Tuesday, August 26, 2014

නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම්


 ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න  පුළුවන් පුදුමාකාර  හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්.  කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ වගකිව යුතු නිලධාරි මහත්වරු සහ නෝනලාට උනත් දෙලෝ සිහි වෙන්නේ ගබ්සාවක් කරගන්න ගිහින් අහිංසක ගෑනු කෙනෙක්ට විපත්තියක් උනාට පස්සෙයි. ඒ උනන්දුවත් ඉතින් දවස් දෙක තුනයි. ඊට පස්සේ ඒ නෝනා මහත්වරුන්ටයි, මාධ්‍ය කරන ඇත්තන්ටයි විතරක් නෙවෙයි ගබ්සාව නීති ගත  කරන එකට විරුද්දව කතා කරන ආගමික නායකයත් මේ සිද්ධි අමතක වෙලා  යනවා. ඒ අයගේ  නෙවේ, රටේ භුමියේ ප්‍රශ්නයක්. ඉතින් දොස් කියන්න එපා.

මොන මොන තර්ක ගෙනාවත් ගබ්සාව හරි දෙයක් කියලා සාධාරණීකරණය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ. එත් මේ ප්‍රශ්නයට විසඳුමක් අත්‍යවශ්‍යයි. ඇත්තටම ගබ්සාව නීති විරෝධී  රටේ සම්මත නීතියක් පවත්වාගෙන යන එක විතරද මේ ප්‍රශ්නයට විසඳුම? පුවත් වාර්තා වලට අනුව අපේ රටේ දවසකට නිතීවිරෝධි ගබ්සා කිරීම් 800කට වැඩි ප්‍රමාණයක් වෙනවා. වැඩිපුරම වෙළඳ කලාප කිට්ටුව.  නීති සම්මත වෙලා තිබුනට මේ සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් අපිට පේන්න නෑ. ඉතින් මේකට හැබෑවට පිළිතුර නීතියෙන් පැනල යන්න පුළුවන් වෙච්ච රටක අණ පනත් සම්මත කරගන්න එක ද?

නූපන් දරුවෙක් නැති කරලා දාන්න ක්‍රියා කරන්න තීරණයක් ගන්නේ මූලිකවම ඒ දරුවාව හදාවඩා ගන්න තියෙන නොහැකියාව නිසානේ.  දරුවාව නැති කරන්න හේතුව, ඒ දරුවා හදාගන්න ආර්ථිකව ශක්තියක් නැතිකම, අම්මාගේ සෞඛ්‍ය ගැටළු වගේ කාරණා වගේම අපවාද වලට තියෙන බය වගේ සාමාජීය කාරණයක් වෙන්නත් පුළුවන්. මේ කොයි කාරණාවෙන් උනත් පැහැදිලි වෙන්නේ මේ කුස පිළිසිඳ ගත් දරුවා ජීවිතයේ සැලැස්මට පිටින් සිද්ධ වුනු කාරණයක් බව.

ඉතින් මේවගේ සැලැස්මට පිටින් වෙන දේවල් නීති දාලා නතර කරන්න පුලුවන්ද?  සැලැස්මට පිටින් ගියොත්;

1. එක්කෝ පිට ගිය දේ අයින් කරලා ආපහු මුල් සැලැස්මට එන්න ඕනේ.
2. එක්කෝ සැලැස්ම මුළුමනින්ම වෙනස් කරලා අලුත් සැලැස්මකට එන්න ඕනේ.
3.එහෙමත් නැතිනම් සැලැස්මෙන් පිට නොයා වැඩේ කරගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ.

මගේ හැඳි මිටේ දිග නුවණට තේරෙන විදියට නීති විරෝධී ගබ්සා ප්‍රශ්නෙටත් සෑහෙන විසඳුමක් ලැබෙන්නේ 3 වෙනි කාරණෙන්. 

අපේ රටේ ලිංගික අධ්‍යාපනය තවමත් තියෙන්නේ බොහොම පහල මට්ටමක. උසස් පෙළ ජීව විද්‍යාව උගන්නන්න ගුරුවරුන් උනත් තවමත් ප්‍රජනන පද්ධතිය ගැන උගන්නන්නේ දෙගිඩියාවෙන්, අධිවේගෙන්. මාධ්‍ය හරහා වෙන දැනුවත් කිරීම උනත් ප්‍රමාණවත් නැහැනේ. ඒ පණිවිඩේ අවශ්‍ය කණ්ඩායමට යනවද කියලත් කියන්න බෑ. පහල පංතියකදී වත් සෞඛ්‍ය පාඩමට අනවශ්‍ය දරු උපත් වලක්වා ගන්න හැටි හෝ ලිංගාශ්‍රිත රෝග වලින් තමන් ආරක්ෂා කරගන්න හැටි ක්‍රමවත්ව උගන්නන්න පාඩමක් අන්තර්ගත නෑ. පාසල් අධ්‍යාපනයේ මේ මාතෘකා හරියාකාරව ඉගැන්නුවේ නැතිනම් වෙන කවද කොහේදී උගන්නන්නද කියල මගේ මොලේට තේරෙන්නෙත් නෑ. 

කොහොම උනත් මම හිතන්නේ, මිනිස්සුන්ව හරියට දැනුවත් කලොත්, කසාදයක් කරලා දෙනකම් ඉන්නේ නැතිව ගෑනු ළමයින්ට තමන්ව ආරක්ෂා කරගන්න විදිය කියල දුන්නොත්, මේ ලොකු ඉලක්කම් ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වේවි. නීති ලිහිල් කරන එකට විරුද්ධව කතා කරන්න මහන්සි ගන්න වෙලේ වෙළඳ කලාපයකට ගිහින් ඒ ගෑනු දරුවන්ව දැනුවත් කරන්න උත්සහ කලොත් ඒ දැරිවියෝවත් තමන්ගේ සැලසුමෙන් පිටට නොපැන ජීවිතේ ඉස්සරහට ගෙනියගනීවී නේද?      



Wednesday, August 20, 2014

පෙරළුණු රළ

එදා මට හිතුනේ 
මහ මුහුද තරම් 
ලස්සන තව තැනක් 
මහ පොළොවේ වෙනනම් 
නැහැයි කියලා ...

හීතල හුළඟට 

දාඩිය නිමෙනවා
රැල්ල පාගනකොට
මගේ හිතත් නිමෙනවා ...
 

මහ දවල් අවුවට පාර මැද්දෙත්
පේනවා මහ මුහුද

ඒ දවස් වල තනියම හිනා මට
දැන් නම් ඒ අව්වට
පිච්චිලා යනවා මාව.


එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා
ඊළඟ රැල්ලටම  

ඒ නම් මැකිලා යද්දී 
හිතන්න තිබ්බා අපිට
සතුට කොහොමත් 

දුකට පෙරළෙනවා කියලා.

මිරිඟුව පෙනී පෙනී 
ගිනි අවුවට පිච්චේනකොට
වෙලාවකට මට හිතනවා
වැල්ලේ නොලියා අපි නම්
කළුගලක කෙටුවනම් කියලා...


Wednesday, August 13, 2014

අපේ පාරේ මන්ත්‍රීතුමා

මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය
සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය
මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය
පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේය

යන එන මඟදි  හමුවෙන දායක රෑන
දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය
ඒ මඟ දෙපස කුණු වෙන  කැළි - කසල ගොඩ 
ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නද

සහචර පිරිස ඩෙංගු බලන්නට එනවා
වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා
පාරේ පල්  කාණු නොපෙනී යනවා
ලබන සැරෙත් මන්ත්‍රීට චන්දය දෙනවා

ටෙන්ඩර  බෙදන  දායකයනට නොමසුරුව
ඔහු උතුමෙක්ය  කලගුණ අමතක නොවෙන 
පාරේ ගොඩ ගැහෙන කඳු කඳු කුණු නොදැක්කට
වගපල කියන එක නම් හොඳ මදි නේද