‍රශ්නයක්. ඉතින් දොස් කියන්න එපා.

මොන මොන තර්ක ගෙනාවත් ගබ්සාව හරි දෙයක් කියලා සාධාරණීකරණය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ. එත් මේ ප්‍රශ්නයට විසඳුමක් අත්‍යවශ්‍යයි. ඇත්තටම ගබ්සාව නීති විරෝධී  රටේ සම්මත නීතියක් පවත්වාගෙන යන එක විතරද මේ ප්‍රශ්නයට විසඳුම? පුවත් වාර්තා වලට අනුව අපේ රටේ දවසකට නිතීවිරෝධි ගබ්සා කිරීම් 800කට වැඩි ප්‍රමාණයක් වෙනවා. වැඩිපුරම වෙළඳ කලාප කිට්ටුව.  නීති සම්මත වෙලා තිබුනට මේ සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් අපිට පේන්න නෑ. ඉතින් මේකට හැබෑවට පිළිතුර නීතියෙන් පැනල යන්න පුළුවන් වෙච්ච රටක අණ පනත් සම්මත කරගන්න එක ද?

නූපන් දරුවෙක් නැති කරලා දාන්න ක්‍රියා කරන්න තීරණයක් ගන්නේ මූලිකවම ඒ දරුවාව හදාවඩා ගන්න තියෙන නොහැකියාව නිසානේ.  දරුවාව නැති කරන්න හේතුව, ඒ දරුවා හදාගන්න ආර්ථිකව ශක්තියක් නැතිකම, අම්මාගේ සෞඛ්‍ය ගැටළු වගේ කාරණා වගේම අපවාද වලට තියෙන බය වගේ සාමාජීය කාරණයක් වෙන්නත් පුළුවන්. මේ කොයි කාරණාවෙන් උනත් පැහැදිලි වෙන්නේ මේ කුස පිළිසිඳ ගත් දරුවා ජීවිතයේ සැලැස්මට පිටින් සිද්ධ වුනු කාරණයක් බව.

ඉතින් මේවගේ සැලැස්මට පිටින් වෙන දේවල් නීති දාලා නතර කරන්න පුලුවන්ද?  සැලැස්මට පිටින් ගියොත්;

1. එක්කෝ පිට ගිය දේ අයින් කරලා ආපහු මුල් සැලැස්මට එන්න ඕනේ.
2. එක්කෝ සැලැස්ම මුළුමනින්ම වෙනස් කරලා අලුත් සැලැස්මකට එන්න ඕනේ.
3.එහෙමත් නැතිනම් සැලැස්මෙන් පිට නොයා වැඩේ කරගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ.

මගේ හැඳි මිටේ දිග නුවණට තේරෙන විදියට නීති විරෝධී ගබ්සා ප්‍රශ්නෙටත් සෑහෙන විසඳුමක් ලැබෙන්නේ 3 වෙනි කාරණෙන්. 

අපේ රටේ ලිංගික අධ්‍යාපනය තවමත් තියෙන්නේ බොහොම පහල මට්ටමක. උසස් පෙළ ජීව විද්‍යාව උගන්නන්න ගුරුවරුන් උනත් තවමත් ප්‍රජනන පද්ධතිය ගැන උගන්නන්නේ දෙගිඩියාවෙන්, අධිවේගෙන්. මාධ්‍ය හරහා වෙන දැනුවත් කිරීම උනත් ප්‍රමාණවත් නැහැනේ. ඒ පණිවිඩේ අවශ්‍ය කණ්ඩායමට යනවද කියලත් කියන්න බෑ. පහල පංතියකදී වත් සෞඛ්‍ය පාඩමට අනවශ්‍ය දරු උපත් වලක්වා ගන්න හැටි හෝ ලිංගාශ්‍රිත රෝග වලින් තමන් ආරක්ෂා කරගන්න හැටි ක්‍රමවත්ව උගන්නන්න පාඩමක් අන්තර්ගත නෑ. පාසල් අධ්‍යාපනයේ මේ මාතෘකා හරියාකාරව ඉගැන්නුවේ නැතිනම් වෙන කවද කොහේදී උගන්නන්නද කියල මගේ මොලේට තේරෙන්නෙත් නෑ. 

කොහොම උනත් මම හිතන්නේ, මිනිස්සුන්ව හරියට දැනුවත් කලොත්, කසාදයක් කරලා දෙනකම් ඉන්නේ නැතිව ගෑනු ළමයින්ට තමන්ව ආරක්ෂා කරගන්න විදිය කියල දුන්නොත්, මේ ලොකු ඉලක්කම් ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වේවි. නීති ලිහිල් කරන එකට විරුද්ධව කතා කරන්න මහන්සි ගන්න වෙලේ වෙළඳ කලාපයකට ගිහින් ඒ ගෑනු දරුවන්ව දැනුවත් කරන්න උත්සහ කලොත් ඒ දැරිවියෝවත් තමන්ගේ සැලසුමෙන් පිටට නොපැන ජීවිතේ ඉස්සරහට ගෙනියගනීවී නේද?      



Wednesday, August 20, 2014

පෙරළුණු රළ

එදා මට හිතුනේ 
මහ මුහුද තරම් 
ලස්සන තව තැනක් 
මහ පොළොවේ වෙනනම් 
නැහැයි කියලා ...

හීතල හුළඟට 

දාඩිය නිමෙනවා
රැල්ල පාගනකොට
මගේ හිතත් නිමෙනවා ...
 

මහ දවල් අවුවට පාර මැද්දෙත්
පේනවා මහ මුහුද

ඒ දවස් වල තනියම හිනා මට
දැන් නම් ඒ අව්වට
පිච්චිලා යනවා මාව.


එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා
ඊළඟ රැල්ලටම  

ඒ නම් මැකිලා යද්දී 
හිතන්න තිබ්බා අපිට
සතුට කොහොමත් 

දුකට පෙරළෙනවා කියලා.

මිරිඟුව පෙනී පෙනී 
ගිනි අවුවට පිච්චේනකොට
වෙලාවකට මට හිතනවා
වැල්ලේ නොලියා අපි නම්
කළුගලක කෙටුවනම් කියලා...