Friday, March 14, 2014

ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැඟුමක් ද ගීතය - බණ්ඩාර ඇහැලියගොඩ





 
පිංතූරය : චන්දන විජේසිංහ www.nation.lk


"මගේ ගම ඇහැළියගොඩ, එල්ලාවල, පරණගම. ඉතාම සුන්දර, පිටිසර සශ්‍රීක ගම්මානයක්. සියලු ධන ධාන්‍යයන්ගෙන් පරිපූර්ණයි. කුඹුරු, තේ, රබර්, පොල් විතරක් නෙවෙයි මැණික් පවා තිබුණා. මගේ තාත්තා ගොවියෙක්. මම මුලින්ම ගියේ ගමේ පාසල, එල්ලාවල, පරණගම විද්‍යාලයට.පුංචි පාසලක්, එක ගොඩනැගිල්ලයි තිබුනේ. සමහර දවස් වලට අපි ඉගෙන ගත්තේ ඉස්කොලේ මිදුලේ අරලිය ගහක් යට. ගෙදර ඉඳල ඉස්කෝලෙට හැතැම්මක් විතර දුර යන්නේ, දං හිඹුටු කකා කටවල් රතු කරගෙන...සමනල්ලු පස්සෙ එලව එලව. එනකොට ඇළ දොළ වල පැනලා නාන්න පුළුවන් නිදහස් පරිසරයක් තිබුනා.  එළියට බැස්සාම සම්පුර්ණ සෞන්දර්‍ය ලෝකයක් අපිට විවෘතව තිබුණා.

පුංචි කාළේ ඉඳලම මම තාත්තාට කුඹුරු වැඩ වලට උදවු වුණා. කුඹුරු කෙටිලි, හරක් එලවිලි, ගොයම් කැපිලි, පෑගිලි ඔය කොයි දේටත් සම්බන්ද වුණා. ඒ නිසා ඒ කාළයේ ඉඳලම ගැමි ජීවිතය අත් විඳිමින් එහි ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව, විශේෂයෙන්ම අද හුඟක් දරුවන්ට නැති අවස්ථාවක් අපිට තිබ්බා. අපට අපේ ආචිචිලා, සීයලා, අම්මලා, තාත්තාලා තමයි අපේ මුල්ම සාහිත්‍ය ගුරුවරුන් වුණේ. ඔවුන් තමයි අපිට කවි, කතා කියලා දුන්නේ. ඒ දේවල් වලින් අපේ සාහිත්‍යම වටාපිටාව පෝෂණය වුණා." මේ ප්‍රවීන ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ ළමා කාලයයි. ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේන් උසස් පෙළ හදාරන ඔහුට පේරාදෙණිය විශ්ව විද්‍යාල පිවිසුම් වරම් හිමිවෙයි. විශ්ව විද්‍යාල සමයේදි වේදිකාවට පෙම් බැඳි ඔහු ගීත රචනා කිරීමට පෙළඹුනේ තම විවාහයේනුත් පසු කාළයක දී  ය.

ඔහුගේ පළමු ගීත නිර්මාණයෙන්ම රසිකයින් අතරට ප්‍රභල පණිවිඩයක් යවන්නට ඔහු සමත් වූ බව නිසැක ය. පළමු නිර්මාණය වූ 'තිරය ඇරෙනවා තිරය වැසෙනවා' මුලින්ම ප්‍රචාරය වන්නේ 1983 මාර්තු මාසයේ වුවත්, ඊට පාදක වූ සිදුවීම ඔහුගේ පාසල් අවධිය දක්වා අතීතයට දිව යයි. "මා අතින් ගීයක් ලියවෙනවා මිසක මම ගීත ලියලා දෙනව හරි අඩුයි. එහෙම ලියද්දි මා අතින් ලියවෙන්නේ ප්‍රේමය ද විරහව ද දරිද්‍රතාවය ද මවු ගුණද පිය ගුණද කියන්න මම දන්නේ නැහැ. නිර්මාණය නිර්මාණයක් ලෙස එලියට එනවා මිසක, බලෙන් නිර්මාණ එලියට අද්දවා ගැනීමේ ක්‍රමයක් මට නැහැ.

මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ. මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ. සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

 
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී


ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ


"මේ ගීතය ගායනා කරන්න භාර ගන්නා විට සුනිල් එදිරිසිංහයන් මගේ මිතුරෙක් නොවේ. නමුත් මා මිත්‍ර ජයලත් මනෝරත්නයන් හරහා ඔහු වෙත යවපු ගීත කිහිපයක් අතරින් මෙම ගීතය සහ ලෝකයක් තනන්නට කියන ගීත දෙක ගුවන් විදුලියේ සරළ ගී වැඩහටහන සඳහා ඔහු තෝරා ගත්තා.   

වර්තමානයේ වගේ නෙවෙයි, මා ගීත ලිවීම ආරම්භ කළ අවධියේ ගුවන්විදුලියේ නිර්ලෝභීව ගීත රචකයාගේ නම ප්‍රකාශ කරනවා. ඒ නිසාම මගේ ගීතය ප්‍රචාරය වුනායින් පස්සේ මට බොහෝ ගායකයින්ගේන් ආරධනා ලැබුනා ගීත රචනා කරන්න. එදා සිට මේ වනතුරු ලංකාවේ ගායක ගායිකාවන් සියල්ලකටම පාහේ මා මේ වනවිට ගීත රචනා කර දී තිබේනවා." වර්තමාන ගුවන් විදුලි නාළිකා තුල පෙර මෙන් ගීත උත්පාදක වැඩසටහන් නොමැති වීම විශාල අඩුපාඩුවක් බවත් එය ගීත ක්ෂේත්‍රයේ පරිහානියට හේතු වන බවත් ඔහු සඳහන් කළේ ය.

බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ පියාගේ සහෝදරයා පාරම්පරික නැටුම් ශිල්පියෙකි. ඔහු නැටුමින් පෙලහර පාන විට එය නැරඹීමට ගම් ගණනාවක සෙනඟ රැස්විය. " පළාතේ සංදර්ශන, තොවිල්, ගම්මඩුවලට ඔහු නැතිවම බැරිවුණා.නමුත් අවසාන කාළයේදි ඔහු පිළිකාවක් හදිලා කාත් කවුරුත් නැතුව මිය ගියේ. නටන කොට ගමක් එකතු වුනා. පිළිකාව නිසා ගමම ඈත් වුනා. මේ කළාකරුවාගේ ඛේදවාචකය මට ඉතාම තදින් දැනුණා. ඒ දැනීම තමයි පසු කලේක අන්න බලන්, බෙර හඬින් උදම් වී ගීතය බවට පත් වුනේ."



අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්‌කම කැරකෙන අන්දම්

අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස්‌ තට්‌ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්‌
රනේ රුවට නළලත දිළිසේ

අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක්‌ නෑසේ

සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි






සිංහල ගීත සමස්ථය ගත් කළ බහුතරයක් ප්‍රේමය, විරහව ආදි  ගීත ගණයට ඇතුලත් කළ හැකිය. නමුත් ඇහළියගොඩ ගීත ප්‍රේමයට පමණක් සීමා වී නැත. "යොවුන් ප්‍රේමයට වඩා පරිසරය පිළිබඳව, සමාජය පිළිබඳව  සහ මම වෙසෙන වටාපිටාව පිලිබඳව මගේ තිබෙන ප්‍රේමය දැඩියි. ඒ නිසා වෙන්නට ඇති මගේ ගීත අතර ප්‍රේම ගීත අඩු බවක් හැඟෙන්නේ." නමුත් මෑත ඉතිහාසයේ ටෙලි නාට්‍ය තේමා ගීත අතරින් වඩා රමණීය ගීත ලෙස පිළිගැනෙන දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා නාට්‍යයේ ජීවිතය කවියක් සහ ස්වයංජාත ටෙලි වෘතාන්තයේ තේමා ගීත රචනා වෙන්නේ ඔහු අතිනි.

 

පාරමී දම් පුරා සපැමිණ
එකට හමු වී වෙන්ව යන සඳ....
කියා ගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින 


ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ....

පතා ආවෙත් එලෙසමයි 

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන්...
විශ්වයම සුවපත් කළ හැකියි 


නිතින් සසර දුක ජය ගන්නට පේවී
දහම් සරණ මිස සරණක් නැත දේවී 


ගී තනු - නවරත්න ගමගේ
ගායනය - සුනිල් එදිරිසිංහ සමග විශාරද නන්දා මාලිනී 



 

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හබා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් මව දිව මැවී කවිකම..

ජීවිතේ කවියක්...

සෙනෙහසින් රැදී උන් එක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..

ජීවිතේ කවියක්...

ගායනය : නන්දා මාලනී




දියණියන් වෙනුවන් ගැයෙන ගීත අතරේත් ඔහුගේ ගී පද වලට මුල් තැනක් හිමි වන්නේ එම ගීත හදවතට බොහෝ සෙයින් සමීප වන නිසා විය හැකිය.දියණියන් දෙදෙනෙකුගේ පියෙකු නිසා ඔහුගේ ගී පද රචනා බොහෝ සංවේදීව ලිය වූවා විය හැකිය.  

 
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //

දුවේ නුඹ මගෙ... 


බණ්‌ඩාර ඇහැළියගොඩගේ ගීත කනකින් අසා අනික් කනින් පිට කළ හැකි ගීත නොවේ. ඔහු කණ හරහා ආමන්ත්‍රණය කරන්නේ හදවතටය. මනසය. ඔහුගේ ගීත සමාජ ශෝධක ගුණයේන් හෙබි බව කීම අතිශයෝක්තියක් නොවේ. අවාසනාවන්ත කාරණය වන්නේ, මෙවැනි ගීත සඳහා වර්තමාන ගුවන් විදුලි නාළිකා වල වෙන් වෙන ඉඩ ප්‍රමාණවත් නොවීම ය. 

English : http://www.nation.lk/edition/fine/item/26642-touching-heartstrings-with-music.html