Monday, August 22, 2016

අද මහ වැසි වැටිය යුතුය. එහෙත් ඔබ නොතෙමිය යුතුය.

වේලි පණ අදින තරුණ තණ පදුරු
දිවි රැකෙන්නට නම්
අද වැසි වැටිය යුතුය.
ඉරි තැලී ගිය පොළොව තෙමී මෙලෙක් විය යුතුය...

හෙට හිරු කිරණ දක්නට
රෝස කැකුලක් පිපෙන්නට නම්
අද වැසි වැටිය යුතුය.
කේශ මුල් මුදුන් මුල් තුලින්
දිය පොදක් ඇදී යා යුතුය...

ජවැ'තිව හෙට දින දකින්නට නම්
අද දාහය නිමිය යුතුය.
ඉදින්,
මහ වැසි වැටිය යුතුය.

මහ වැසි වසින්නට
අහස් කුස නිමිති බලයි.
ඒ නමුදු,
මහ වැස්සේ තෙමෙන්නට
සූදානම් නැති ඔබ
රවා බලයි ගැබ්බර අහස දෙස...

Thursday, June 2, 2016

සිංහලෙන් ලියන කියන අය ඔනෑ කර තිබේ

ලඟදි අපි අලුත් වැඩක් පටන්  ගත්ත. ඒ තමයි NIGHT  OWLS. Night  Owls  කියන්නේ online  magazine  එකක්. ඒ ආරම්භයට තියපු සටහන තමයි මේ.
-----------------------------------------------------------------------------------
එන්න Night Owls එක්ක රෑ අහසේ පියාඹන්න!


www.nightowls.lk


අපට හැමදාමත් අපි කැමති දේම කරන්න ලැබෙන ඉඩ අඩුයි. නමුත් උවමනාවක් තියෙනවා නම් තමන් කැමති දේ කරන්න ඉඩ හදාගන්න, නැතිවුණු දේ නැවත ලබාගන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. Night Owls කියන්නෙත් එහෙම හදාගත්තු ඉඩක්.

තවත් විදියකට කියනවනම් මේ නිදහස සොයාගෙන යන ගමනක්. මේ හදාගත්තු ඉඩ අපි ඔක්කොගෙම නිදහස් වේදිකාව.

කැමති කැමති දේ කරන්න නිදහස ලැබුනා කියලා ඒ නිදහස තව කෙනෙක්ගේ නහයේ වදින්නේ නැති විදියට අපි පාවිච්චි කරමු. කෙනෙකුට අසාධාරණයක් වෙනාවානම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙමු. පුළුවන් උපරිමයෙන් අපේ ප්‍රශ්න ගැන කතා කරමු. එතකොට අපිට පුළුවන් විදියට විසදුම් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ.

අපේ වෙබ් අඩවිය ඕනෙම කෙනෙකුට විවෘතයි. ඕනේම අදහසකට විවෘතයි. ප්‍රධාන මාධ්‍ය ධාරාවෙන් අවස්තාවක් නොලැබුණු අයට රෑ බකමූණෝ වැඩි ඉඩක් දෙනවා. ඒ නිසා කියන්න යමක් තියනවා නම්, ලියන්න අපිට.

ඔබ වඩා කැමති මොනවටද? කලාවටද, සාහිත්‍යය ද, මේ කාලයේ කතාබහට ද? එහෙම නැත්තම්, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් වගේ අත්කම් ගැන අලුත් හෝඩුවාවල් ද? ජීවිතේ තමන් කැමති මඟ ගිහින් ජය ගත්තු, පරාජය වෙච්චි අය ගැන තොරතුරුද? මේ හැමදේටම ඉඩක් අපි ළඟ තියනවා.

ඉතින්, අද පලවෙනි අඩිය තියපු මේ ගමන අපි යමු කණ්ඩායමක් විදියට. ඉතින් එන්න අපිත් එක්ක. අන්තර්ජාලයේ අසීමිත නිදහස ඵලදායක විදියට උපරිමෙන් භුක්ති විඳිමු.
ඔබේ අදහස්, නිර්මාණ සහ යෝජනා අපිට එවන්න

ඊමේල් – bakamoonukatha@gmail.com
මුණු පොතේ බකමුණෝ: facebook.com/bakamoonukatha
ට්විටර්: @BakamoonuKatha
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

වැඩේ පටන් ගත්තට, එක ප්‍රශ්නයක් තියනවා. මෙච්චර සිංහල කතා කරන ලියන රටේ අපිට සිංහලෙන් ලියන කියන අය හොයාගන්න හුඟක් අමාරු යි. බ්ලොග් සමුහයේ අපිට උදව් කරන්න පුළුවන් අය ඉන්න බව මතක් වුනු ගමන්මයි මේ පොස්ට් එක ලියන්නේ. සිංහලෙන් කවි කතා ලියන ඕනෙම කෙනෙක්ට night owls එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.අපහාසාත්මක, අශ්ලීල දේවල් හැර (සාපේක්ෂයි. මිනුම ලියන කෙනා සතුයි) ඕනෙම දෙයක් අපිට ලියන්න පුලුවන්.

සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, දෙමළෙන් කවි කතා අදහස් ලියන ඕනෙම කෙනෙකුට මේ පණිවිඩේ දෙන්න. Owlets කියල පොඩි අයටම වෙන් වුනු කොටසකුත් තියනවා. ඒ අයටත් චිත්‍ර, කවි, කතා ඕනෙම දෙයක් එවන්න පුළුවන්.

පුළු පුළුවන් විදියට මේ ව්‍යායාමයට උදවු ලැබේවි කියල බලාපොරොත්තු වෙනවා. ලියන, කියවන අය නැතුව මේ පටන් ගත්තු දෙයින් වෙන  ප්‍රයෝජනයක් නැහැ.

තව ඇතුල් කරන්න පුළුවන් දේ ගැන අදහසක් තියනවා නම් කියල එවන්න


මෙකයි සයිට් එක : http://nightowls.lk/wp

Monday, April 25, 2016

සතුටු හිතෙන බස් කතා


www.deviantart.com

බස් එකේ මගේ එහා පැත්තෙන් මැදි වයසේ පිරිමි කෙනෙක් වාඩි වුණා. වෙලාව රෑ 7 පහුවෙලා. කරුවල වැටිලා. බස් එක ඇතුලේ ලයිට් දාලා තිබුනත් එච්චර එළියක් තිබුනේ නැහැ. ඒ මනුස්සය වාඩි වෙලා මිනිත්තුවකින් වගේ කොන්දොස්තර ආව ටිකට් ගන්න. අර මනුස්සයා ඒකට කලින්ම ලෑස්ති වෙලා නොට්ටුවත් දික් කරගෙනයි හිටියේ.

"කිරිබත්ගොඩට"

කොන්දොස්තර සල්ලි නොගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා.

"ඇයි අංකල් කිරිබත්ගොඩට යන්න ඔච්චර සල්ලි දෙන්නේ?"

මේ මනුස්සයා රුපියල් 50ක් කියල දික් කරලා තියෙන්නේ 1000 කොලයක්. එයා ඒ නෝට්ටුව ඇස් දෙක කිට්ටුවටම අරන් බලල ඇස් ලොකු කරගත්ත.

කොන්දොස්තරට වුවමනාව තිබුනා නම් 50 කියල දාහ අරන් පනහක ඉතුරු දෙන්න තිබ්බා. අර මනුස්සය දන්නෙත් නැහැ.

"අන්කල් මට උවමනාව තිබ්බනම් ඕන අරගන්න තිබ්බ. ඔයා දන්නෙත් නැහැ. ඒත් එහෙම ගත්තා නම් මට හරියයිද අංකල් ?"


මගේ එහා පැත්තේ හිටපු මනුස්සයාගේ මුණේ හිනාවක් ඇඳුනා.
-----------------------------------------------------------------------------------

ගාල්ලේ ඉඳල කොළඹ එන බස් එකක්.  මම නැග්ගේ කොල්ලුපිටියෙන්. ඉඳගන්න ඕනේ තරම් සීට්. මම වැඩි වුනේ මුදා පැත්තේ සීට් එකක. එහා පැත්තේ වාඩි වෙලා හිටියේ හරි රවුම් හැඩේ ගෑනු කෙනෙක්. 50ක් 55ක් වයස ඇති.

ටිකකින් කොන්දොස්තර ආව. මගෙන් සල්ලි ගත්ත. ආපහු ඉස්සරහට ගිහින් මම හිටපු තැනට ආව. කොන්දොස්තර අවුරුදු 18ක 20ක අපිරිසිදු පාට කොල්ලෙක්.

"අම්මේ" කොන්දොස්තර ආවේ මගේ එහා පැත්තේ කෙනාට කතා කරන්න. ඒත් ඒ කෙනා නෙවෙයි කොන්දොස්තර පැත්තට හැරුනේ.

"අම්මේ" එයත් උත්සාහය අත අරින්නේ නැහැ. "බැරි අමාරුකම් තියන කෙනෙක් නැග්ගම අපි ඉඳගන්න දෙන්න ඕනේ. ඇහෙන්නේ නැහැ වගේ ඉන්න පවු. අපිටත් බැරි දවසක් එන්න පුළුවන්නේ?" කොන්දොස්තර හරිම ශාන්තව කියල ආපහු ගියා.  ගෝල් ෆේස් හරියේදී අපහු ආවා. "මම නැගිටින්න කිව්වාම අම්මට කේන්ති ගියා නම් සමාවෙන්න. ඒ වෙලේ ඒ මනුස්සයට වාදී වෙන්න දෙන්නම ඕනේ"

අර ගෑණු කෙනත් තනියම මොනවද කියෙව්වා. අහක බලන් කියෝපු නිසා මට තේරුනේ නැහැ. ආබාධිත කෙනෙක් නැග්ගම කොන්දොස්තර මේ මනුස්සයව නැගිට්ටලා සීට් එක අරන් දීල.

-------------------------------------------------------------------

බස් ගැන කියද්දී හුගක් වෙලාවට අපිට මතක් වෙන්නේ එපා කරපු දේවල්. ඒ අතරිනුත් හුගක් විට කොන්දොස්තරගේ වැරදි. ඉතුරු නොදීපුව. ඉස්සරහට යන්න කියල කෑ ගහපුවා. මිනිස්සුන්ට බැනපුවා. එහෙමත් නැත්තන් සෙනග පිරෙනකම් කිය කියා පරක්කු වෙනකම් බස් එක නතර කරන හිටපුව. මේ හින්දම බස් කොන්දොස්තරලා ගැන අපිට තියන ආකල්ප එච්චරම ධනාත්මක නැහැ. ඒත් ඉඳහිට බස් එකකදී අහන දකින මේ වගේ පොඩි පොඩි සිද්ධි නිසා මට හරි සතුටක් ඇතිවෙනවා. කොයි කණ්ඩායම ඇතුලෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා.

Friday, March 18, 2016

හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද?

තාජුදීන්ගේ මරණ අභිරහස දැන් කාලයක ඉදන් ප්‍රවෘත්ති වල පෙරලි කරනවා, ඒත් මේ වෙනකොටත් අරයට මෙයාට ඇඟිලි දික් කරනවා මිසක් වගකිවයුතු කෙනෙක් නීතියට යටත් කරගෙන නැහැ. මේ ලංකාවේ නොවිසිදුනු අපරාධ විශාල ප්‍රමාණයකින් එකක් විතරයි.

වැරදි කරන අයට නීතියෙන් හැමවිටම දඬුවම් ලැබෙනවද? නීතියෙන් ගැලවෙන හැටි දන්න, නීතියෙන් ගැලවිලා අපරාධ කරගෙන යන හැටි දන්නා දක්ෂයෝ ඕනේ හැටියට තමන්ගේ වැඩ කරගෙන යනවා. ඒත් මේ අයට තමන්ගේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද? 

මේ ගැන කතා කරන අපුරු චිත්‍රපටියක් තමයි The Machinist. මනෝවිද්‍යාත්මක ත්‍රාස කතා බලන කෙනෙක් නම් මේ චිත්‍රපටිය මග හැරිලා තියෙන්නට බැහැ. 2004 දී තිරගත වුනු මේ කතාව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම චිත්‍රපටියක් විදියට තමයි විචාරකයෝ හඳුන්වන්නේ. අවුරුදු 12ක් පරණ වුනත් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක්. (මෙම රීතියේ චිත්‍රපටි වලට කැමති අයට)



ද මැෂිනිස්ට් ගැන කතා කරන කොට මුලින්ම අවධානය යොමු වෙන්නේ එහි ප්‍රධාන නළුවා වන ක්‍රිස්ටියන් බේල් ඒ චරිතය වෙනුවෙන් හැඩගැහෙන්න කරන පෞද්ගලික කැපකිරීම. එය හොලිවූඩ් ඉතිහාසයේම දක්නට ලැබෙන විශිෂ්ටතම කැප කිරීම් වලින් එකක්.  ඔහු මේ චිත්‍රපටය සඳහාම ඔහුගේ සිරුරේ බර කිලෝ 30ට ආසන්න ප්‍රමාණයක් අඩුකරගන්නවා. කතාව පුරාවට ඔහුගේ ඇට ගැහුණු සිරුර දිහා බලා  ඉන්නට පවා අසීරුයි.


මෙහි කතා නායකයා, Trevor Reznik,  අවුල් ජාලාවක පැටලුන අයෙක්. ඔහු වසරකට අධික කාලයක් තිස්සේ හරියාකාරව නින්දක් නැති කමින් පීඩා විඳිනවා. ඒ නිසාම, බලාගෙන ඉඳිද්දී ඔහුගේ සිරුර වැහැරිලා යනවා. අනිත් අයට නොපෙනෙන දේ පෙනෙන්නට ගන්නවා. මුළු ජීවිතේම උඩු යටිකුරු වෙනවා. මේ සියල්ලටම හේතුව වෙන්නේ ඔහු පලායන්නට උත්සහ කරන වරදකාරී හැගීමක්.  මුලදී ඔහුටත්, නරඹන්නන්ටත් මේ විරියාසය ගැටළුවක්. නමුත් අවසානයේ ගැටලුවට හේතුව පැහැදිලි වන විට Reznik තරමටම නරඹන අයත් කම්පනයට පත්වෙනවා.


අවස්ථාවෙන් පලා  ගියත්. නිතීයේ රැහැනට අසු නොවුනත් වරදකාරී සිතුවිල්ලකට මිනිසෙකුගේ සිතක් කොතරම් අවුලෙන් වියවුලට පත් කරන්නට පුලුවන්ද? මේ කාරණය කතාව පුරාවට අපුරුවට පැහැදිලි වෙනවා. එංගලන්තයේ Royal  College  of  Psychiatrists හි  මනෝචිකිත්සකයෙකු චිත්‍රපට විචාරය කදී පෙන්වාදෙන්නේ Reznik ගැලවී යන්නට උත්සහ කරන යථාර්තයම ඔහුගේ යටි හිත විසින් මායාකාරී ලෙස ඔහුව කොටු කරගන්නා බවයි.



Reznik අතින් සිදුවන වරද ඔහු කලින් සංවිධානය වී සිදුකරන්නක් නොවෙයි. ඔහුගේ අත්වැරදීමක් නිසා සිදුවන්නක්. නමුත් ඒ සිදුවීමේ ප්‍රතිවිපාක වලින් පැනයන්නට කරන උත්සාහය නිසා ඔහුගේ සිත ඔහුට අවශ්‍ය දඬුවම් ලබා දෙනවා. චිත්‍රපටි කතාවක් උනත් මෙය සිදුවිය නොහැකි දෙයක් නොවෙයි. බුදුදහමේ හෝ මනෝ විද්‍යාවේ පැහැදිලි කෙරෙන විදියට  සිතට මෙවැනි බලපෑම් ඇති කළ හැකියි.


ඔබේ අතින් සුලුවරදක් වී එය සඟවා සිටින විට ඇති වන අපහසුව සිතන්න. ඉතින්, විශාල වරදක් සිදු වුනු විටකදී, පිටත ලෝකයට කෙලෙස පෙනී සිටියත්, ඔබේ සිතෙන් ඔබට ගැලවෙන්නට පුළුවන් වේවිද?





 

Thursday, March 3, 2016

හිතේ ලෙඩ

සිලින්ජරයක රුධිර බිඳකට
කියන්නට බැහැ
හඬ නඟා
වරද ඇත්තේ රුධිරයේ නොව
ගිලන් වූ හද තුල කියා


තැලී පොඩි වුණු හදක් කෙලෙසක
පණ පිඹින්නද පිළුණු රුහිරට ?
සිලින්ජරයේ රුධිර බින්දුව
කියාවි ද ගතු මිසී නෝනෙට?
 

Monday, February 15, 2016

මහත්තයෙක් වෙන්න හැමදාම 'ටයි' එකක් අඳින්න

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා. හැමදාම ලස්සනට අඳිනවා. කවුරුත් මුණ ගැහුනත් නැතත් ටයි එකත් අඳිනවා. කොන්ඩෙ ලස්සනට පාට කරලා පීරනවා. යන යන තැන බඩු මුට්ටු උස්සගෙන යන්න අතවැසියෙක් ඉන්නවා.

තව මනුස්සයෙක් ඉන්නවා. එයා ලස්සනට අදින්නේ විශේෂ කටයුත්තක් තිබුනොත් තමයි. අනිත් දවසට සාමාන්‍ය කමිසයක් කලිසමක් සරල විදියට ඇඳගෙන වැඩට එනවා. සමහරවිට එකම කමිසය සතියට දවස් දෙකක් අඳිනවා. වැඩ වැඩි දවසට කොන්ඩේ උනත් හරියට පීරිලා නැති ගතියක් තියනවා.

මේ දෙන්නම සම තනතුරු දරන, එක අධ්‍යාපන මට්ටමේ උදවිය. පවුල් පසුබිමත් සැහෙන දුරට සමානයි.

ටයි දාන පුද්ගලයා තමන් යටතේ වැඩ කරන අයට දැනෙන්න සලස්වනවා ඒ අය ඔහුගේ සේවකයෝ බව. තමන්ගේ තත්ත්වය ඉහල එකක් බව ආයාසයෙන් දැනෙන්නට අරිනවා. මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා. අණ දෙනවා. අණ පැහැර හැරියොත් දඩුවම් ලැබෙනවා, අඩු තරමින් අපහාසයක් වත් ලැබෙනවා.

ටයි නොදාන පුද්ගලයා මිනිස්සුත් එක්ක වැඩ කරනවා. රියදුරා එක්ක උනත් එකට වාඩි වෙලා කෑම කනවා. තමන් යටතේ වැඩ කරන අයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ අයත් තමන්ගේ මට්ටමේ සමාන කරලා සලකනවා. වරදක් උනොත් හේතු හොයනවා. තරවටු නොකර පිලියමක් හොයන්න උදව් වෙනවා.

එකම වටපිටාවකින් එන, එකම අධ්‍යාපනයක් ලබපු දෙන්නෙක් ඇයි දෙවිදියක්? මම ගොඩක් කලපනා කළා. අන්තිමටයි තේරුනේ මොකක්ද වෙන්න ඇත්තේ කියල. වෙන හේතුවක් හොයාගන්න බැහැ. හේතුව 'ටයි' එක.

කාලයක් ටයි එක දැම්මම එකේ රස්නේ හදවතට වදිනවා. ඉතින් හදවත රත්  වෙනවා. ඉතින් මනුස්සකම කර වෙනවා. හැබැයි ඔයා සමාජයේ වැදගත් මහත්තයෙක් බවට පත්වෙනවා!

ඉතින්, තත්ත්වේ රැක ගන්න ඕනේ නම් ඔයාලත් දිගටම් ටයි එකක් දාන්න. එක දිගට හැමදාම! එකෙන් ඔයාගේ සමාජ තත්වයත් ආරක්ෂා වෙලා අනිත් අයට වඩා උසස් කෙනෙක් බවට පත් වෙයි.







Tuesday, February 2, 2016

(අ)සම්පුර්ණ








'සම්පුර්ණ'
මිනිසෙකු සොයා
හති වැටී ඔබ
දිගු ගමනක...

අසම්පුර්ණ ඔබ
සම්පුර්ණව දකින මම
හුදෙකලා වී
එකම තැන!