Wednesday, August 20, 2014

පෙරළුණු රළ

එදා මට හිතුනේ 
මහ මුහුද තරම් 
ලස්සන තව තැනක් 
මහ පොළොවේ වෙනනම් 
නැහැයි කියලා ...

හීතල හුළඟට 

දාඩිය නිමෙනවා
රැල්ල පාගනකොට
මගේ හිතත් නිමෙනවා ...
 

මහ දවල් අවුවට පාර මැද්දෙත්
පේනවා මහ මුහුද

ඒ දවස් වල තනියම හිනා මට
දැන් නම් ඒ අව්වට
පිච්චිලා යනවා මාව.


එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා
ඊළඟ රැල්ලටම  

ඒ නම් මැකිලා යද්දී 
හිතන්න තිබ්බා අපිට
සතුට කොහොමත් 

දුකට පෙරළෙනවා කියලා.

මිරිඟුව පෙනී පෙනී 
ගිනි අවුවට පිච්චේනකොට
වෙලාවකට මට හිතනවා
වැල්ලේ නොලියා අපි නම්
කළුගලක කෙටුවනම් කියලා...


Wednesday, August 13, 2014

අපේ පාරේ මන්ත්‍රීතුමා

මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය
සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය
මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය
පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේය

යන එන මඟදි  හමුවෙන දායක රෑන
දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය
ඒ මඟ දෙපස කුණු වෙන  කැළි - කසල ගොඩ 
ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නද

සහචර පිරිස ඩෙංගු බලන්නට එනවා
වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා
පාරේ පල්  කාණු නොපෙනී යනවා
ලබන සැරෙත් මන්ත්‍රීට චන්දය දෙනවා

ටෙන්ඩර  බෙදන  දායකයනට නොමසුරුව
ඔහු උතුමෙක්ය  කලගුණ අමතක නොවෙන 
පාරේ ගොඩ ගැහෙන කඳු කඳු කුණු නොදැක්කට
වගපල කියන එක නම් හොඳ මදි නේද



Thursday, July 31, 2014

ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත...


චිත්‍රය : www.nation.lk

සුරංගීට දුක සිතුනේ   බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස්  මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත්  දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ  පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස්  අදට වසර විසිපහකි. "අම්මා කියන විදියට මේ ගීතය ලියලා තියෙන්නේ මං   වෙනුවෙන්. ඒ අවදියේදී මගේ කන විදලා තිබිලා නැහැ. මට මතකයක් නැතත්  කරනවා ඔහු ඉදිරියට සිදුවන්නට තිබෙන සිදුවීමක් ගැන මවා ගනිමින් මේ  සින්දුව ලියන්නට ඇති කියලා," සුරංගී තම නැසී  ගිය පියාගේ මතකයන් අවදි කළාය.

 


සමරවීරගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේ 1947 ජුනි 3 වනදා කොළඹදීය. ඔහුගේ පියා සයිමන් ද අල්විස් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වූ අතර කොළඹ මාලිගාකන්දේ පදිංචිව සිටි ඔහු ප්‍රථමික අධ්‍යාපනය මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් හදාරා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. ආනන්දයේ දීප්තිමත් සිසුවෙකු වූ ප්‍රේමකීර්ති, ආනන්දය නම් පාසල් පුවත් පතෙන් සිය දස්කම් විදහා දක්වන්නට විය. 1961 වසරේදී ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකර මහතා මෙහෙය වූ ළමා වැඩසටහනකට සම්බන්ධ වුනු ඔහු 1967 වන විට එහි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන්නට විය. 1971 වන විට ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ නිත්‍ය සේවකයෙකි.1989 දී ඝාතනයට ලක්වන විට ඔහු  ප්‍රතිභාපුර්ණ නිවේදකයෙකු, කථිකයකු, කවියෙකු මෙන්ම ගීත රචකයකු ලෙස මහජන ප්‍රසාදයට ලක්ව සිටියේය. ඔහුගේ වියෝවෙන් වසර 25කට පසු තවමත් ඔහුගේ නිර්මාණ නිබඳවම පැසසුමට ලක්වීමම ඔහු කෙරේ ජනතාව තුල තිබුණු ප්‍රසාදය මොනවට පෙන්නුම් කරයි.

ඔහුගේ දියණිය සුරංගි, පියා ගැන  කරත්ම පැවසුවේ තමන් සහ තම පියා ශාරීරිකව එකිනෙකාගෙන් දුරස්ථව සිටියද කිට්ටු මානසික බැඳීමක් තිබුණු බවයි. "මට මතක ඇති කාලයේ ඉඳන්ම මගේ අම්මයි තාත්තයි එකිනෙකාගෙන් වෙන්වෙලයි ජීවත් වුණේ. තාත්තාව මට මතකයට නැගෙන්නේ මාව නිතර බලන්න ආවගිය ආගන්තුකයෙක් වගෙයි. ඒ වගේ ආව ගිය අවස්ථා වලදී සිදුවුණු සිදුවීම් කීපයක් ඇරෙන්න මට තාත්තා පිලිබඳ ලොකු මතකයක් නැහැ. ඒ වගේ අවස්ථාවල මාව එලියට එක්කගෙන යනවා. ගෝල්ෆේස් වගේ තාත්තා ආස කරන තැන කිහිපයක් තිබ්බා. මේ තැන්වලට එක්කරගෙන ගියහම තාත්තා නිකම් හිටියේ නැහැ. ඒ තැන  පිලිබඳ විස්තර කතා රාශියක් කියනවා.ඉන් පස්සේ ආපහු ඇවිත් මාව ගෙදරින් බස්සවලා  යනවා."

ප්‍රේමකීර්ති ඝාතනයට ලක්වන විට සුරංගීට වයස 16කි. "මම  සාමාන්‍ය පෙළ පන්තියේ හිටියේ. ජීවිත තර්ජන තිබුණු බව මම දැනගෙන හිටියා. මට මතකයි තර්ජනය කරලා එවපු ලියුම් අම්මාට  පෙන්නවා. නමුත් ඔහු බයෙන් හිටියේ නෑ . කවුරුහරි ඇවිත් තමන්ට කරදරයක් කරන්න උත්සහ කලොත් එක කතා කරලා විසඳගන්න තමන්ට හැකියාව තියෙනවා කියල ඔහු විස්වාස කළා. කතා කරලා මිනිස්සු තමන්  නම්ම  ගන්න තාත්තිට අපුරු හැකියාවක් තිබුණා," ඇය  පවසන ආකාරයට බොහෝ ගුවන්විදුලි සේවකයන්ට මෙන්ම ප්‍රේමකීර්තිටද භීෂණ සමයේ නිරන්තර මරණ තර්ජන එල්ල වී ඇත. "මේ ගැන කියනකොට තව දෙයක් සඳහන් කරන්න ඕනේ. දෙන්නෙක්  දික්කසාද වුනාම  ඒ දෙපල එකිනෙකා එක්ක වෛරයෙන් ඉන්නවා කියලයි ලෝකයා හිතාගෙන ඉන්නේ. නමුත් මගේ අම්මයි තාත්තයි එකිනෙකාට සුහදව හිටියා. තාත්ති නැවත විවාහයක් කලින් මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා ඒ දෙදෙනා නැවතත් එකතු වේවි කියලා. මම කුඩා කාලයේදී ඒ ගැන හීන  මැව්වා," ඇය  තම කුඩා කාලයේ බිඳවැටුණු බලාපොරොත්තුවක් ගැනද සඳහන් කළාය.  

ඝාතනය කරන්නට පළමු දිනයේද ප්‍රේමකීර්ති සුරංගී දැක   බලා යන්නට ඇවිත් ගොස් තිබිණි. "30 වෙනිදා  උදෙත් තාත්ති අපේ ගෙදර ආවා. ඒ  හිටියේ හෝමාගම. ඔහු හිටියේ  මහරගම. ඒ දවස් වල කලබල නිසා කොහොමත් ඉස්කෝල වහලයි තිබ්බේ. එදා මගේ සුරතල් බල්ලට අසනීපෙන් හිටියේ. තාත්තා  බලලා හවසට ඌට  බෙහෙත් අරන්දෙන්න එන පොරොන්දුව පිටයි  එයා ගෙදරින් ගියේ. හැබැයි එදා ඒ ආව ගමනේ  තාත්ත ලොකු කල්පනාවක හිටපු බව මට තේරුණා. කල්පනාවක ඉදන්  කතා කරන බව මට දැනුනා. වෙනදාට ගෙදරින් යනකොට වාහනේ රිවර්ස් කරලා මට ඇත අත  වනනවා. එදා  තාත්තාට එකත් අමතක වුනා."


ප්‍රේමකීර්ති  ඝාතනයට කලකට පෙර  ලියා පල කල  කවියක් ඔහු තම අනාගතය  පිලිබඳ දැන  සිටියාදැයි සිතෙන තරමට ඔහුගේ ජීවිත අවසානයට සමානකමක්  දක්වයි. කවියේ මුල් පද වලින් කියවෙන්නේ කලාතුරකින් දියණිය බලන්නට එන තාත්තා කෙනෙකුන් ගැනය. එසේ කලාතුරකින් එන තාත්තාට දීමට දාස්පෙතියා මල් ටිකක් දියණිය කල් තියා අරන් තියාගෙන සිටියාය. කලකට පසු ආ තාත්තාට ආදරයෙන් දුන් මල් ඔහු තම සාක්කුවේ හොවාගෙන ආපහු යයි.


දාස් පෙති මල්
...
...
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි.


කවියේ සඳහන් දියණිය පරිද්දෙන් සුරංගී ද තම පියා සුරතලාට බෙහෙත් රැගෙන එන තුරු බලා ඉන්නට ඇත. "තාත්තාගේ ඝාතනය ගැන අපිට ආරංචිය අරගෙන ආවේ වික්ටර් අංකල්. මම නිදාගෙනයි හිටියේ. අම්ම කෑගහන සද්දෙට මට  ඇදෙන් බැස්සුනා. එත් එක්කම මට තේරුණා සිද්දවෙලා ඇත්තේ මොකක්ද කියල. ඒ යුගයේ අපි කොහොමත් ඔය වගේ ආරංචි ගැන බයෙන් හිටියේ. කොහොමටත් මුසල කාල වකවානුවක්. එතනින් එහාට වුනු දේවල් පිළිබඳව මට පැහැදිලිව මතක නැහැ. මතකයට නඟා ගන්නත් බැහැ."

තම පියාගේ නිර්මාණ කටයුතු පිළිබඳව ගැඹුරින් කතා කරන්නට අසමත් වුවත් පියෙකුගෙන් දියණියකට ලැබුණු වටිනා ඔවදන් කීපයක් පිළිබඳව ඇය  මතකය අවදි කළාය."ඉස්සර  මම  පුංචිම කාලේ, හැමදාම එනකොට තාත්තා පොතක් අරන් එනවා. ඒ ගෙනාපු හැම පොතකම මොනවා  ලියලා දීලා  යනවා යටින් තාත්තා කියලා අත්සන්  කරලා. මට ඒ දවස් වල අකුරු  කියවල  තේරුම් ගන්න බැහැ.  කියවන්න  පුළුවන් වෙනකොට තමයි තේරුනේ ඒ ලියල දීපු දේවල් කොයි තරම් .ලස්සනද කියලා. එකක ලියල  තියනවා 'ඔබ  යුවතියක් වන දිනෙක මම පස් ගොඩක් පමණි. ඒ පස් ගොඩ පාගන්න දුවේ...' කියලා."

"මම ඒ දවස්වල හරි අසයි පූස් පැටවුන්ට. තාත්ති මේ ගැන හොඳින් දැන ගෙන හිටියා. ඉතින් මට ගෙන පොත් ඒ වගේ  පින්තුර තියන පොත්.  මෙයින් එක පොතක පින්තුරේක තිබුනා පූස් පැටියෙක් කොස්සක් එක්ක  සෙල්ලම් කරන රූපයක්. ඒ යටින් තාත්තා ලියා තියෙනවා 'හිතවතුන් අතුගාන්න එපා දුවේ' කියලා. පුංචි කාලේ මම හිතුවේ තාත්තා මට පූසන්ට කරදර කරන්නට එපා කියලා ලියා තියෙනවා කියලයි," තම පියාගේ වදන් වල ගැඹුරු අර්ථය වඩාත් හොඳින් තේරුම් ගන්නට  තමන්ට හැකිවුයේ තමන් තරුණ වියට පත් වූවාටත් පසුව යයි ඇය පවසන්නීය. "මේ තෑගි දුන්නු පොත් තවමත් සුරැකිව තියනවා. මේවා තවමත් මගේ භාරයට  පත්වෙලා නෑ . තවමත් මේවා පරිස්සම් කරගෙන  තියාගෙන ඉන්නේ අම්මා."

සමහර විට මේ ලියපු දේවල් නැවත කියවන විට තාත්තා කොතරම් සංවේදී මනුස්සයෙක්ද බව   තේරෙනවා.සමහරක් විටක මට හිතෙනවා ඔහුට ඉදිරියේ සිදුවීමට ඇති දේ පිළිබඳව දැනීමක් තිබුනාදෝ කියල.  කොහොම වුනත් තවමත් තාත්තට ගරු කරනවා. ආදරය කරනවා. තවමත් ඔහු නිසා අපිට සැලකිලි ලැබෙන වෙලාවල් තියනවා. මේ වගේ තාත්තගේ දුව වීම පිළිබඳව නිහතමානි ආඩම්බරයක් තියනවා. නමුත් මම අද වනතුරු ඒ ආඩම්බරය මගේ වාසියට අරගෙන නැහැ. ඒ නමට කැළලක් වෙන විදියට නොහැසිරෙන්නයි මම උත්සහ කරන්නේ," සුරංගී කතා බහ අවසන් කරමින්  පැවසුවාය. 

ප්‍රේමකීර්ති 21 වන ගුණ සමරුව අළලා සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකට සුරංගී මෙසේ ලියා තිබුණි.


  හිස මුදුනත තැබූ රුවන් මලක් සේ
රැකගමි ඔබෙ නම පියාණනේ
නොකෙළෙමි වරදක් නොතබමි කැළලක්
එය මට කිරුළකි පියාණනේ
පිරිහෙන ගුණ දම් නසතිය මනු දම්
උගතිමි ඔබගෙන් පියාණනේ
ඔබ මට හිමි කළ බැබළෙන ඒ නම
මගෙ දරු සුරකිති පියාණනේ

~සුරංගි ද අල්විස්








Tuesday, July 29, 2014

ඇසිල්ල

සිනාසෙන විසල් දෑස්  ළඟ
මා දෑස  නතර විය
බර  වූ හදවත කඩා වැටී
පඩිපෙළ පාමුල  පතිත වීය

ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.

සිනාසෙමින්  පැමිණි ඔබ
මා හදවත අහුලා
දුලී කුණු පිස දමා
සිනාසෙමින්ම
මා වෙත පෑවේය

ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.

පඩිය පාමුල
මගේ හදවත
මටම පෑගී
තැලී පොඩිවී තිබුණි


Tuesday, July 22, 2014

අපි පරක්කු වුණා සුනිල් සර්



එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර්
ඇවිත් බලලා යන්න 
වැඩ ගොඩ උනා අතපහු උනා
මේ පාර නම් එන්නමයි හිටියේ
ආයේ සැරයක් කතාවක් අහල යන්න

විද්‍යාව විතරක් ඉගැන්නුවනම්
අමතක කරලා ඉන්න තිබ්බා
සර් ඉගැන්නුවේ ජීවිතේ
දහස් ගානකට ලෝභ නැතුවම
බෙදලා දුන්නේ ආදරේ

සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි
බෙදන්න තරම් ආදරේ ගොඩක්
සර්ට තිබුණු හන්දමයි
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ

එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා


සර් එදා හරක් හදවතේ
ඝනකම පෙන්නලා හිනා උනත්
සුරතලේට හදපු බැල්ල
අසනීපෙන් උන්නු වෙලේ
"බලන්න එපා එයා දිහා,
එයාට දුක හිතෙයි" කිව්වම
අදුනගත්ත අපි එදා
සර්ගේ හදවත කොයිතරම්
මෙලෙක්ද කියල

මනමාලයෙක් එන දවසේ
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු
අක්කා ගැන කියා කියා
වර්ගඵලය කියා දීලා
එක මොහොතෙන්
අක්කා මතක් කර කර
දුක් වෙන කොට
අපේ අක්කා හොඳ අක්කා කියනකොට
අපි දැනගත්තා සර්
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි
ඇවිත් යන්න එන්න හිටියේ

වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු උනා සර්

අවුරුදු ගානකට පස්සෙත්
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ
සර්ගේ රස පිරුණු විහිළු කතා
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා
අපි හිනා උනා සර්

ආයේ හිනා වෙලා යන්න
ඇවිත් යන්නයි හිටියේ
අනේ සුනිල් සර්
සර් ඉක්මන් උනා
අපි පරක්කු වුණා... 

Wednesday, July 9, 2014

බක බක :(





ගෙම්බෙක්මි වලක් නැති
සොයා යන මුදු වැල්ලක්
සැපට ඉන්නට
කපාගන්නට හොඳ වලක්

එහෙට පැන මෙහෙට පැන
හොඳ තැනක් හොයාගෙන
අමාරුවෙන් කැපුව වලෙත්
මේන් තඩි ගෙම්බෙක්

කැපුවොත් අපි වලක්
ගෙම්බෙක්නේ කවදටත් !







 

Thursday, June 26, 2014

සේකර මහත්තය ස්ටේෂන් එකේ දැකපු කාලේ ඔහුගේ ගීතයක් ගයන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ - සුනිල් එදිරිසිංහ

 
පින්තූරය: චන්දන විජේසිංහ www.nation.lk




අපි සියල්ලෝම සිහින දකින්නෝ වෙමු.   නමුත් අප දකින සිහින සැබෑ  කරගෙන ඒ පිළිබඳව උදම්  අනන්නට හැකි වන්නේ අප අතරින් අතලොස්සකට පමණකි. සුනිල් එදිරිසිංහයන්ද කුඩා අවදියේදී සිහිනයක් දුටුවේය. ඒ කවරදාක හෝ ගායකයෙක් වීමට ලැබේවා යන්නයි. ඔහුගේ සිහිනය සැබෑ වුවා පමණක් නොවේ. ඔහු එම සිහිනයේ හිනිපෙත්තටම නැග්ගේය; ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ ගායකයා වුවේය.  සිංහල ගීත රසවිදින සියල්ලන් පාහේ  ඔහුගේ කටහඩට ආසා  කරයි. ගීත වලට පෙම්  බඳියි. සිහින සැබෑ  කරගන්නට ඔහු පැමිණි මාවත දිගුය. ඒ සදහා විවිධ  කැප කිරීම් සිදුකිරීමට ඔහුට සිදුවිය. ඒ සඳහා අවශ්‍ය දක්ෂතාවද ඔහු තිබිම ඔහු ආමග පහසු කරවන්නක් විය. එම දක්ෂතාවය හදුනාගන්නට ඔහුට නිබඳව කලන මිතුරු ඇසුර ලැබුණු බව ඔහු පවසයි.  තමන් කරනා ඕනෑම දෙයක සාර්ථකත්වය කලණ මිතුරු ඇසුර,  සහජ දක්ෂතාව මෙන්ම කැප වීම මත තීරණය වන බව සුනිල් එදිරිසිංහයන් තරයේ  විස්වාස කරයි.  

සුනිල් එදිරිසිංහ උපන්නේ  කැලණිය, නුoගමුගොඩ ග්‍රාමයේය. 1959 වසරේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඇතුලත් වන ඔහු 1969 වසරේදී උසස් අධ්‍යාපනය නිමකර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙහි රැකියාවකට බැඳුනේය.  තමන්ගේ සාර්ථකත්වයට පවුලෙන් ලැබුණු සහය අපමණ බව ඔහු සිහි කරයි. "මගේ දෙමවුපියන් නිරතුරුවම කලාව අගය කරපු අය. මට මතකයි, මම කුඩා කාලේ අම්මා නිතරම කවි ගීත ගායනා කරනවා. ඇයට හරි අපුරු කටහඩක්  තිබුනා. මේ උනන්දුව නිසාම වෙන්න ඇති අපේ පවුලේ දරුවන්  සියලු දෙනාම කලාවට යොමු වුනේ." සුනිල් එදිරිසිංහ මහතා අට  දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයය. පිලිවෙලින් ඔහුගේ වැඩිමල් සහෝදර පී ඩී  එදිරිසිංහ පළමුවත්, ඉන් පසුව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාත් කළා ක්ෂේත්‍රයට ඇතුළු විය.

"මම පුංචි කාලේ, අක්ක සංගීත පන්ති යනකොට අක්කගේ තනියට යනවා. මේ යන ගමන් වලදී මකුලොලුව මහත්තයාගේ ජන සංගීතයත්, අමරදේව මාස්ටර්ගේ රාග  වලටත් හොරෙන් ඇහුම්කන් දෙන්න මට අවස්ථාව ලැබෙනවා. මේ විදියට අල්ලගන්න රාග මම ගෙදරදී තනියම පුරුදු වුණා. ඒ විදියට තමයි මුලින්ම මම සංගීතය ඉගෙන ගත්තේ. ඒ වගේම ඒ කලේ හේවුඩ් එකේ ඉගෙන ගත්තු නිමල් අයගේ මිත්‍රයෝ නිතර අපේ ගෙදරට අවා ගියා. ඒ අයගෙනුත් මම බොහෝ දේ ඉගෙන ගත්තා," ඔහු අතීතය ආවර්ජනය කළේය.  "මගේ පළමු රසිකයෝ උනේ  මගේ පවුලේම අය. සමහර දින වලදී අම්ම හරි තාත්තා හරි මට කතා කරලා, ඔලුවත් අත ගාල මට කවියක් හරි ගීතයක් හරි ගායනා කරන්න  කියනවා. ඊට පස්සේ එකේ ගුණාගුණ කියා කියා වර්ණනා කරනවා. මට පවුලෙන් ඒ ලැබුන වර්ණනා නිසා තමයි මාව මේ තරමට දිරිමත් උනේ. ඒ ලැබුණු දිරිමත් කිරීම් ඕනෑම දරුවෙකුට ලැබීම විශාල භාග්‍යයක්." පවුලේ අයගේ සහය ගැන කතාබහ කරන අතර තුරදී ඔහු තමන්ට පාසලේ මිතුරන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රශංසාවන්ද  මතකයට  නැගුවේය.

ඔහු වාසනාව පිළිබඳව දිගින් දිගටම ඉඟි කරයි. ඔහු තමන් ගායනය කල පළමු ගීතයම ප්‍රසිද්ධියට පත් වීමද තමන්ගේ වසනා ගුණය පිලිබඳ ඉගියක් දෝ සිතයි.  ඔහු සංගීත ක්ෂේත්‍රයට පා තබන්නේ,  ඒ 1970 වසරේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්  අධ්‍යක්ෂණය කරන ලද 'මාතර ආච්චි' චිත්‍රපටයට තේමා ගීතය ගායනය කිරීමෙනි. " 'සඳකඩ පහනක කැටයම් ඔපලා...' ගීතය වොලී නානායක්කාර මහතා රචනා කල පළමු චිත්‍රපට ගීතය වගේම ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පළමු සංගීත රචනාව. ඒ වගේම සතිස් අයියාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. ගීතය වගේම චිත්‍රපටයත් සාර්ථක  වුනා. සංගීත ක්ෂේත්‍රයේ මේ ගීතය අදටත් හදුන්වන්නේ සිව් කුළුඳුල් ගීතයක් විදියටයි. නැවත එවැනි සිව් කුළුඳුල් ගීතයක්  බිහිවුණු බවක් මට මතක නෑ . නවකයන් විදියට අප සිව් දෙනාටම මේ චිත්‍රපටය අභියෝගයක් වුනා. නමුත් අපි ඒ අභියෝගයට හොදින් මුහුණ දුන්නා." 




මේ ගීතයෙන් ඔහුගේ හැකියාව හඳුනාගත ප්‍රවීනයන්  කිහිපදෙනෙකුගෙන්ම සංගීතය හදාරන ලෙසට ඔහුට අවවාද ලැබෙන්නට වූ අතර, එම අවවාද හිස් මුදුනින් පිළිගත් තරුණ සුනිල්, එකල කීර්තිමත් සංගීත  ගුරුවරයෙකු වූ පී වී නන්දසිරි මහතා යටතේ සංගීතය ඉගෙන ගැනීම  ආරම්භ කළේය. 1980 වසරේදී ගුවන්විදුලි සංස්ථාවට පය තබන ඔහු ශ්‍රේණිගත ගායකයෙකු බවට පත් වුනා. එමෙන්ම, ඔහුගේ සංගීත දිවියේ කලණ මිතුරන් යයි ඔහු නම් කරන කුමාරදාස සපුතන්ත්‍රී සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ද ඔහුට මුණ ගැසෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ දීයි. 



 තැටිගත කල පළමු ගීතය ගායනා කර වසර 45ක් පමණ ගත වුවද සුනිල් එදිරිසිංහ කලාකරුවානන්  තමන්ගේ ගීත වල තත්ත්වය නොවෙනස්ව තබා ගැනීමට හේතු වූ කරුණ ලෙස දකින්නේද තමන් ඇසුරු කල කල්‍යාණ මිතුරන්ගේ ආභාෂය බව සඳහන් කළේය. "සපු සහ රෝහණ ඇරෙන්න, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි, කුලරත්න අරියවංශ. බණ්ඩාර ඇහැලියගොඩ, සිසිර විජේතුංග, බන්දුල නානායක්කාරවසම් සහ වසන්ත කුමාර කොබවක වැනි, මා වටා සිටි මිතුරන් නිරතුරුවම වඩා නිවැරදි දේ කිරීමට මා පෙලඹවුවා. මේ අතරින් මට වැඩිපුරම ගීත රචනා කර දීල තිබෙන්නේ සපුතන්ත්‍රී මහතා. ඔහුගේ ගීත රචනා හැටකට අධික ප්‍රමාණයක් මේ වන විට මම ගායනා කර  තිබෙනවා."   සපුතන්ත්‍රී මහතා ඔහු වෙනුවෙන් රචනා කල ගීත අතර හදේ  කොතැනක හෝ හිඳී  ඔබ නිදා නොනිදා මෙන්..., මිනිසා සුවඳයි මල සේ.., සන්තාප මාවතේ ... සහ නිදුකාණනේ... යන ගීත කෙතරම් ප්‍රබල දැයි අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.  





 




අන් කළා මාධ්‍යයන් හා සසදන විටදී, පුද්ගලයාගේ සිතුවිලි වලට ප්‍රබල බලපෑමක් කිරීමට ගීතය සමත් බව සුනිල් එදිරිසිංහයන් විශ්වාස  කරන්නේය. "මිනිසුන් නිතරම පාහේ සිටින්නේ පීඩාවෙන්. ගීතය එම පීඩාවට අස්වැසිල්ලක් විය යුතුයි. පොප් ඇතුළු බොහෝ ජනප්‍රිය ගීත මාධ්‍ය මගින් සිදුවන්නේ පුද්ගලයා එම පීඩාවෙන් තාවකාලිකව ඈත්කර තැබීම විනා විසදුමකට අත්වැලක් වීම නොවෙයි. සුභාවිත ගීත කලාවකින්  පුද්ගලයාට තාවකාලික සතුට වගේම  ඊට වඩා ගැඹුරු ජීවිතාවබෝදයක් ලබාගන්නට පුළුවන්. ඒ නිසායි ගීත රචකයින් වගේම ගායකයින් තමන්ගේ නිර්මාණ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ. වර්තමාන සිංහල ගීතය මේ රටාවෙන් පිට පැන තිබීම අපරාදයක්."  ගීතයක යටි අරුත තේරුම් ගැනීමට සියලු දෙනාටම  එක සේ හැකියාව නොමැති බවත්, මිනිසා තේරුම් ගැනීමට පහසු දේම පහසුවෙන් ග්‍රහණය කරගන්නා බවත් මෙවැනි පිරිස් වැඩි වීම හේතුවෙන් සුභාවිත ගීත කලාව පිරිහෙමින් පවතින බවත් වැඩි දුරටත් ඔහු අවධාරණය කළේය. මිනිසා යහමගට ගැනීමට අත්වැලක් වන ගීත පිළිබඳව කතා කීරීමේදී සුනිල් එදිරිසිංහයන් ගේ මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා, බානෙන් බැඳී රජ රට පෙදෙසින්නේ, මිනිසෙකු පිට නැගී අසරුවෙකි වැනි ගීත කැපී පෙනෙයි. මේ අතරින් බානෙන් බැඳී රජ රට පෙදෙසින්නේ, මිනිසෙකු පිට නැගී අසරුවෙකි යන ගීත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනාවන්  වේ. 



එදිරිසිංහ මහතාගේ ගීත සියල්ලක්ම පාහේ රසවිඳින විට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනුයේ එම ගීතය තුලින් හෙතෙම පලකරන හැගීම් ය. එක ගීතයක් නෑරම  රසිකයාගේ සිතට කාවදින ලෙස ගයනා කිරීමට ඔහුට ඇත්තේ අපුර්ව හැකියාවකි. " යම් කළා නිර්මාණයක්ට සම්බන්ද වනවා නම් මට එයට අවංක විය යුතුයි. කලාවට බොරු කලොත් එය ඉක්මනින් වටහා ගත  හැකියි. කලාවට විතරක් නෙවෙයි යමෙක් නිරත වන ඕනෑම කර්තව්‍යයකට  පොදුයි. මට ගීත රචනාවක් ලැබෙන  මම එම වචන සහ නාද රටා යන දේ අංගයම පිළිබඳව හැදෑරීමක් කරනවා. එසේ නොකලොත් මට අවංකව එම ගීතයට සාධාරණයක් කරන්නට බැහැ . මම ජීවත් වෙන්නේ මේ ගීත රසවිදින රසිකයින් නිසා. ඔවුන්ට ලබා දිය හැකි උපරිමය ලබා දිය යුතුයි," ඔහු වැඩි දුරටත් විතර කළේය. 


එදිරිසිංහ මහතාගේ ගීත අතර තවත් එක සුවිශේෂී ගීතයක් ලෙස 'සීතල දිය පිරි සුනිල විලයි..' ගීතය සැලකිය හැකිය. මහගම සේකර මහතාගේ නොපළ ගීත කෘතියෙන් උපුටාගත් මෙම ගීතය ගයනා කිරීමට ලැබීම තමන් ජීවිතයේ තමන් ලද මහගු භාග්‍යයක් ලෙස සුනිල් එදිරිසිංහ මහතා සලකයි.  ඔහු එම ගීතය ගායන කරන විට මහගම සේකර මහතා ජීවතුන් අතරින් වෙන්ව සිටියත්, එය තමන් පුදුමයට පත් කල බව එදිරිසිංහ මහතා  පැවසුවේය. " මම කුඩා කාලයේ ඉඳලම සේකර මහත්තයා මගේ ලෝකේ වීරයන්  අතර ඉහලින්ම හිටි  කෙනා. පෞද්ගලිකව හදුනා ගන්නට  නොහැකි වුනත් කීප වාරයක් ඔහු දකින්නට මම වාසනාවන්ත උනා,"  ඒ මතකය අවධි කරන විට දැනටත් ඔහුගේ දෑස්  ප්‍රීතියෙන් දිලිසෙනු දැකගත හැකිය. " මම ඉස්සර රැකියාවට ගියේ කෝච්චියේ. මම වැල්ලවත්තෙන් නගිනවා. සේකර මහත්තය කොටුවෙන් නගිනවා. ඔහුව දැකපු දාට මට හරිම සතුටුයි. නමුත් ඒ අවදියේදී ඔහුගේ ගීතයක් මට ගායනා කරන්නට  ලැබේවි කියල මට හීනෙකින් වත් හිතුනේ නෑ ." 







English :http://www.nation.lk/edition/fine/item/28958-%E2%80%98art-can%E2%80%99t-be-faked%E2%80%99-sunil-edirisinghe.html