Tuesday, August 26, 2014

නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම්


 ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න  පුළුවන් පුදුමාකාර  හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්.  කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ වගකිව යුතු නිලධාරි මහත්වරු සහ නෝනලාට උනත් දෙලෝ සිහි වෙන්නේ ගබ්සාවක් කරගන්න ගිහින් අහිංසක ගෑනු කෙනෙක්ට විපත්තියක් උනාට පස්සෙයි. ඒ උනන්දුවත් ඉතින් දවස් දෙක තුනයි. ඊට පස්සේ ඒ නෝනා මහත්වරුන්ටයි, මාධ්‍ය කරන ඇත්තන්ටයි විතරක් නෙවෙයි ගබ්සාව නීති ගත  කරන එකට විරුද්දව කතා කරන ආගමික නායකයත් මේ සිද්ධි අමතක වෙලා  යනවා. ඒ අයගේ  නෙවේ, රටේ භුමියේ ප්‍රශ්නයක්. ඉතින් දොස් කියන්න එපා.

මොන මොන තර්ක ගෙනාවත් ගබ්සාව හරි දෙයක් කියලා සාධාරණීකරණය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ. එත් මේ ප්‍රශ්නයට විසඳුමක් අත්‍යවශ්‍යයි. ඇත්තටම ගබ්සාව නීති විරෝධී  රටේ සම්මත නීතියක් පවත්වාගෙන යන එක විතරද මේ ප්‍රශ්නයට විසඳුම? පුවත් වාර්තා වලට අනුව අපේ රටේ දවසකට නිතීවිරෝධි ගබ්සා කිරීම් 800කට වැඩි ප්‍රමාණයක් වෙනවා. වැඩිපුරම වෙළඳ කලාප කිට්ටුව.  නීති සම්මත වෙලා තිබුනට මේ සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් අපිට පේන්න නෑ. ඉතින් මේකට හැබෑවට පිළිතුර නීතියෙන් පැනල යන්න පුළුවන් වෙච්ච රටක අණ පනත් සම්මත කරගන්න එක ද?

නූපන් දරුවෙක් නැති කරලා දාන්න ක්‍රියා කරන්න තීරණයක් ගන්නේ මූලිකවම ඒ දරුවාව හදාවඩා ගන්න තියෙන නොහැකියාව නිසානේ.  දරුවාව නැති කරන්න හේතුව, ඒ දරුවා හදාගන්න ආර්ථිකව ශක්තියක් නැතිකම, අම්මාගේ සෞඛ්‍ය ගැටළු වගේ කාරණා වගේම අපවාද වලට තියෙන බය වගේ සාමාජීය කාරණයක් වෙන්නත් පුළුවන්. මේ කොයි කාරණාවෙන් උනත් පැහැදිලි වෙන්නේ මේ කුස පිළිසිඳ ගත් දරුවා ජීවිතයේ සැලැස්මට පිටින් සිද්ධ වුනු කාරණයක් බව.

ඉතින් මේවගේ සැලැස්මට පිටින් වෙන දේවල් නීති දාලා නතර කරන්න පුලුවන්ද?  සැලැස්මට පිටින් ගියොත්;

1. එක්කෝ පිට ගිය දේ අයින් කරලා ආපහු මුල් සැලැස්මට එන්න ඕනේ.
2. එක්කෝ සැලැස්ම මුළුමනින්ම වෙනස් කරලා අලුත් සැලැස්මකට එන්න ඕනේ.
3.එහෙමත් නැතිනම් සැලැස්මෙන් පිට නොයා වැඩේ කරගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ.

මගේ හැඳි මිටේ දිග නුවණට තේරෙන විදියට නීති විරෝධී ගබ්සා ප්‍රශ්නෙටත් සෑහෙන විසඳුමක් ලැබෙන්නේ 3 වෙනි කාරණෙන්. 

අපේ රටේ ලිංගික අධ්‍යාපනය තවමත් තියෙන්නේ බොහොම පහල මට්ටමක. උසස් පෙළ ජීව විද්‍යාව උගන්නන්න ගුරුවරුන් උනත් තවමත් ප්‍රජනන පද්ධතිය ගැන උගන්නන්නේ දෙගිඩියාවෙන්, අධිවේගෙන්. මාධ්‍ය හරහා වෙන දැනුවත් කිරීම උනත් ප්‍රමාණවත් නැහැනේ. ඒ පණිවිඩේ අවශ්‍ය කණ්ඩායමට යනවද කියලත් කියන්න බෑ. පහල පංතියකදී වත් සෞඛ්‍ය පාඩමට අනවශ්‍ය දරු උපත් වලක්වා ගන්න හැටි හෝ ලිංගාශ්‍රිත රෝග වලින් තමන් ආරක්ෂා කරගන්න හැටි ක්‍රමවත්ව උගන්නන්න පාඩමක් අන්තර්ගත නෑ. පාසල් අධ්‍යාපනයේ මේ මාතෘකා හරියාකාරව ඉගැන්නුවේ නැතිනම් වෙන කවද කොහේදී උගන්නන්නද කියල මගේ මොලේට තේරෙන්නෙත් නෑ. 

කොහොම උනත් මම හිතන්නේ, මිනිස්සුන්ව හරියට දැනුවත් කලොත්, කසාදයක් කරලා දෙනකම් ඉන්නේ නැතිව ගෑනු ළමයින්ට තමන්ව ආරක්ෂා කරගන්න විදිය කියල දුන්නොත්, මේ ලොකු ඉලක්කම් ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වේවි. නීති ලිහිල් කරන එකට විරුද්ධව කතා කරන්න මහන්සි ගන්න වෙලේ වෙළඳ කලාපයකට ගිහින් ඒ ගෑනු දරුවන්ව දැනුවත් කරන්න උත්සහ කලොත් ඒ දැරිවියෝවත් තමන්ගේ සැලසුමෙන් පිටට නොපැන ජීවිතේ ඉස්සරහට ගෙනියගනීවී නේද?      



Wednesday, August 20, 2014

පෙරළුණු රළ

එදා මට හිතුනේ 
මහ මුහුද තරම් 
ලස්සන තව තැනක් 
මහ පොළොවේ වෙනනම් 
නැහැයි කියලා ...

හීතල හුළඟට 

දාඩිය නිමෙනවා
රැල්ල පාගනකොට
මගේ හිතත් නිමෙනවා ...
 

මහ දවල් අවුවට පාර මැද්දෙත්
පේනවා මහ මුහුද

ඒ දවස් වල තනියම හිනා මට
දැන් නම් ඒ අව්වට
පිච්චිලා යනවා මාව.


එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා
ඊළඟ රැල්ලටම  

ඒ නම් මැකිලා යද්දී 
හිතන්න තිබ්බා අපිට
සතුට කොහොමත් 

දුකට පෙරළෙනවා කියලා.

මිරිඟුව පෙනී පෙනී 
ගිනි අවුවට පිච්චේනකොට
වෙලාවකට මට හිතනවා
වැල්ලේ නොලියා අපි නම්
කළුගලක කෙටුවනම් කියලා...


Wednesday, August 13, 2014

අපේ පාරේ මන්ත්‍රීතුමා

මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය
සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය
මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය
පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේය

යන එන මඟදි  හමුවෙන දායක රෑන
දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය
ඒ මඟ දෙපස කුණු වෙන  කැළි - කසල ගොඩ 
ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නද

සහචර පිරිස ඩෙංගු බලන්නට එනවා
වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා
පාරේ පල්  කාණු නොපෙනී යනවා
ලබන සැරෙත් මන්ත්‍රීට චන්දය දෙනවා

ටෙන්ඩර  බෙදන  දායකයනට නොමසුරුව
ඔහු උතුමෙක්ය  කලගුණ අමතක නොවෙන 
පාරේ ගොඩ ගැහෙන කඳු කඳු කුණු නොදැක්කට
වගපල කියන එක නම් හොඳ මදි නේද



Thursday, July 31, 2014

ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත...


චිත්‍රය : www.nation.lk

සුරංගීට දුක සිතුනේ   බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස්  මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත්  දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ  පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස්  අදට වසර විසිපහකි. "අම්මා කියන විදියට මේ ගීතය ලියලා තියෙන්නේ මං   වෙනුවෙන්. ඒ අවදියේදී මගේ කන විදලා තිබිලා නැහැ. මට මතකයක් නැතත්  කරනවා ඔහු ඉදිරියට සිදුවන්නට තිබෙන සිදුවීමක් ගැන මවා ගනිමින් මේ  සින්දුව ලියන්නට ඇති කියලා," සුරංගී තම නැසී  ගිය පියාගේ මතකයන් අවදි කළාය.

 


සමරවීරගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේ 1947 ජුනි 3 වනදා කොළඹදීය. ඔහුගේ පියා සයිමන් ද අල්විස් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වූ අතර කොළඹ මාලිගාකන්දේ පදිංචිව සිටි ඔහු ප්‍රථමික අධ්‍යාපනය මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් හදාරා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. ආනන්දයේ දීප්තිමත් සිසුවෙකු වූ ප්‍රේමකීර්ති, ආනන්දය නම් පාසල් පුවත් පතෙන් සිය දස්කම් විදහා දක්වන්නට විය. 1961 වසරේදී ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකර මහතා මෙහෙය වූ ළමා වැඩසටහනකට සම්බන්ධ වුනු ඔහු 1967 වන විට එහි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන්නට විය. 1971 වන විට ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ නිත්‍ය සේවකයෙකි.1989 දී ඝාතනයට ලක්වන විට ඔහු  ප්‍රතිභාපුර්ණ නිවේදකයෙකු, කථිකයකු, කවියෙකු මෙන්ම ගීත රචකයකු ලෙස මහජන ප්‍රසාදයට ලක්ව සිටියේය. ඔහුගේ වියෝවෙන් වසර 25කට පසු තවමත් ඔහුගේ නිර්මාණ නිබඳවම පැසසුමට ලක්වීමම ඔහු කෙරේ ජනතාව තුල තිබුණු ප්‍රසාදය මොනවට පෙන්නුම් කරයි.

ඔහුගේ දියණිය සුරංගි, පියා ගැන  කරත්ම පැවසුවේ තමන් සහ තම පියා ශාරීරිකව එකිනෙකාගෙන් දුරස්ථව සිටියද කිට්ටු මානසික බැඳීමක් තිබුණු බවයි. "මට මතක ඇති කාලයේ ඉඳන්ම මගේ අම්මයි තාත්තයි එකිනෙකාගෙන් වෙන්වෙලයි ජීවත් වුණේ. තාත්තාව මට මතකයට නැගෙන්නේ මාව නිතර බලන්න ආවගිය ආගන්තුකයෙක් වගෙයි. ඒ වගේ ආව ගිය අවස්ථා වලදී සිදුවුණු සිදුවීම් කීපයක් ඇරෙන්න මට තාත්තා පිලිබඳ ලොකු මතකයක් නැහැ. ඒ වගේ අවස්ථාවල මාව එලියට එක්කගෙන යනවා. ගෝල්ෆේස් වගේ තාත්තා ආස කරන තැන කිහිපයක් තිබ්බා. මේ තැන්වලට එක්කරගෙන ගියහම තාත්තා නිකම් හිටියේ නැහැ. ඒ තැන  පිලිබඳ විස්තර කතා රාශියක් කියනවා.ඉන් පස්සේ ආපහු ඇවිත් මාව ගෙදරින් බස්සවලා  යනවා."

ප්‍රේමකීර්ති ඝාතනයට ලක්වන විට සුරංගීට වයස 16කි. "මම  සාමාන්‍ය පෙළ පන්තියේ හිටියේ. ජීවිත තර්ජන තිබුණු බව මම දැනගෙන හිටියා. මට මතකයි තර්ජනය කරලා එවපු ලියුම් අම්මාට  පෙන්නවා. නමුත් ඔහු බයෙන් හිටියේ නෑ . කවුරුහරි ඇවිත් තමන්ට කරදරයක් කරන්න උත්සහ කලොත් එක කතා කරලා විසඳගන්න තමන්ට හැකියාව තියෙනවා කියල ඔහු විස්වාස කළා. කතා කරලා මිනිස්සු තමන්  නම්ම  ගන්න තාත්තිට අපුරු හැකියාවක් තිබුණා," ඇය  පවසන ආකාරයට බොහෝ ගුවන්විදුලි සේවකයන්ට මෙන්ම ප්‍රේමකීර්තිටද භීෂණ සමයේ නිරන්තර මරණ තර්ජන එල්ල වී ඇත. "මේ ගැන කියනකොට තව දෙයක් සඳහන් කරන්න ඕනේ. දෙන්නෙක්  දික්කසාද වුනාම  ඒ දෙපල එකිනෙකා එක්ක වෛරයෙන් ඉන්නවා කියලයි ලෝකයා හිතාගෙන ඉන්නේ. නමුත් මගේ අම්මයි තාත්තයි එකිනෙකාට සුහදව හිටියා. තාත්ති නැවත විවාහයක් කලින් මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා ඒ දෙදෙනා නැවතත් එකතු වේවි කියලා. මම කුඩා කාලයේදී ඒ ගැන හීන  මැව්වා," ඇය  තම කුඩා කාලයේ බිඳවැටුණු බලාපොරොත්තුවක් ගැනද සඳහන් කළාය.  

ඝාතනය කරන්නට පළමු දිනයේද ප්‍රේමකීර්ති සුරංගී දැක   බලා යන්නට ඇවිත් ගොස් තිබිණි. "30 වෙනිදා  උදෙත් තාත්ති අපේ ගෙදර ආවා. ඒ  හිටියේ හෝමාගම. ඔහු හිටියේ  මහරගම. ඒ දවස් වල කලබල නිසා කොහොමත් ඉස්කෝල වහලයි තිබ්බේ. එදා මගේ සුරතල් බල්ලට අසනීපෙන් හිටියේ. තාත්තා  බලලා හවසට ඌට  බෙහෙත් අරන්දෙන්න එන පොරොන්දුව පිටයි  එයා ගෙදරින් ගියේ. හැබැයි එදා ඒ ආව ගමනේ  තාත්ත ලොකු කල්පනාවක හිටපු බව මට තේරුණා. කල්පනාවක ඉදන්  කතා කරන බව මට දැනුනා. වෙනදාට ගෙදරින් යනකොට වාහනේ රිවර්ස් කරලා මට ඇත අත  වනනවා. එදා  තාත්තාට එකත් අමතක වුනා."


ප්‍රේමකීර්ති  ඝාතනයට කලකට පෙර  ලියා පල කල  කවියක් ඔහු තම අනාගතය  පිලිබඳ දැන  සිටියාදැයි සිතෙන තරමට ඔහුගේ ජීවිත අවසානයට සමානකමක්  දක්වයි. කවියේ මුල් පද වලින් කියවෙන්නේ කලාතුරකින් දියණිය බලන්නට එන තාත්තා කෙනෙකුන් ගැනය. එසේ කලාතුරකින් එන තාත්තාට දීමට දාස්පෙතියා මල් ටිකක් දියණිය කල් තියා අරන් තියාගෙන සිටියාය. කලකට පසු ආ තාත්තාට ආදරයෙන් දුන් මල් ඔහු තම සාක්කුවේ හොවාගෙන ආපහු යයි.


දාස් පෙති මල්
...
...
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි.


කවියේ සඳහන් දියණිය පරිද්දෙන් සුරංගී ද තම පියා සුරතලාට බෙහෙත් රැගෙන එන තුරු බලා ඉන්නට ඇත. "තාත්තාගේ ඝාතනය ගැන අපිට ආරංචිය අරගෙන ආවේ වික්ටර් අංකල්. මම නිදාගෙනයි හිටියේ. අම්ම කෑගහන සද්දෙට මට  ඇදෙන් බැස්සුනා. එත් එක්කම මට තේරුණා සිද්දවෙලා ඇත්තේ මොකක්ද කියල. ඒ යුගයේ අපි කොහොමත් ඔය වගේ ආරංචි ගැන බයෙන් හිටියේ. කොහොමටත් මුසල කාල වකවානුවක්. එතනින් එහාට වුනු දේවල් පිළිබඳව මට පැහැදිලිව මතක නැහැ. මතකයට නඟා ගන්නත් බැහැ."

තම පියාගේ නිර්මාණ කටයුතු පිළිබඳව ගැඹුරින් කතා කරන්නට අසමත් වුවත් පියෙකුගෙන් දියණියකට ලැබුණු වටිනා ඔවදන් කීපයක් පිළිබඳව ඇය  මතකය අවදි කළාය."ඉස්සර  මම  පුංචිම කාලේ, හැමදාම එනකොට තාත්තා පොතක් අරන් එනවා. ඒ ගෙනාපු හැම පොතකම මොනවා  ලියලා දීලා  යනවා යටින් තාත්තා කියලා අත්සන්  කරලා. මට ඒ දවස් වල අකුරු  කියවල  තේරුම් ගන්න බැහැ.  කියවන්න  පුළුවන් වෙනකොට තමයි තේරුනේ ඒ ලියල දීපු දේවල් කොයි තරම් .ලස්සනද කියලා. එකක ලියල  තියනවා 'ඔබ  යුවතියක් වන දිනෙක මම පස් ගොඩක් පමණි. ඒ පස් ගොඩ පාගන්න දුවේ...' කියලා."

"මම ඒ දවස්වල හරි අසයි පූස් පැටවුන්ට. තාත්ති මේ ගැන හොඳින් දැන ගෙන හිටියා. ඉතින් මට ගෙන පොත් ඒ වගේ  පින්තුර තියන පොත්.  මෙයින් එක පොතක පින්තුරේක තිබුනා පූස් පැටියෙක් කොස්සක් එක්ක  සෙල්ලම් කරන රූපයක්. ඒ යටින් තාත්තා ලියා තියෙනවා 'හිතවතුන් අතුගාන්න එපා දුවේ' කියලා. පුංචි කාලේ මම හිතුවේ තාත්තා මට පූසන්ට කරදර කරන්නට එපා කියලා ලියා තියෙනවා කියලයි," තම පියාගේ වදන් වල ගැඹුරු අර්ථය වඩාත් හොඳින් තේරුම් ගන්නට  තමන්ට හැකිවුයේ තමන් තරුණ වියට පත් වූවාටත් පසුව යයි ඇය පවසන්නීය. "මේ තෑගි දුන්නු පොත් තවමත් සුරැකිව තියනවා. මේවා තවමත් මගේ භාරයට  පත්වෙලා නෑ . තවමත් මේවා පරිස්සම් කරගෙන  තියාගෙන ඉන්නේ අම්මා."

සමහර විට මේ ලියපු දේවල් නැවත කියවන විට තාත්තා කොතරම් සංවේදී මනුස්සයෙක්ද බව   තේරෙනවා.සමහරක් විටක මට හිතෙනවා ඔහුට ඉදිරියේ සිදුවීමට ඇති දේ පිළිබඳව දැනීමක් තිබුනාදෝ කියල.  කොහොම වුනත් තවමත් තාත්තට ගරු කරනවා. ආදරය කරනවා. තවමත් ඔහු නිසා අපිට සැලකිලි ලැබෙන වෙලාවල් තියනවා. මේ වගේ තාත්තගේ දුව වීම පිළිබඳව නිහතමානි ආඩම්බරයක් තියනවා. නමුත් මම අද වනතුරු ඒ ආඩම්බරය මගේ වාසියට අරගෙන නැහැ. ඒ නමට කැළලක් වෙන විදියට නොහැසිරෙන්නයි මම උත්සහ කරන්නේ," සුරංගී කතා බහ අවසන් කරමින්  පැවසුවාය. 

ප්‍රේමකීර්ති 21 වන ගුණ සමරුව අළලා සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකට සුරංගී මෙසේ ලියා තිබුණි.


  හිස මුදුනත තැබූ රුවන් මලක් සේ
රැකගමි ඔබෙ නම පියාණනේ
නොකෙළෙමි වරදක් නොතබමි කැළලක්
එය මට කිරුළකි පියාණනේ
පිරිහෙන ගුණ දම් නසතිය මනු දම්
උගතිමි ඔබගෙන් පියාණනේ
ඔබ මට හිමි කළ බැබළෙන ඒ නම
මගෙ දරු සුරකිති පියාණනේ

~සුරංගි ද අල්විස්








Tuesday, July 29, 2014

ඇසිල්ල

සිනාසෙන විසල් දෑස්  ළඟ
මා දෑස  නතර විය
බර  වූ හදවත කඩා වැටී
පඩිපෙළ පාමුල  පතිත වීය

ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.

සිනාසෙමින්  පැමිණි ඔබ
මා හදවත අහුලා
දුලී කුණු පිස දමා
සිනාසෙමින්ම
මා වෙත පෑවේය

ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.

පඩිය පාමුල
මගේ හදවත
මටම පෑගී
තැලී පොඩිවී තිබුණි


Tuesday, July 22, 2014

අපි පරක්කු වුණා සුනිල් සර්



එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර්
ඇවිත් බලලා යන්න 
වැඩ ගොඩ උනා අතපහු උනා
මේ පාර නම් එන්නමයි හිටියේ
ආයේ සැරයක් කතාවක් අහල යන්න

විද්‍යාව විතරක් ඉගැන්නුවනම්
අමතක කරලා ඉන්න තිබ්බා
සර් ඉගැන්නුවේ ජීවිතේ
දහස් ගානකට ලෝභ නැතුවම
බෙදලා දුන්නේ ආදරේ

සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි
බෙදන්න තරම් ආදරේ ගොඩක්
සර්ට තිබුණු හන්දමයි
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ

එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා


සර් එදා හරක් හදවතේ
ඝනකම පෙන්නලා හිනා උනත්
සුරතලේට හදපු බැල්ල
අසනීපෙන් උන්නු වෙලේ
"බලන්න එපා එයා දිහා,
එයාට දුක හිතෙයි" කිව්වම
අදුනගත්ත අපි එදා
සර්ගේ හදවත කොයිතරම්
මෙලෙක්ද කියල

මනමාලයෙක් එන දවසේ
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු
අක්කා ගැන කියා කියා
වර්ගඵලය කියා දීලා
එක මොහොතෙන්
අක්කා මතක් කර කර
දුක් වෙන කොට
අපේ අක්කා හොඳ අක්කා කියනකොට
අපි දැනගත්තා සර්
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි
ඇවිත් යන්න එන්න හිටියේ

වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු උනා සර්

අවුරුදු ගානකට පස්සෙත්
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ
සර්ගේ රස පිරුණු විහිළු කතා
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා
අපි හිනා උනා සර්

ආයේ හිනා වෙලා යන්න
ඇවිත් යන්නයි හිටියේ
අනේ සුනිල් සර්
සර් ඉක්මන් උනා
අපි පරක්කු වුණා... 

Wednesday, July 9, 2014

බක බක :(





ගෙම්බෙක්මි වලක් නැති
සොයා යන මුදු වැල්ලක්
සැපට ඉන්නට
කපාගන්නට හොඳ වලක්

එහෙට පැන මෙහෙට පැන
හොඳ තැනක් හොයාගෙන
අමාරුවෙන් කැපුව වලෙත්
මේන් තඩි ගෙම්බෙක්

කැපුවොත් අපි වලක්
ගෙම්බෙක්නේ කවදටත් !