Tuesday, August 26, 2014

නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම්


 ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න  පුළුවන් පුදුමාකාර  හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්.  කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ වගකිව යුතු නිලධාරි මහත්වරු සහ නෝනලාට උනත් දෙලෝ සිහි වෙන්නේ ගබ්සාවක් කරගන්න ගිහින් අහිංසක ගෑනු කෙනෙක්ට විපත්තියක් උනාට පස්සෙයි. ඒ උනන්දුවත් ඉතින් දවස් දෙක තුනයි. ඊට පස්සේ ඒ නෝනා මහත්වරුන්ටයි, මාධ්‍ය කරන ඇත්තන්ටයි විතරක් නෙවෙයි ගබ්සාව නීති ගත  කරන එකට විරුද්දව කතා කරන ආගමික නායකයත් මේ සිද්ධි අමතක වෙලා  යනවා. ඒ අයගේ  නෙවේ, රටේ භුමියේ ප්‍රශ්නයක්. ඉතින් දොස් කියන්න එපා.

මොන මොන තර්ක ගෙනාවත් ගබ්සාව හරි දෙයක් කියලා සාධාරණීකරණය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ. එත් මේ ප්‍රශ්නයට විසඳුමක් අත්‍යවශ්‍යයි. ඇත්තටම ගබ්සාව නීති විරෝධී  රටේ සම්මත නීතියක් පවත්වාගෙන යන එක විතරද මේ ප්‍රශ්නයට විසඳුම? පුවත් වාර්තා වලට අනුව අපේ රටේ දවසකට නිතීවිරෝධි ගබ්සා කිරීම් 800කට වැඩි ප්‍රමාණයක් වෙනවා. වැඩිපුරම වෙළඳ කලාප කිට්ටුව.  නීති සම්මත වෙලා තිබුනට මේ සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් අපිට පේන්න නෑ. ඉතින් මේකට හැබෑවට පිළිතුර නීතියෙන් පැනල යන්න පුළුවන් වෙච්ච රටක අණ පනත් සම්මත කරගන්න එක ද?

නූපන් දරුවෙක් නැති කරලා දාන්න ක්‍රියා කරන්න තීරණයක් ගන්නේ මූලිකවම ඒ දරුවාව හදාවඩා ගන්න තියෙන නොහැකියාව නිසානේ.  දරුවාව නැති කරන්න හේතුව, ඒ දරුවා හදාගන්න ආර්ථිකව ශක්තියක් නැතිකම, අම්මාගේ සෞඛ්‍ය ගැටළු වගේ කාරණා වගේම අපවාද වලට තියෙන බය වගේ සාමාජීය කාරණයක් වෙන්නත් පුළුවන්. මේ කොයි කාරණාවෙන් උනත් පැහැදිලි වෙන්නේ මේ කුස පිළිසිඳ ගත් දරුවා ජීවිතයේ සැලැස්මට පිටින් සිද්ධ වුනු කාරණයක් බව.

ඉතින් මේවගේ සැලැස්මට පිටින් වෙන දේවල් නීති දාලා නතර කරන්න පුලුවන්ද?  සැලැස්මට පිටින් ගියොත්;

1. එක්කෝ පිට ගිය දේ අයින් කරලා ආපහු මුල් සැලැස්මට එන්න ඕනේ.
2. එක්කෝ සැලැස්ම මුළුමනින්ම වෙනස් කරලා අලුත් සැලැස්මකට එන්න ඕනේ.
3.එහෙමත් නැතිනම් සැලැස්මෙන් පිට නොයා වැඩේ කරගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ.

මගේ හැඳි මිටේ දිග නුවණට තේරෙන විදියට නීති විරෝධී ගබ්සා ප්‍රශ්නෙටත් සෑහෙන විසඳුමක් ලැබෙන්නේ 3 වෙනි කාරණෙන්. 

අපේ රටේ ලිංගික අධ්‍යාපනය තවමත් තියෙන්නේ බොහොම පහල මට්ටමක. උසස් පෙළ ජීව විද්‍යාව උගන්නන්න ගුරුවරුන් උනත් තවමත් ප්‍රජනන පද්ධතිය ගැන උගන්නන්නේ දෙගිඩියාවෙන්, අධිවේගෙන්. මාධ්‍ය හරහා වෙන දැනුවත් කිරීම උනත් ප්‍රමාණවත් නැහැනේ. ඒ පණිවිඩේ අවශ්‍ය කණ්ඩායමට යනවද කියලත් කියන්න බෑ. පහල පංතියකදී වත් සෞඛ්‍ය පාඩමට අනවශ්‍ය දරු උපත් වලක්වා ගන්න හැටි හෝ ලිංගාශ්‍රිත රෝග වලින් තමන් ආරක්ෂා කරගන්න හැටි ක්‍රමවත්ව උගන්නන්න පාඩමක් අන්තර්ගත නෑ. පාසල් අධ්‍යාපනයේ මේ මාතෘකා හරියාකාරව ඉගැන්නුවේ නැතිනම් වෙන කවද කොහේදී උගන්නන්නද කියල මගේ මොලේට තේරෙන්නෙත් නෑ. 

කොහොම උනත් මම හිතන්නේ, මිනිස්සුන්ව හරියට දැනුවත් කලොත්, කසාදයක් කරලා දෙනකම් ඉන්නේ නැතිව ගෑනු ළමයින්ට තමන්ව ආරක්ෂා කරගන්න විදිය කියල දුන්නොත්, මේ ලොකු ඉලක්කම් ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වේවි. නීති ලිහිල් කරන එකට විරුද්ධව කතා කරන්න මහන්සි ගන්න වෙලේ වෙළඳ කලාපයකට ගිහින් ඒ ගෑනු දරුවන්ව දැනුවත් කරන්න උත්සහ කලොත් ඒ දැරිවියෝවත් තමන්ගේ සැලසුමෙන් පිටට නොපැන ජීවිතේ ඉස්සරහට ගෙනියගනීවී නේද?      



7 comments:

  1. සැලසුමෙන් පිට පනින්නේ නැතුව ජීවත් වීම කියන කරනෙත් විවාදාත්මක වෙන්න පුළුවනි. ඇත්තෙන්ම ගබ්සාව නීතිගත් කිරීම වරදක් කියා මම පෞද්ගලිකව දකින්නේ නෑ. මොකද විනොදෙට ගබ්සා කරන්න යන්නේ නෑ කවුරුවත් .

    කතාවක් මතක් වුනා ...

    කාන්තාවක් තම අවුරුදු දෙකක් වයස දරුවත් අතින් අල්ලාගෙන යනවා දොස්තර මහත්තයෙක් ලඟට .

    " දොස්තර මහත්තයෝ මට තව ළමයෙක් , දෙන්නෙක් හදාගන්න් බෑ , ඒ නිසා මේ දරුවාව නැති කරන්න ඕනේ " කියලා

    " එහෙම නෙවෙයි ඔබට ළමයි දෙන්නෙක් හදාගන්න අමාරු නිසා බඩේ ඉන්න දරුවා තියාගෙන අපි මේ දරුවාව නැති කරමු" කියලා වැඩිමහල් දරුවාව පෙන්නනවා .

    " අපෝ බෑ එක මිනී මැරීමක් නේ " අම්ම කියනවා

    " ඉතින් එකමනේ ඔබ කරන්න ගියෙත් "

    ReplyDelete
    Replies
    1. මම දකින විදියට ජීවයක් නසන එක වරදක්. ඒත් වරදක්ද නැද්ද කියන එකට වැඩිය මට හිතෙන්නේ නීති විරෝධී ගබ්සා කිරීම් වලට හේතුව නොදැනුවත්කම කියල.

      ඇයි සැලසුමෙන් පිට පනින්නේ නැතුව ජීවත් වීම කියන කරනෙත් විවාදාත්මකයි කියන්නේ. මම හිතන විදියට තමන්ගේ සැලැස්ම තමන්ගේ තීරණයක්. එතකොට පවුලුෂා කියයි වෙන කෙනෙක්ගේ බලපෑමක් වෙන්න පුළුවන් කියල. වෙන කෙනෙකුගේ බලපෑමකට යටත් වුනු එකත් ඒ පුද්ගලයාගේ තීරණයක්.

      මන්ද ඉතින් මට නම් ( සෞඛ්‍ය හේතු හැර ) මොන හේතුවකට කරන ගබ්සාවක් ගැන උනත් හරි වැරදි දෙපැත්තටම හේතු කියත හැකි

      Delete
  2. කවුරුවත් ආතල් එකට ගබ්සා කර ගන්න යන්නේ නෑ. එතන කුමක් හෝ හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුවලටයි ප්‍රතිකාර කරන්න ඕන. වැඩිම ගබ්සා ප්‍රමාණයක් සිඳු වෙන්නේ නූගත්කම හේතුවෙන්.

    ReplyDelete
    Replies
    1. මුළු පොස්ට් එකෙන්ම කියන්න දඟලපු එක මාතලන් පේලි දෙකෙන් කියල :)

      Delete
  3. මේකයි මචෝ
    මිනිස්සු තමන්ට තියෙන ප්‍රශ්න වලින් පැනල නොයා ඒවට සාර්තකව මුහුණ දෙන්න තරං දෛර්ය සම්පන්න නම් මේ ප්‍රශ්න මේ තරං දුර දිගයන්නෙ නෑ... ඒ එකක්..
    අනික තමා බටහිර රටවල ගැහැණුන්ට තාත්ත නැතිව ළමයි හම්බෙන එක අරුමයක් නොවෙනඅපේ මිනිස්සුන්ට අපේ කෙල්ලෙක්ට ඒම වුනොත් හෙනම ප්‍රශ්නයක් වෙනේක...
    ආකල්පමය අතින් සාමාජීය අතින් හැමදේම වෙනස් කරන්න ඕන....
    ඒ කියන්නෙ අපේ උං හිතන පතන විදිය ඕක්කටම කලිං වෙනස් කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැමෝටම එක වගේ බැහැ. එත් ඒ වගේ 'life skills' තමන්ගේ ජීවිතයට එකතු කරගන්න විදියක් පාසල් කාල සටහනට එකතු කලොත් ළමයෙකුට යම් උදව්වක් වෙන්න ඉඩ තියනවා. මම ඉස්කෝලේ යන කාලේ සතියටම එක පීරියඩ් එකක් තිබ්බා 'life skills training' කියල. එත් කරපු දෙයක් නෑ. දැන් හිතනකොට තේරෙනවා ඒ පීරියඩ් එකේ ගුරුතුමීට මොන තරම් දෙයක් කියල දෙන්න තිබ්බද කියල.

      Delete
  4. KT,
    අපි පොඩි කතාබහක ඉන්නවා ලංකාවේ කාන්තා සංගීත කණ්ඩායම් බිහිනොවන්නේ ඇයි ? කියන මාතෘකාවේ ඇවිත් බලල අදහසක් දෙන්නකෝ
    http://dampatadedunna.blogspot.com/2014/09/21-clout.html

    ReplyDelete