Friday, July 3, 2015

අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ!

අද අහස අඳුරුය.
ඛේදසහගතය.
මගේ හදවත වාගේය

මොහොතකින් වැසි බිඳු
වැටී මහා පොළොවට
හෑල්ලු කරාවි ඔබේ බර

මොහොතකින් යලි ඉර
බබලාවී අහස මැද
කිසිදිනක වැසි වලා නොදුටු සේ

කඳුළු මට නැත
සිඳී ගොස් ඇත
ඉදින් මා හැමදාම අඳුරුය
නොපායාවි නැවත ඉර

අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ!

Monday, June 15, 2015

මම අදේවවාදියෙක් නොවෙමි. නමුත්...

මා දන්නා එක් පවුලක දරුවෝ තිදෙනෙක් වූහ. ඔවුහු දෙමවුපියන් හා සතුටෙන් සමගියෙන් ජීවත් විය. හිටිහැටියේ උන්ගේ මවු මිය ගියේය. දුකට පත් පියාද කෙටි කලකින්ම මෙලොව අත්හැර  ගියේය. දරුවෝ  මේ ලොව තනිවූ විට ඔවුන්ගේ හිතවත්තු, "අපේ පුතාලව දෙවියොම බලන්න ඕනේ" යයි කන්නලවු කළහ. දරුවන්ගෙන් වැඩිමහල් දරුවා පවුලේ බර කරට  ගත්තේය. බොළඳ වියට  කලින්ම සමුදුන් ඔහු තනිවම පවුලේ බර ඇද්දේය. පොඩිවුන් දෙන්නා කවදාවත් බඩගින්නේ නොතියන්නට ඔහු උත්සහ  දැරුවේය.ඔහුගේ දිරිය දුටු හිතවත්තු, "පුතාට වරදින්නේ නැහැ, දෙවියන්ගේ පිහිටෙන්  ඔක්කොම හොඳින් වෙයි," යයි කීහ. නමුත් සියල්ල හොඳින් සිදුවුයේ  නැත.අත්දැකීම් අඩුකමත්, හරි මග කියන්නට දෙමවුපියන් ළඟ නැති නිසාත් ඔහු කලකින් නොමග ගියේය.  දැන් සියල්ලෝම  ඔහුට දෙස් දෙයි. "උබේ ඉදිරිය දැක්මක් නැති නිසා තමයි මේ ඔක්කොම," හිතවත්තු  කියති. ඔහුව බලාගන්නවා යයි කියූ දෙවියන් ඔහුව ආරක්ෂා කලේ නැත. ඔහුට හරි මග  පෙන්නුවේ නැත. නමුත් හිටවතුන් දෙවියන්ට දෙස් දෙනවා මට ඇසුනේ නැත.

දෙවියනි ඔබ බලසම්පන්නය. මම නිකම්ම මනුෂ්‍යයෙකි. අසරණ ඔහුට ඔබ හරි මග නොපෙන්නුවේ ඇයිදැයි මට විමසිය හැකිද?

මම නිවසට එන අතරමගදී  දිනපතා මම කඩවසම් තරුණ පිරිමි දරුවෙකු දකින්නෙමි. ඔහු  යමක් කමක්  ඇති පවුලක සැපට හැදුනු දරුවකු බව  දුටු විගසින් තේරුම් ගත හැකිය. රූමත් තරුණ ලඳුන් ඔහුගේ අසලින් එහෙ මෙහෙ යන විට, ඔහුගේ ඇස් දිලිසෙනයුරු මා හොඳින්ම දැක  ඇත්තෙමි. ඔහු ඒ ගැහැණු  ළමුන් හා සිනාසේ. ඔහුගේ සිනාවේ තේරුම් ගත නොහැකි දුකක් ලියවී ඇත. මේ ඇයි දැයි තේරුම් ගන්නට මට කලක් ගත විය. ඔහුගේ  සිනාව දුක් බර  වන්නේ, ඔහුට ඇත්තේ ඒ සිනාව පමණක් වන  බැවිනි. ගේ දොර, වතු පිටි සියල්ල දී සුන්දරව වැදුණු මේ තරුණයාට සිතට එන සිතිවිලි වචන කරන්නට නොහැකිය. ගැහැණු ළමුන් ඔහු කඩවසම් බව මුමුණන හඬ ඔහුට ඇසෙන්නේ නැත.

සර්වබලධාරි දෙවියනි, මම කිසිවක් නොදන්නා මනුස්ස දුවකි.  මේ තරුණයාට  ශබ්ද නගන්නට හෝ අසන්නට හැකියාව ඔබ නොදුන්නේ ඇයි දැයි මම ඔබෙන්   අසන්නේ  කෙසේද?

ටික කලකට පෙර මම මිතුරෙකුගේ සුව දුක් බලන්නට මහරගම පිළිකා රෝහලට ගියෙමි. මගේ මිතුරා තරමක් වියපත්ය. ජීවිතය පිලිබඳ දැනුම් තේරුම් ඇත. ජීවිතය විඳ ඇත. ඔහුගේ ඇඳ ඉදිරි ඇඳෙහි සිටි දරුවාගේ වයස අවුරුදු දහසයකට වැඩි වන්නට නොහැකිය.  ලෙඩුන් බලන වෙලාව වූ බැවින් ඔහු වට කර සමවයසේ මිතුරු කැලකි. ඔවුහු  බරක්පතලක් නොමැතිව කටට එන්නක්ම දොඩවති. පන්තියේ විවේක කාලයකදී  මෙන් වාට්ටුවේ  එකම ගාලගොට්ටියකි. මිතුරන් සමග තරගයට  සිනාසුනද  ලද ඇසිල්ලකදී ඔහුගේ මුහුණ වේදනාවෙන්  බර වෙන  බව සැලකිල්ලෙන් බලන්නෙකුට මිස වෙනත් අයෙකුට දකින්නට ලැබේවිද යන්න මට සැකයකි. යහළුවන් සමග විනෝදයෙන් ගත කල යුතු කාලය ඔහු ගතකරන්නේ රෝහලේ  ඇඳක් මතය; ජීවිතය විඳිය යුතු කාලය ඔහු ගත කරන්නේ තවදුරටත් ජීවත් වන්නට ඉඩ ලැබෙයි දෝ කියා විඳවමිනි.

මා නිකම්ම නිකම්  මනුස්සයෙකි. මා නිරීක්ෂණය කල දේ දෙවියන්ට මග හැරුනේ කෙසේදැයි මම කෙසේ අසන්නද ?

 මගේ  රටේ  නිරතුරුවම සියදිවි නසගත්තවුන් ගැන අසන්නට ලැබේ. අධර්මයෙන්  මිනිසුන් පෙලන නායකයින්, වංචාකරුවන් සහ සොරුන්  එමටය. දරුවන් නැති දෙමවුපියන්, දෙමවුපියන්  නැති දරුවන් ගැන කතා  කෙතරම්ද? කොළඹ පාරක්  දිගට ඇවිද  යන විටදී අඩියෙන් අඩියට යාචකයෙකි.  නැතිනම් අත්පා  අහිමි වූවෙකි; අන්ධ මිනිසෙකි; රෝගියෙකි.  දෙවියන්  වැඩ සිටිනා පන්සලක, පල්ලියක, කෝවිලක නැති දේ ගැන හඬා වැටෙන්නෝ අඩු  නැත. දෙවියන්ගේ  බිමේ  සිට ඔහුවූ දේව භක්තිකයින්ගෙන් අනුකම්පා අයදිති.

ඉතින්, මා නම් බල නැති මිනිසෙකි.  ඔද තෙද බල ඇති දෙවියන් ප්‍රශ්න කරන්නට මට ඇති අයිතිය  කුමක්ද?

Monday, June 1, 2015

නිදහස් මානවකය,


බැමි ඇති
බැමි නැති
බැමි අතහැර නැති
ලතැවෙන
කැළඹෙන
සිතුවිලි
ඉම නැති...

ඒ හැම අතරෙහි
මා ඔබ දුටුවෙමි!

ඇති බැමි
නැති බැමි
කිසිවක් වග නැති
ඔබ ලොව දස අත
ඔහේ ඇවිද යති
නිදහස් අදහස්
වටකළ  බැමි නැති
ඔබේ දිවිය ගැන
කිම මා බැඳ ඉසි?


Friday, April 10, 2015

(අ)මිහිරි අවුරුදු!

කණ  හිරිවට්ටන
කොවුලාගේ නාදේ
මතකද  ඉස්සර
සුමිහිරි ගැයුමකි

හතර කොනට
අපි හතරක් උන් කල
මතකද  රස පිරි
අවුරුදු මේසෙකි

අලුත් ඇඳුම් ඇඳ
ලිප මොළවන කොට
මතකද සරුවට
කිරි උතුරපු හැටි

එරබදු මොකටද
වැට ළඟ පිපිලා
අද ඔබ නැති කල
හිත ළඟ සුසුමෙකි!

Wednesday, March 25, 2015

ඕනෑ කර තිබේ!



ඇත්නම් අයෙක් ලොවේ
නිමවන්නට සමත් 
පාට පුයර, සුවඳ විලවුන්

මකන්නට හැකි
වෛර කුයිලය
ඔබේ සියොළඟ නැඟෙන

වසන්නට හැකි
ක්‍රෝධ රේඛා
ඔබේ මුහුණේ ඇඳුනු

ඕනෑ කර තිබේ ඔහු
ලෝකය ලස්සන තැනක් කරන්නට!

Tuesday, March 10, 2015

ඉතිරිව ඇති එකම පැණය

සබඳ,
ඔබෙන් අසන්නට 
ඉතිරිව ඇත්තේ 
තව එක් පැණයක් 
පමණකි ...

මා ඔබේ සොඳුරිය 
නොවුනේ නම් 
රෑ සිහිනෙන් විත් 
ඉඳ හිට 
හිස අතගා-මා සනසා 
යන්නට එන්නේ කිම 

මා රිදවන්නද ?
මා රවටන්නද ?

ඔබෙන් අසන්නට
ඉතිරිව ඇත්තේ
තව එක් පැණයක්
පමණකි!