Sunday, December 6, 2015

Mobile sim සහ යාලුවෝ


මිනිස්සු ඇවිල්ලා සමාජ ජීවියෝ. අපිට මුළු ජීවිත කාලෙම තනිවෙලා ඉන්න බැහැ.  මේ නිසාම අපි කාලෙන් කාලෙට ජීවිතේට එක එක පුද්ගලයන් ලං කර ගන්නවා.  වසනාවත්න ඇත්තෝ ඒ ලං කරගන්න අත්තන්ව ජීවිත කාලෙම ලඟින් තියාගන්නවා. නමුත් සමහර විටදී ඒ ලංකර ගන්න අය  අපිව දාල යනව. එහෙම නැත්තන් අපි ඒ අයව දාලා යනවා 
සමහර විටදී කාර්යබහුල බව හින්දා මේ ගොඩනගාගන්න සම්බන්දතා අත ඇරිලා යනවා. හරියට අපේ ඉස්කෝලේ යාළුවො වගේ. අපි ඉස්කෝලේ කාලේදී ඇති කරගත්තු යාළුකම් ඒ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි කීයෙන් කීදෙනාටද? විශේෂ හේතුවක් නැතුව මඟ අරුණු සම්බන්දතා ගැන අපිට අපිටම දොස් පවර ගන්න පුලුවන්ද? 

මගේ ඉස්කෝලේ කාලේ යාලුවෝ ඇති කරගන්න එක මට ලොකු ගැටළුවක් වෙලා තිබ්බා. විශේෂයෙන්ම පුංචි පන්තිවලදී. දැන් කල්පනා කරනකොට හුඟාක්ම ලොකු පන්ති වලට එනකම් මට 'හොඳම යාලුවෙක්' කියන්න කෙනෙක් හිටියේ නැහැ. මට මතකයි අවුරුද්දේ ඉස්ස ඉස්සලම අලුත් පන්තියකට යනකොට තාත්ත මට විශේෂ දේවල් දෙනවා පන්තියේ බෙදල අලුත් යාළුවො හදාගන්න කියල. තුනේ  පන්තියේදී විතර තාත්තා මට පෙට්ටියක් පුරවලා චීස් කෑලි  දුන්නා (අපි හැමදාම චීස් බටර්   කන්න තරම් පැලැන්තියක අය  නෙවේ). ඒ චීස් ඔක්කොම මට තනියම කන්න වුනු බව තාත්තා අදටත් දන්නේ නෑ. පුංචි පන්ති වලදී මම අපිරිසිදු ළමයෙකුත් නෙවෙයි, ඔතැනි  ලමෙකුත් නෙවෙයි, අදක්ෂ ලමෙකුත් නෙවෙයි. ඒත් මටම හිතාගන්න බැරි හේතුවකට මට කිට්ටුම යාලුවෙක් හිටියේ නෑ.
 
ලොකු පංති වලට එද්දී කණ්ඩායම් වලට ඇතුළු වෙනකොට එක එක යාලුවෝ හිටියා. ඒ අය බොහෝවිට යාළුවො වුනේ මම එහා පැත්තේ පුටුවේ වාඩි  වෙලා ඉන්න  නිසා. එහෙම නොවුනා නම් මම බොහෝ විට ඒ කණ්ඩායම් වල කෙනෙක් නොවෙන්න තිබ්බා. උසස් පෙළ පන්තියට එද්දී යාළුවො වුවමනා වෙන හේතු වෙනස් උණා. කෑම බෙදාගන්නවට වඩා මාව තේරුම් ගන්න පුළුවන් යාළුවො මට ඕනේ උණා. ලඟින් යන අදහස් තියන අය හිටිය. ඒ අය  හොඳම යාළුවො උණා. ඒත් හිත ඇතුලෙන් කොයි කණ්ඩායමටත් මාව නොගැලපෙන බව මට  දැනුනා. සීයයට සීයක් ගැලපෙන යාලුවෝ කාටද හම්බ වෙන්නේ?

 
රස්සාවල් කරනකොට මුණගැහුණු අයගෙන් බහුතරයක් පාප මිත්‍රයෝ. ඒ සමහර දෙනෙක් යාලුකම් ඇතිකර ගත්තේ බොහොම ආත්මාර්ථකාමී හේතු වලට.කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල තමයි.සමහරු කිට්ටු වෙන්නේ ඇයි  කියන එක තේරුම් ගන්න බැහැ. මම පලවෙනි රස්සාව කරන්න ගත්තේ අවුරුදු 20ක් වෙන්නත් කලින්. ඒ කාලේ මිනිස්සු අදුනගන්න තරම් අත්දැකීම් නැහැ. හැමෝම ඉස්කෝලේ වගේ ඇති කියල හිතාගෙන කරපු දේවල් වලින් හොඳ පාඩම් ඉගෙන ගත්තා. අන්තිමට රස්සාව එපා කියල ගෙදර ආවා. දැන් හැරිලා බලනකොට හිතෙනවා ඒ කාලේ කොච්චර බොලඳද කියල. 

අවුරුදු 21ක් විතර වගේ කාලේ වෙනකොට මම තේරුම් අරන් හිටියා මම කවදාවත් කණ්ඩායමකට අයිති වෙන කෙනෙක් නෙවෙයි බව. ඒක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.  ඒත් මම හොඳටම බයෙන් හිටියේ මට කවදාවකවත් මාව තේරුම් ගන්න පුළුවනකම තියන යාළුවෝ මට මුණ නොගැහෙයි කියල. 

කාලයත් එක්ක අපි ඔක්කොම වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ධර්මය. මම  පිළිගන්න අකැමැතිමත් මේ ධර්මයම තමයි. අවුරුදු 18ක් වගේ කාලේදී මාව හොඳින්ම තේරුම් ගත්තා කියල මම හිතන් හිටපු මිත්‍රයන් මේ වෙනකොට මාව තේරුම් ගන්නව කියන එක මම හිතන්නේ නෑ. ඒ වගේම ඒ අයව ඒ කාලේදී වගේ මටත් තේරුම් ගන්න බැහැ. අපේ ජීවන රටාවල් වල වුනු වෙනස්කම් නිසා, එක එක හැලහැප්පීම් නිසා අපි වෙනස් මිනිස්සු වෙලා. ඒ වෙනස්වීම එක වෙලාවකට හිත පාරවනවා. 

මම මේ ගැන තනියම ඉන්නකොට ඉබේටම කල්පනා වෙනවා...

මට හිතෙන්නේ එක එක කාලේදී අපි කිට්ටු කරගන්නේ අපිට සමාන අත්දැකීම් තියන පිරිසක් කියල. ඒ අපිට සමාන සිදුවීම් වලට මූණ දුන්නු අයට  අපිව තේරුම් ගන්න පුළුවන් කියල අපි විස්වාස කරන නිසා. පහුගිය දවස් වල රැකියාව සම්බන්ද ප්‍රශ්න ගොඩක් ඇතිවුනා. මම යාලුවෝ කීප දෙනෙක් එක්කම කතා බහ කළා. වරු ගණන් කතා කලත් ඒ අයට මාව තේරුම් ගන්න පුළුවන් වුනා කියලා මට දැනුනේ නැහැ. අඩු තරමේ හැමදාම ලඟින් ඉන්න පවුලේ අයටවත්. එත් ඊයේ මාත් එක්කම ප්‍රශ්න වලට මූණ දුන්නු කීපදෙනෙක් මට මුණගැහුනා. ඒ අය  එක්ක ප්‍රශ්න කතා නොකලත් මට ලොකු සැනසීමක් දැනුනා. තමන්ව තේරුම් ගත්ත කියල හිත තේරුම් ගන්න විදිය හරි පුදුමයි.

මේ වෙනකොට මම 'මිත්‍රයෝ' ගැන තේරුම් ගත්තු කාරණා කීපයක්  තියනවා.ඒවා මගේ අත්දැකීම් මත පදනම් වුනු ඒවා නිසා බොහෝවිට මට විතරක් පොදු දේවල් වෙන්නත් පුලුවන්.

1. තමන් තමන්ව හොඳටම තේරුම් නොගෙන වෙන කෙනෙක් තමන් තේරුම් ගන්නකම් බලන් ඉන්න තාක් කල් හොඳම යාලුවා කියන්නේ මිත්‍යාවක්!  වෙන කෙනකුගෙන් හොඳම යාලුවෙක් හොයන එක තේරුමක් නැති  වැඩක්.තමන් තමන්ගේ හොඳම මිත්‍රයා  වුනු දවසට අනික් මිත්‍ර සම්බන්ධතා වල අගය හරියටම තේරුම් ගන්න පුළුවන්. 

2. කල්ලියකට ගැලපෙන්න බැරි වුනාට ජීවිතේදී තමන්ට ගැලපෙන මිත්‍රයෝ මුණගැහෙනවා. ඒ අය ගණනක් විදියට පොඩ්ඩක් උනත් මහමෙරක් විදියට වටිනවා. ධම්මපදේ කියනවා වගේ "තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින් නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.සහායට බාලයෙකු නො ගත යුතු ය." ගත්තොත් පසු තැවෙන්නට සිදුවෙනවාය. 
 

3. කාලෙත් එක්ක අපි සම්බන්ධතාවයකින් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙනවා. අපි ඉස්සර දුරකථන අංකයක් මිලදී ගන්න එකෙන් බලාපොරොත්තු වුනේ ලාබෙට දුරකතන ඇමතුම් ගන්න. පස්සේ ලාබම sms package එක. දැන් ලාබම data plan එක. මිත්‍ර සම්බන්දතාත් මේ වගේ තමයි. 

මම ජීවිතේ වැඩිපුරම බය කාරණා වලින් එකක් තමයි මේ තුන්වෙනි කාරණය. ඉස්කෝලේ කාලේ මග අරුණු යාළුකම් වගේ දැනට පවතින යාළුකමුත් කාලයක් ගතවෙද්දී 'මග අරුණු යාළුකම්' බවට පත්වෙයි ද කියල. හොඳටම බය හිතෙන්නේ ඒ යාළුකම් මඟ ඇරුනා කියල මට කනගාටු නොහිතෙවී කියලා. 

මේ ගැන දැනට ඉන්න කිට්ටුවන්තම යාලුවෙක් එක්ක කතා කරද්දී මගේ බය  දුරටම අඩුවුණා. ඒ නිසා යාලුවෝ ගැන මගේ කාරනා ලැයිස්තුවට තවත් කාරනාවක් එකතු කරන්න පුලුවන්.

4. කාලයත් එක්ක අපේ ප්‍රශ්න වෙනස් වෙන බව ඇත්ත. අවශ්‍යතා වෙනස්වෙන බව ඇත්ත. මේ නිසා මිනිස්සුන්ට සම්බන්දතා මග ඇරෙන බවත් ඇත්ත. හැබැයි  ඒ මිත්‍ර සම්බන්දතාවේ දෙපාර්ශවයම මේ වෙනසට අනුව හැඩගැහුනොත් මිත්‍ර සම්පත්තිය දිගටම පවත්වාගෙන යන එක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මිත්‍ර සම්බන්දතා මග ඇරෙන්න හේතුව ජීවිතේ සංකීර්ණ වීම නෙවෙයි, ඒ සිදුවන වෙනසත් එක්ක එක පාර්ශවයක් වෙනස් වෙන්න දක්වන අකමැත්ත. 

ඉතින්, අපි අවශ්‍යතාවයේ හැටියට sms, call minutes, data  plan  දෙන mobile service provider  කෙනෙක් වගේ වුනොත් sim මාරු කරනවා වගේ යාළුවො මාරු වෙන එකක් නැහැ.  

6 comments:

  1. ටිකක් එකගයි...
    මිත්‍ර ප්‍රතිරුපකයෝ වැඩි සමාජේ කල්යන මිත්‍රයෝ ඕනි තරම් ඉන්නවා..හැබැයි අපි කිසිම කෙනෙක් අංගසම්පුර්න නෑ..හැමෝ අතින්ම වැරදි අඩුපාඩු වෙනවා.එක අපි තේරුම් ගන්න ඕනි යාලුවෝ අසය කරන්න කලින්..එයාගේ අතින් මට එහෙම අඩුවක් උනා නම් මගේ අතින් නොදැනුවත්ව කොච්චර ලොකු වැරදි වෙලා ඇද්ද කියල ගොඩදෙනෙක් හිතන්නේ නෑ..දැන් එකට කියන්න එපා ඒවා නොහිත වෙන දේවල් කියල මොකද අනිත් මිනිහටත් නොහිට ඒ දේ උන කියල මම අනිත් පැත්තට කියනවා..
    කෙනෙක් ව අසය කරද්දී එයාගේ හොද ගතිගුණ මතක තියාගන්නවා වගේම වැරදි හිතේ තියාගන්න එයාගෙන් කොඉ වෙලේ හරි තමන්ට ඒ වෙරෙද්ද වෙඉ කියල බලාපොරොත්තුවෙන් ඉන්න එටකොට හිත රිදීම් වෙන්නේ නැ..
    මම ඉස්කෝල 2කකත ගිය එකෙක්.
    1 5 සිකොලේ ගොඩදෙනෙක් අදටත් හොද යාලුවෝ කෝල් කරලා දුක සැප අහන ඉදහිට බලන්න එන යාලුවෝ උන්
    ඒවගේම අනිත් ඉස්කෝලේ උන් නිතරම ලග ඉන්නඋන් කිසිමහිත් රිදවගනිමක් නැතිව අසය කරන්න නම් ඕනිම මනුස්සයෙක් ගේ වෙරෙද්දක් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න හොද යාලුවෝ එටකොට නිතරම වටේ ඉදි

    ReplyDelete
    Replies
    1. හොඳ යාළුවො ගොඩක් ඉන්නවා. එත් හොඳම යාළුවො ටිකයි නේද? ඒ හොඳම යාලුවත් කාලෙන් කාලෙට එක එක අය .නැද්ද?

      Delete
  2. ඇත්ත කථාව, ගොඩ දෙනෙක් ඇසුරු කරන්නේ ලාබ ප්‍රයෝජන ලබාගැනීමටයි.
    http://sinhalabloggala.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඒ අය අතරේ අපිට අවංකම ආදරේ අයත් නැතිවම නෙවෙයි

      Delete