Friday, March 18, 2016

හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද?

තාජුදීන්ගේ මරණ අභිරහස දැන් කාලයක ඉදන් ප්‍රවෘත්ති වල පෙරලි කරනවා, ඒත් මේ වෙනකොටත් අරයට මෙයාට ඇඟිලි දික් කරනවා මිසක් වගකිවයුතු කෙනෙක් නීතියට යටත් කරගෙන නැහැ. මේ ලංකාවේ නොවිසිදුනු අපරාධ විශාල ප්‍රමාණයකින් එකක් විතරයි.

වැරදි කරන අයට නීතියෙන් හැමවිටම දඬුවම් ලැබෙනවද? නීතියෙන් ගැලවෙන හැටි දන්න, නීතියෙන් ගැලවිලා අපරාධ කරගෙන යන හැටි දන්නා දක්ෂයෝ ඕනේ හැටියට තමන්ගේ වැඩ කරගෙන යනවා. ඒත් මේ අයට තමන්ගේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද? 

මේ ගැන කතා කරන අපුරු චිත්‍රපටියක් තමයි The Machinist. මනෝවිද්‍යාත්මක ත්‍රාස කතා බලන කෙනෙක් නම් මේ චිත්‍රපටිය මග හැරිලා තියෙන්නට බැහැ. 2004 දී තිරගත වුනු මේ කතාව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම චිත්‍රපටියක් විදියට තමයි විචාරකයෝ හඳුන්වන්නේ. අවුරුදු 12ක් පරණ වුනත් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක්. (මෙම රීතියේ චිත්‍රපටි වලට කැමති අයට)



ද මැෂිනිස්ට් ගැන කතා කරන කොට මුලින්ම අවධානය යොමු වෙන්නේ එහි ප්‍රධාන නළුවා වන ක්‍රිස්ටියන් බේල් ඒ චරිතය වෙනුවෙන් හැඩගැහෙන්න කරන පෞද්ගලික කැපකිරීම. එය හොලිවූඩ් ඉතිහාසයේම දක්නට ලැබෙන විශිෂ්ටතම කැප කිරීම් වලින් එකක්.  ඔහු මේ චිත්‍රපටය සඳහාම ඔහුගේ සිරුරේ බර කිලෝ 30ට ආසන්න ප්‍රමාණයක් අඩුකරගන්නවා. කතාව පුරාවට ඔහුගේ ඇට ගැහුණු සිරුර දිහා බලා  ඉන්නට පවා අසීරුයි.


මෙහි කතා නායකයා, Trevor Reznik,  අවුල් ජාලාවක පැටලුන අයෙක්. ඔහු වසරකට අධික කාලයක් තිස්සේ හරියාකාරව නින්දක් නැති කමින් පීඩා විඳිනවා. ඒ නිසාම, බලාගෙන ඉඳිද්දී ඔහුගේ සිරුර වැහැරිලා යනවා. අනිත් අයට නොපෙනෙන දේ පෙනෙන්නට ගන්නවා. මුළු ජීවිතේම උඩු යටිකුරු වෙනවා. මේ සියල්ලටම හේතුව වෙන්නේ ඔහු පලායන්නට උත්සහ කරන වරදකාරී හැගීමක්.  මුලදී ඔහුටත්, නරඹන්නන්ටත් මේ විරියාසය ගැටළුවක්. නමුත් අවසානයේ ගැටලුවට හේතුව පැහැදිලි වන විට Reznik තරමටම නරඹන අයත් කම්පනයට පත්වෙනවා.


අවස්ථාවෙන් පලා  ගියත්. නිතීයේ රැහැනට අසු නොවුනත් වරදකාරී සිතුවිල්ලකට මිනිසෙකුගේ සිතක් කොතරම් අවුලෙන් වියවුලට පත් කරන්නට පුලුවන්ද? මේ කාරණය කතාව පුරාවට අපුරුවට පැහැදිලි වෙනවා. එංගලන්තයේ Royal  College  of  Psychiatrists හි  මනෝචිකිත්සකයෙකු චිත්‍රපට විචාරය කදී පෙන්වාදෙන්නේ Reznik ගැලවී යන්නට උත්සහ කරන යථාර්තයම ඔහුගේ යටි හිත විසින් මායාකාරී ලෙස ඔහුව කොටු කරගන්නා බවයි.



Reznik අතින් සිදුවන වරද ඔහු කලින් සංවිධානය වී සිදුකරන්නක් නොවෙයි. ඔහුගේ අත්වැරදීමක් නිසා සිදුවන්නක්. නමුත් ඒ සිදුවීමේ ප්‍රතිවිපාක වලින් පැනයන්නට කරන උත්සාහය නිසා ඔහුගේ සිත ඔහුට අවශ්‍ය දඬුවම් ලබා දෙනවා. චිත්‍රපටි කතාවක් උනත් මෙය සිදුවිය නොහැකි දෙයක් නොවෙයි. බුදුදහමේ හෝ මනෝ විද්‍යාවේ පැහැදිලි කෙරෙන විදියට  සිතට මෙවැනි බලපෑම් ඇති කළ හැකියි.


ඔබේ අතින් සුලුවරදක් වී එය සඟවා සිටින විට ඇති වන අපහසුව සිතන්න. ඉතින්, විශාල වරදක් සිදු වුනු විටකදී, පිටත ලෝකයට කෙලෙස පෙනී සිටියත්, ඔබේ සිතෙන් ඔබට ගැලවෙන්නට පුළුවන් වේවිද?





 

10 comments:

  1. වැරද්දක් කියල දැනගෙන වැරැද්ද කලොත්, තමා කලේ වැරැද්දක් කියලා තමා හිතනවානම් මේ වගේ පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. ඒත් තමා කලේ වැරැද්දක්ය කියල නොතේරෙනව නම් ඕනෑම ජඩ වැඩක් කරලා සිතේ සංතෝසෙන් මිය යන්න පුළුවන්. බලමුකො ඒකෙත් හැරි නේද?

    ක්‍රිස්ටියන් බේල් මගේ ආසම නලුවෙක්. එයාගේ හොඳයි කියල සැලකෙන චිත්‍රපට වලින් බලලා නැත්තේ මේක විතරයි. වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්ටියන් බේල් සුපිරි. මට හැමතිස්සෙම නම අමතක වෙනවා. මතක් වෙන්නෙම බෘස් වේන් කියල. මේ චිත්‍රපටිය කොහොමහරි බලන්න. ඊට පස්සේ American Hustle බලන්න ඇඟේ වෙනසට

      Delete
    2. American Hustle බැලුවා. බැට් මෑන් රඟපෑවට පස්සෙ මෙයා රඟපෑවා Fighter කියන චිත්‍රපටයේ. ඒකේ ඉන්නේ මත්ලෝලියෙක් විදියට. ඒ චරිතයට හොඳම සහය නළුවා ඔස්කාර් සම්මානය දිනාගත්තා. මගෙත් ප්‍රියතම නලුවෙක්

      Delete
  2. ක්‍රිස්ටියන් බේල් දක්ෂ නළුවෙක් තව රෙස්කිව් ඩෝන්, ඉක්විලිබරියම් එහෙමත් හොඳ ෆිල්ම්.

    ReplyDelete
    Replies
    1. Rescue Dawn පට්ට !

      Delete
    2. Fighter, Equilibrium බැලුවා. Rescue Dawn බලල නෑ. එකත් බලන්න ඕනේ එහෙනම් :)

      Delete
    3. Rescue Dawn එකේ චරිතය පණුවෝ කන සීන් එකක් තියෙනවා. ඒ දර්ශනයේදී බේල් ඇත්තටම පණුවෝ කෑවා කියල මම කියෙව්වා. චරිතය වෙනුවෙන් සෑහෙන කැපවෙන නළුවෙක්.

      මීට වඩා අන්තයි මෙතර්ඩ් ඇක්ටර්ස් ලා [මෙතර්ඩ් ඇක්ටර් කෙනෙක් නෙමේ]

      මෙතර්ඩ් ඇක්ටින්(Method Acting) කියන්නේ චරිතය රඟපාන නළුවා චිත්‍රපටය රූපගත කරන සම්පූර්ණ කාල සීමාව තුළ තමා රඟපාන චරිතයේ ඉන්න එක. ඒ කියන්නේ චරිතයෙන් එළියට එන්නේ නැහැ සම්පූර්ණ කාලය තුළම. සහ නළුවා චරිතයේ වටපිටාවට හුරු වෙන්න ඇත්තටම ඒ වගේ ජීවත් වෙනවා. තමාගෙ මනසින් චරිතය තේරුම් ගැනීමේ අරමුණින්

      මෙතර්ඩ් ඇක්ටින් වලට ප්‍රසිද්ධම රොබර්ට් ඩී නීරෝ සහ ඩැනියෙල් ඩේ ලුවිස්.

      ඩැනියෙල් ඩේ ලුවිස් කියන්නේ මානසික රෝගියෙක් වගේ පෙනෙන්නේ චරිතය වෙනුවෙන් කරන කැපවීම දැක්කාම

      ඩේ ලුවිස් කියන්නේ වැඩිම වාර ගණනක් හොඳම නලුවාට ඔස්කාර් සම්මාන ගත්ත නළුවා (තුන් පාරක්)

      ලුවිස් ගේ My Left Foot චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ වම් කකුළ පමණක් හොලවන්න පුළුවන් පුද්ගලයෙක්ගේ චරිතයක්. ඔහු මේ චරිතය රඟපාන මුළු කාලසීමාවේදීම එකම ඉරියව්වෙන් රෝද පුටුවේ ඉඳලා තියෙනවා. කොටින්ම රූප ගත කරන දර්ශන තල වල වයර් උඩින් ඔහුව එහා මෙහා ගෙන යන එක සෑහෙන අමාරු කරදරකාරී වැඩක් වුනාලු. ලුවිස් ට ඕන වෙලා තිබුනලු ඒ මාස ගණන තුලඣු නිසා අනිත් අය විඳින කරදර හේතු කරගෙන ඔහු ගැන තියෙන අකමැත්ත ඇත්තටම අත්විඳින්න. මොකද රෝද පුටුවක ඉන්න කෙනෙක්ගේ සැබෑ අත්දැකීමක් ඒක.

      ඊළඟට In the name of the Father චිත්‍රපටයේ ලුවිස් සිරගත වෙච්චි චරිතයක් රඟපාලා තියෙන්නේ. එතනදි ලුවිස් ඇත්තටම දවස් ගාණක් සිර කූඩුවක ඉඳලා තියෙනව. සහ ඔහුට වතුර ප්‍රහාර එල්ල කරන්න කියලා ලුවිස් බල කලාලු, සිරකාරයෙක් ගේ අත්දැකීමම ඔහුට විඳින්න ඕනෑය කියලා

      There will be blood චිත්‍රපටය රඟපාද්දි වියළි ප්‍රදේශ වල ඉන්න අත්දැකීම ගන්න ඔහු මාස ගාණක් තනියෙම වියළි ප්‍රදේශ වල ජීවත් වුනාලු.

      Gangs of newyork චිත්‍රපටය රඟපාද්දි අධික සීතල දර්ශන තල වල රඟපාල ලුවිස්ට සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා. නමුත් ලුවිස් බේත් ගන්න එක ප්‍රතික්ශේප කරල, මොකද 18 වන ශතවර්ශයේ ඒ ලෙඩේට බේත් තිබුනෙ නැති නිසා. අන්තිමට නිව්මෝනියාව හැදෙන්න ගිහින් අනූ නමයෙන් බේරිලා තියෙන්නේ.

      ලුවිස් ගේ ඔය වගේ උන්මත්තකයෙක්ට සමාන වැඩ තවත් ගොඩක් තියෙනවා. ලියන්න ගියොත් දිග වැඩියි.

      අන්තිමට ඩි නීරෝ ගැනත් යමක් එකතු කලොත්, ක්‍රිස්ටියන් බේල් ඔහුගේ චරිත වෙනුවෙන් ශරීරය වෙනස් කරගන්නේ චිත්‍රපටයෙන් චිත්‍රපටයනෙ

      රොබර්ට් ඩී නීරෝ ගෙ The Raging Bull චිත්‍රපටයේ ඩි නීරෝ රඟපාන්නේ මුලින් හොඳට ඉඳල පසුව අධික ආහාර ගැනීම නිසා අසීමිත ලෙස තරබාරු වෙන බොක්සින් ක්‍රීඩකයෙක්ගේ චරිතයක්.

      මේ චිත්රපටය පටන් ගද්දි ඩි නීරෝ ඉන්නේ සික්ස් පැක් එකක් තියෙන බොක්සින්ග් ක්‍රීඩකයෙක් විදියට. ඉවර වෙද්දි අඳුර ගන්නත් බැරි තරබාරු මනුස්සයෙක් විදියට.

      ඩි නීරෝ කරල තියෙන්නේ චිත්‍රපටය රූගත කරන්න කලින් ව්‍යායාම කරලා ඇඟ හදාගෙන රූගත කරන අතරතුර අධික ලෙස ආහාර අරගෙන අන්තිම කාලයේ තරබාරු වෙන එක. ඒ රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම නලුවට ඔස්කාර් සම්මානය දිනාගත්තා.

      මේ ලෝකයේ බිහි වෙච්චි ශ්‍රේෂ්ඨම නලුවන් දෙන්නෙක්. ඔවුන් රඟපෑම කියන එක කොච්චර සීරියස් ගන්නවද කියලා දැක්කම ඉතින් පිස්සු හැදිලා ආයෙත් හැදෙනව :)

      Delete
    4. නොදන්නා කරුණු ගොඩක්! ස්තුතියි ගොඩක්!

      ලුවිස් ගැන අහල තිබුනේ නැහැ. ඩී නීරෝ මගේ තවත් ආසම නළුවෙක්. රඟපෑම් හරිම අව්‍යාජයි.

      Delete
    5. පෝස්ට් එක ගැන කියන්න දෙයක් නැතත් කොමෙන්ට් වලිං නං සෑහෙන දෙයක් දැන ගත්ත.. හෙහ්...

      Delete
  3. ඔය සදහන් කරල තියෙන එකම ෆිල්ම් එකක් වත් බලල නෑ කියන්න ලැජ්ජ නේනෙ නෑ සමහර විට අහුවෙලා නැති හින්ද වෙන්න පුලුවං නැත්තං ඇත්තටම ඔය ශානරයට අකමැති වෙන්න පුලුවං මට සයිකො වුණත් ඒ තරං දිරෙව්වෙ නෑ..

    බෘෘස් වේන් ගැන කියද්දි මට මතක ්වෙන්නෙ ජෝකර්ව.. ඒක කුඩු ගහල මමැරිල ගියෙ නැත්තං උට ගහන්න එකෙක් නෑ

    ReplyDelete