Wednesday, September 23, 2015

"ඔබ ඔය කියන 'ප්‍රේමය' ගැන මමත් හොඳින්ම දන්නවා"






(i)
එක් සිකුරාදාවක ඉඳන් 
තවත් සිකුරාදාවකට 
නොඉවසිල්ලෙන් 
දින ගැනපු කාලයක් 
කාලෙකට පෙර 
මටත් තිබුණා
නොඇසුවාට කවුරුත්...

වැසි බර අහස් කුස දෙස 
නියවමින් බලමින් 
වැහි දෙවියන්ට නෝක්කඩු කියන
සතියේ අග දවස් 
බොහෝමයක් තිබුණා
කාලෙකට පෙර 
නොදැක්කාට කවුරුත්...

****************
(ii)
ප්‍රේමය විෂයයෙහි 
මා කිසිත් නොදනිතැ'යි
පාරම් බාන ඔබැ'විත් 
උදුරා ගන්න කළියෙන් 
'මට' අයිති සිකුරාදාවල් 
බොහෝමයක් තිබුණා
මට... 
නොදන්නවාට කවුරුත්! 

*****************
 (iii)
වැස්සත් නොවැස්සත් 
හැම සිකුරාදා ම දැන්
වැහි දෙවියන් ඉන්නේ
හිතේ සැනසිල්ලෙන්!  


Monday, September 14, 2015

සිරකරුවෝත් මනුෂ්‍යයෝ ද?



'සිරකරුවෝත් මනුෂ්‍යයෝය' වැලිකඩ බන්ධනාගාරය අසලින් ගමන් කරන ඕනෑම අයෙකුට දැක හුරු පුරුදු වාක්‍යය කි. නමුත් අපට අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව සිරකඳවුරු වල තත්ත්වය බන්ධනාගාර තාප්පයේ වාත්තු කල චිත්‍රය තරම් අලංකාර නොවේ.

සැප්තැම්බර් 12 වනදාට යෙදෙන අන්තර්ජාතික සිරකරුවන්ගේ දිනය අලළා ජේෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගම මහතා සමඟ කල සාකච්ඡාවකදී සඳහන් කලේ ශ්‍රී ලංකාවේ සිර කඳවුරු වල ඇති බොහෝ බරපතල ගැටැළු අදාල බලධාරීන්ගේ අවදානයට ලක් නොවන බවත්, පිලියම් නොයෙදීම නිසා දිනෙන් දින වර්ධනය වන මේ ගැටලු මඟින් බරපතල අර්බුද රාශියකට පාර සැකසෙන බවයි. 

2009 වසරේ සිට තිරාණගම ඇතුළු මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ නීතිඥයන්ගේ සංවිධානය විසින් වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, නව මැගසින්  බන්ධනාගාරය,  මීගමුව,මහර, බෝගම්බර, කළුතර සහ රත්නපුර බන්ධනාගාර වල පිරිමි සහ වැලිකඩ, මීගමුව, බෝගම්බර සහ රත්නපුර කාන්තා රැඳවියන් සඳහා නීති ආධාර ලබා දීමේ වැඩසටහන් වලදී රැස් කරගත් තොරතුරු වලට අනුව  සිරකරුවන් ශාරීරිකව මෙන්ම මානසිකව ද බොහෝ අසහනකාරී තත්ත්වයෙන් වල පසුවෙයි. 

කෙනෙකු සිරගත වන්නේ යම් වරදකට දඩුවමක් වශයෙනි. එනිසා එම සිරගතවීමේදී මුහුණ පාන්නට සිදුවන අපහසුතාද දඬුවමේම කොටසක් ලෙස සලකා නිහඬව සිටිය යුතු යයි අයෙක් සිතිය හැකිය. නමුත් මෙලෙස සිරකඳවුරු තුල දී දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුවන්නේ යම් සිර දණ්ඩනයකට යටත් සිරකරුවන් නොවේ. චෝදනා වලට වැරදි කරුවන් නොවූ, උසාවියෙන් දඬුවම් නියම නොවුණු රැඳවියන් විශාල සංඛ්‍යාවකට  ද මෙලෙස අනිසි දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුව ඇත්තේ රටේ ක්‍රියාත්මක වන නීතියටත් වඩා, නීතිය ක්‍රියාත්මක කරවන අංශ වල අයගේ දුර්වලතා නිසාවෙන් ය. 

සිරකඳවුරු වල තදබදය 

ලංකාවේ සියලුම බන්ධනාගර බරපතල තදබදයකට මුහුණ දෙන්නේ අද ඊයෙක සිට නොවේ. 2009 වසරේදී ලංකාවේ සියලුම බන්ධනාගාර වල රඳවා තබා ගත හැකි රැඳවියන් සංඛ්‍යාව වුයේ 11,707  කි (සිර  දඩුවමකට යටත් -6673 සහ රිමාන්ඩ් -5034).2015 වන විටද මෙම සංඛ්‍යාව නොවෙනස්ව  පවතියි. 2009 වසරේ නම් කරන ලද  දිනයකදී  බන්ධනාගාර වල සිටි රැඳවියන් සංඛ්‍යාව 27,873  (සිර  දඩුවමකට යටත් - 13,694 සහ රිමාන්ඩ් - 14,129)ක් විය. මෙය රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට ආසන්න වශයෙන් සමාන වේ. 1995 වසරේදී දිනක රැඳවියන්ගේ සාමන්‍යය 11,447ක් වූ අතර, 2014 බන්ධනාගාර දත්ත වලට අනුව මේ සංඛ්‍යාව තෙගුණයකි. 

1997 වසරේදී ඇප පණත හදුන්වා දෙමින් එවකට අධිකරණ ඇමති ජී එල් පීරිස් මහතා ප්‍රකාශය සලකා බලමු. 

" පසු ගිය මාස හය තුලදී මා විසින් වැලිකඩ, බෝගම්බර, නුවර සහ මාතර ඇතුළු බොහෝ බන්ධනාගර වල සංචාරය කරන්නට යෙදුනා. එහිදී දක්නට ලැබුණු සිරකරුවන් අතරින් යම් දඬුවමකට ලක් නොවී සිරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව ශෝචනීයයි. මේ අතරින් බොහෝ දෙනෙක් බන්ධනාගාරය තුල රැඳී සිටින්නේ ඔවුනට ගෙවීමට නියම කල මුදල් සොයා ගැනීමට නොහකි නිසයි. ඒ නිසයි මේ තත්ත්වය අනුකම්පා උපදවන සුලු තත්ත්වයක් වන්නේ." 

"මෙය ඉතාමත් දරුණු තත්ත්වයක්. මෙය විශ්වාස කරන්නට නම් එය සියසින් දැකිය යුතු වෙනවා. මෙලෙස සිරගතව සිටින පුද්ගලයන් අතර අවුරුදු දෙක, තුන, හතර ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය සිටිනවා. මෙය එකඟ විය නොහැකි තත්ත්වයක්"  (1997.10.07 හැන්සාඩ් වාර්තාව )

1997 ඇප පණත හදුන්වා දුන්නේ මේ ගැටලුවට පිලියමක් ලෙස වුවත්, මෙම දත්ත අනුව පෙනී යන්නේ මෙම අභියෝගය ජය ගැනීමට එය අසමත් වී ඇති බවකි. 

දිගු කාලීන රිමාන්ඩ් රැඳවියන් 

සිරකඳවුරු වල උක්ත තදබදයට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඇප ලබා ගැනීමට නොහැකිව සහ අධිකරණයෙන් දඩුවම් නියම නොවූ සැකකරුවන් දීර්ඝ කාලීන ලෙස රිමාන්ඩ් බන්ධනාගාර තුල රඳවා ගෙන  සිටීමයි. තිරාණගම මහතා සඳහන් කල සිදුවීම්  අතර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවෙකු අවුරුදු 9ක් සහ මාස 7ක කාලයක් තුල රිමාන්ඩ් භාරයේ තබාගත් අවස්තාවක් සහ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවෙකු අවුරුදු 8ක් සහ මාස 3ක කාලයක් තුල රිමාන්ඩ් භාරයේ තබාගත් අවස්තාවක් වූ අතර මෙවැනි උදාහරණ රිමාන්ඩ් රැඳවියන් අතර දුලබ නොවේ.

ඉතාම අවාසනාවන්ත ලෙස මේ අතරින් සමහර රැඳවියන් තම ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම රිමාන්ඩ් භාරයේ සිටිමට සිදුවූ අවස්ථා ද සඳහන් වේ. තවදුරටත්  මේ පිළිබඳව පැහැදිලි කල තිරාණගම මහතා ප්‍රකාශ කලේ මෙලෙස රිමාන්ඩ්  භාරයේ  සැකකරුවන් සමහර අවස්ථා වලදී තමන් සැක පිට අත් අඩංගුවට පත්ව සිටින වරදට සාමාන්‍යයෙන් නියම කරන දඬුවම් කාලය මෙන් තුන් ගුණයකට ආසන්න කාලවකවානුවක් රිමාන්ඩ් බාරයේ සිටීමට සිදුවූ අවස්ථා ද බොහෝමයක් ඇති බවයි. 

2014  බන්ධනාගාර දත්ත වාර්තා වලට අනුව 2013 දෙසැම්බර් 31 වන දින රිමාන්ඩ් බාරයේ සිටි රැඳවියන් 10,032 අතරින් රැඳවියන්  2,220 ක් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියවුන් වන අතර, ඒ අතරින් පිලිවෙලින් රඳවියන් 480 ක සහ 127 ක සංඛ්‍යාවක් අවුරුදු තුනකට සහ අවුරුදු පහකට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිය වුන් වේ.   


ප්‍රතිවිපාක 

මේ ආකාරයෙන් දීර්ඝ කාලීනව සිරගතව සිටීමට සිදුවීම නිසා බන්ධනාගාර වල ඇතිවන  තදබදයට අමතරව එම සිරගතව සිටින පුද්ගලයාටද මුහුණ දීමට සිදුවන ශාරීරික සහ මානසිකව අහිතකර තත්ත්වයන් රාශියකි. බන්ධනාගාර ආඥාපනතට අනුව රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ට   දිනකට වරක් තම ඥාතීන් හමුවිය හැකි අතර ආහාරපාන වර්ග නිවසෙන්  ගෙන්වා ගත හැකිය. නමුත් දින නියමයක් නොමැතිව මෙලෙස රිමාන්ඩ් බාරයේ  ගණනාවක් රැදී සිටින්නවුන් බැලීමට දිනපතා පැමිණිම අභියෝගයකි. චෝදනාව ඔප්පු වනතුරු ඔවුන් නීතිය අබිමුව නිවැරදි කරුවන්ය. නමුත්, ඔවුන් තමන්ට හුරු පුරුදු  භාහිර ලෝකයෙන් වෙන් වී සිරකඳවුරු වලබිත්ති අතරට කොටු වී කල් ගෙවති. මෙලෙස දීර්ඝ කාලීනව බාහිර ලෝකයෙන් වෙන්වී, නැවත එම ලෝකය හා එක්වීමට ලැබෙන දිනයක් ගැන නොදත් ඔවුහු මානසික අවපීඩන තත්ත්වයක්ට ගොදුරු වීමට ඇති ඉඩ වැඩි වීම පුදුමය උපදවන කරුණක් නොවේ.


එක්  අයෙකුට ඇති ඉඩක තුන්දෙනෙකු රඳවා තබන විට ඇති වන අපහසුතා ගැන  සිතන්න.  එක් අයෙකු විසින් බාවිතා කලයුතු පහසුකම් තිදෙනෙකු අතර බෙදාගත යුතුවේ. මෙම ඉලක්කම් දහස් ගණනකින් වූ විට අර්බුධයේ තරමද  එලෙසම වැඩි වේ. ඒ හා සමගම තීව්‍රවන සනීපාරක්ෂාව පිලිබඳ ගැටළු, පරිසර ගැටළු සහ සමාජීය ගැටළු නිසා සිරකරුවන්ගේ තත්ත්වය තවදුරත් පහත වැටෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. 

මෙවැනි තත්ත්වයන්  මත  සිරකරුවන් ප්‍රචණ්ඩකාරී වීම බන්ධනාගාර පාලකයින් විසින් මුහුණ දෙන තවත් ගැටලුවකි. මෑත කාලයේදි වැලිකඩ, වවුනියා සහ අනුරාධපුර ඇතුලු බන්ධනාගාර කිහිපයක ඇතිවූ කැරලි කෝලාහල උදාහරණ කොට ගත හැකිය. 

පෙර සඳහන් කල පරිදි රිමාන්ඩ් භාරයේ සිටින සියලුම රැඳවියන් වැරදි කරුවන් නොවේ. උදාහරණයක් ලෙස වැරදි වැටහීමක් හෙතුවෙන් අත් අඩංගුවට පත් වුවෙකු සලකන්න. උසාවියෙන් තීන්දුවක් ලැබෙන තුරු රිමාන්ඩ් බාරයේ පසුවීමට සිදුවුවහොත්, වරදක් නොකලා වුවද බන්ධනාගාර ජීවිතයේ අභියෝග වලටත්, එම පරිසරයටත් මුහුණ දීමට ඔහුට සිදුවේ. ඔහු හෝ ඇය අහිංසක වුවත් ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරි වු වෙනත් අපරාධකරුවන් හා ගැටීමට සිදු වේ. ඒ අතර මත්ද්‍රව්‍ය තැරව්කරුවන් හෝ භාවිතා කරන්නන් ද විය හැකිය. 
 
වරදක් නොකල අයෙකු වුවද දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි පරිසරයක ගැටීම නිසා වරදට යොමු වුවහොත් එය පුදුම විය යුතු කරුණක් ද? සාමාන්‍ය මිනිසුන් ලෙස බන්ධනාගාර ගත වුවන් නැවත සමාජයට පැමිණි විට අපරාධකරුවන් ලෙස හැසිරීමට හේතුව ලෙස සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂකයන්ද මේ හේතුව හඳුනා ගනියි. 

වියදම 

 මීට අමතරව මෙලෙස රඳවා ගෙන සිටින සැකකරුවන් තවත් ගැටළු රාශියකට මුහුණ දෙනු  ලබයි. ඒ අතර නීති ආධාර ලබාගැනීමේ හැකියාව නොමැති වීම, තම වේතනය උපයා ගැනීමට ඇති හැකියාව නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ගැටළු ප්‍රධාන වෙයි. 

මෙයින් අනිසි ලෙස රටේ සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑමද නොසලකා හැරිය නොහැකිය. මෙලෙස සිරගතව සිටින්නන්ගෙන් බොහොමයක් රටේ ශ්‍රම බලකායේ කොටස්කරුවන් වේ. දඬුවම් විදින රැඳවියන් විවිධ කර්මාන්ත වල යෙදෙවිය හැකි වුවද රිමාන්ඩ් රැඳවියන් එසේ කර්මාන්ත වල යෙදෙවීමද කල නොහැකිය.  

එක් අතකින් ඔවුන්ගේ ඉපයීම් මාර්ග වැසී අතර, අනෙක් අතින් ඔවුන් වෙනුවෙන් මහජන මුදල් භාවිතා වේ. බන්ධනාගාර දෙපාර්තමෙන්තුවට අනුව එක් රැඳවියෙකු සඳහා දිනකට රුපියල් 300ක් පමණ වැය වේ. මෙලෙස ගත් කල රිමාන්ඩ් රැන්ඳවියකු සඳහා අවමව රුපියල් 109,500ක මුදලක් වසරකට වැය වන අතර මේ වියදම් වන්නේ මහජනතාවගේ බදු මුදල්ය. 
   
තිරාණගම ඇතුළු මානව හිමිකම් සහ සංවර්දනය සඳහා වූ නීතිඥයන්ගේ සංවිධානය මෙම ගැටලු අතර වන, මානව හිමිකම් කඩවීම් පිලිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව අවස්තා කිහිපයකදීම දැනුවත් කර ඇති නමුත් ඒ සඳහා සාර්ථක විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

සිරකරුවන් පිළිබඳව ඇති ගැටලු මෙහි සඳහන් ගැටළු කිහිපයට පමණක් සීමා වූවක් නොවේ. මෙහි සඳහන් රිමාන්ඩ් සිරකරුවන් පිලිබඳ ගැටළු බොහෝමයක් රටේ නිතී පද්ධතියේ අක්‍රමිකතා මඟ හරවා ගැනීමෙන් පමණක් බොහෝ දුරට විසඳා ගත හැකිය. නමුත් ඒ පිළිබඳව බලය ඇත්තන්ගේ අවධානය සෑහෙන පමණ යොමු වී ඇති බවක් ද නොපෙනේ. 

මේ අනුව බලන කල එක් කරුණක් ඉතා පැහැදිලිය. ලංකාවේ සිරකරුවන් ද මනුෂ්‍යයන් ය. කර්මය පල දෙන මනුෂ්‍යයන් ය. අපේ බන්ධනාගාර වල තත්ත්වය විමසා බැලූ විට අපේ නිතී පද්ධතියට වඩා කර්ම ශක්තිය බලවත් යැයි නොසිතා සිටීමට නොහැකි ය.