Saturday, December 12, 2015

පැහැසරණී: රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ !

පැහැසරණී: රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ !: ගංගොඩවිල සෝම හිමියන් අප අතරින් වියෝවී වසර නමයක්  ගෙවී ගොස් ඇතත් , ගුවන්විදුලි සහ රූපවාහිනි  නාලිකා වලට ස්තුතිවන්ත වන්නට උන්වහන්සේගේ ධ...

Sunday, December 6, 2015

Mobile sim සහ යාලුවෝ


මිනිස්සු ඇවිල්ලා සමාජ ජීවියෝ. අපිට මුළු ජීවිත කාලෙම තනිවෙලා ඉන්න බැහැ.  මේ නිසාම අපි කාලෙන් කාලෙට ජීවිතේට එක එක පුද්ගලයන් ලං කර ගන්නවා.  වසනාවත්න ඇත්තෝ ඒ ලං කරගන්න අත්තන්ව ජීවිත කාලෙම ලඟින් තියාගන්නවා. නමුත් සමහර විටදී ඒ ලංකර ගන්න අය  අපිව දාල යනව. එහෙම නැත්තන් අපි ඒ අයව දාලා යනවා 
සමහර විටදී කාර්යබහුල බව හින්දා මේ ගොඩනගාගන්න සම්බන්දතා අත ඇරිලා යනවා. හරියට අපේ ඉස්කෝලේ යාළුවො වගේ. අපි ඉස්කෝලේ කාලේදී ඇති කරගත්තු යාළුකම් ඒ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි කීයෙන් කීදෙනාටද? විශේෂ හේතුවක් නැතුව මඟ අරුණු සම්බන්දතා ගැන අපිට අපිටම දොස් පවර ගන්න පුලුවන්ද? 

මගේ ඉස්කෝලේ කාලේ යාලුවෝ ඇති කරගන්න එක මට ලොකු ගැටළුවක් වෙලා තිබ්බා. විශේෂයෙන්ම පුංචි පන්තිවලදී. දැන් කල්පනා කරනකොට හුඟාක්ම ලොකු පන්ති වලට එනකම් මට 'හොඳම යාලුවෙක්' කියන්න කෙනෙක් හිටියේ නැහැ. මට මතකයි අවුරුද්දේ ඉස්ස ඉස්සලම අලුත් පන්තියකට යනකොට තාත්ත මට විශේෂ දේවල් දෙනවා පන්තියේ බෙදල අලුත් යාළුවො හදාගන්න කියල. තුනේ  පන්තියේදී විතර තාත්තා මට පෙට්ටියක් පුරවලා චීස් කෑලි  දුන්නා (අපි හැමදාම චීස් බටර්   කන්න තරම් පැලැන්තියක අය  නෙවේ). ඒ චීස් ඔක්කොම මට තනියම කන්න වුනු බව තාත්තා අදටත් දන්නේ නෑ. පුංචි පන්ති වලදී මම අපිරිසිදු ළමයෙකුත් නෙවෙයි, ඔතැනි  ලමෙකුත් නෙවෙයි, අදක්ෂ ලමෙකුත් නෙවෙයි. ඒත් මටම හිතාගන්න බැරි හේතුවකට මට කිට්ටුම යාලුවෙක් හිටියේ නෑ.
 
ලොකු පංති වලට එද්දී කණ්ඩායම් වලට ඇතුළු වෙනකොට එක එක යාලුවෝ හිටියා. ඒ අය බොහෝවිට යාළුවො වුනේ මම එහා පැත්තේ පුටුවේ වාඩි  වෙලා ඉන්න  නිසා. එහෙම නොවුනා නම් මම බොහෝ විට ඒ කණ්ඩායම් වල කෙනෙක් නොවෙන්න තිබ්බා. උසස් පෙළ පන්තියට එද්දී යාළුවො වුවමනා වෙන හේතු වෙනස් උණා. කෑම බෙදාගන්නවට වඩා මාව තේරුම් ගන්න පුළුවන් යාළුවො මට ඕනේ උණා. ලඟින් යන අදහස් තියන අය හිටිය. ඒ අය  හොඳම යාළුවො උණා. ඒත් හිත ඇතුලෙන් කොයි කණ්ඩායමටත් මාව නොගැලපෙන බව මට  දැනුනා. සීයයට සීයක් ගැලපෙන යාලුවෝ කාටද හම්බ වෙන්නේ?

 
රස්සාවල් කරනකොට මුණගැහුණු අයගෙන් බහුතරයක් පාප මිත්‍රයෝ. ඒ සමහර දෙනෙක් යාලුකම් ඇතිකර ගත්තේ බොහොම ආත්මාර්ථකාමී හේතු වලට.කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල තමයි.සමහරු කිට්ටු වෙන්නේ ඇයි  කියන එක තේරුම් ගන්න බැහැ. මම පලවෙනි රස්සාව කරන්න ගත්තේ අවුරුදු 20ක් වෙන්නත් කලින්. ඒ කාලේ මිනිස්සු අදුනගන්න තරම් අත්දැකීම් නැහැ. හැමෝම ඉස්කෝලේ වගේ ඇති කියල හිතාගෙන කරපු දේවල් වලින් හොඳ පාඩම් ඉගෙන ගත්තා. අන්තිමට රස්සාව එපා කියල ගෙදර ආවා. දැන් හැරිලා බලනකොට හිතෙනවා ඒ කාලේ කොච්චර බොලඳද කියල. 

අවුරුදු 21ක් විතර වගේ කාලේ වෙනකොට මම තේරුම් අරන් හිටියා මම කවදාවත් කණ්ඩායමකට අයිති වෙන කෙනෙක් නෙවෙයි බව. ඒක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.  ඒත් මම හොඳටම බයෙන් හිටියේ මට කවදාවකවත් මාව තේරුම් ගන්න පුළුවනකම තියන යාළුවෝ මට මුණ නොගැහෙයි කියල. 

කාලයත් එක්ක අපි ඔක්කොම වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ධර්මය. මම  පිළිගන්න අකැමැතිමත් මේ ධර්මයම තමයි. අවුරුදු 18ක් වගේ කාලේදී මාව හොඳින්ම තේරුම් ගත්තා කියල මම හිතන් හිටපු මිත්‍රයන් මේ වෙනකොට මාව තේරුම් ගන්නව කියන එක මම හිතන්නේ නෑ. ඒ වගේම ඒ අයව ඒ කාලේදී වගේ මටත් තේරුම් ගන්න බැහැ. අපේ ජීවන රටාවල් වල වුනු වෙනස්කම් නිසා, එක එක හැලහැප්පීම් නිසා අපි වෙනස් මිනිස්සු වෙලා. ඒ වෙනස්වීම එක වෙලාවකට හිත පාරවනවා. 

මම මේ ගැන තනියම ඉන්නකොට ඉබේටම කල්පනා වෙනවා...

මට හිතෙන්නේ එක එක කාලේදී අපි කිට්ටු කරගන්නේ අපිට සමාන අත්දැකීම් තියන පිරිසක් කියල. ඒ අපිට සමාන සිදුවීම් වලට මූණ දුන්නු අයට  අපිව තේරුම් ගන්න පුළුවන් කියල අපි විස්වාස කරන නිසා. පහුගිය දවස් වල රැකියාව සම්බන්ද ප්‍රශ්න ගොඩක් ඇතිවුනා. මම යාලුවෝ කීප දෙනෙක් එක්කම කතා බහ කළා. වරු ගණන් කතා කලත් ඒ අයට මාව තේරුම් ගන්න පුළුවන් වුනා කියලා මට දැනුනේ නැහැ. අඩු තරමේ හැමදාම ලඟින් ඉන්න පවුලේ අයටවත්. එත් ඊයේ මාත් එක්කම ප්‍රශ්න වලට මූණ දුන්නු කීපදෙනෙක් මට මුණගැහුනා. ඒ අය  එක්ක ප්‍රශ්න කතා නොකලත් මට ලොකු සැනසීමක් දැනුනා. තමන්ව තේරුම් ගත්ත කියල හිත තේරුම් ගන්න විදිය හරි පුදුමයි.

මේ වෙනකොට මම 'මිත්‍රයෝ' ගැන තේරුම් ගත්තු කාරණා කීපයක්  තියනවා.ඒවා මගේ අත්දැකීම් මත පදනම් වුනු ඒවා නිසා බොහෝවිට මට විතරක් පොදු දේවල් වෙන්නත් පුලුවන්.

1. තමන් තමන්ව හොඳටම තේරුම් නොගෙන වෙන කෙනෙක් තමන් තේරුම් ගන්නකම් බලන් ඉන්න තාක් කල් හොඳම යාලුවා කියන්නේ මිත්‍යාවක්!  වෙන කෙනකුගෙන් හොඳම යාලුවෙක් හොයන එක තේරුමක් නැති  වැඩක්.තමන් තමන්ගේ හොඳම මිත්‍රයා  වුනු දවසට අනික් මිත්‍ර සම්බන්ධතා වල අගය හරියටම තේරුම් ගන්න පුළුවන්. 

2. කල්ලියකට ගැලපෙන්න බැරි වුනාට ජීවිතේදී තමන්ට ගැලපෙන මිත්‍රයෝ මුණගැහෙනවා. ඒ අය ගණනක් විදියට පොඩ්ඩක් උනත් මහමෙරක් විදියට වටිනවා. ධම්මපදේ කියනවා වගේ "තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින් නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.සහායට බාලයෙකු නො ගත යුතු ය." ගත්තොත් පසු තැවෙන්නට සිදුවෙනවාය. 
 

3. කාලෙත් එක්ක අපි සම්බන්ධතාවයකින් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙනවා. අපි ඉස්සර දුරකථන අංකයක් මිලදී ගන්න එකෙන් බලාපොරොත්තු වුනේ ලාබෙට දුරකතන ඇමතුම් ගන්න. පස්සේ ලාබම sms package එක. දැන් ලාබම data plan එක. මිත්‍ර සම්බන්දතාත් මේ වගේ තමයි. 

මම ජීවිතේ වැඩිපුරම බය කාරණා වලින් එකක් තමයි මේ තුන්වෙනි කාරණය. ඉස්කෝලේ කාලේ මග අරුණු යාළුකම් වගේ දැනට පවතින යාළුකමුත් කාලයක් ගතවෙද්දී 'මග අරුණු යාළුකම්' බවට පත්වෙයි ද කියල. හොඳටම බය හිතෙන්නේ ඒ යාළුකම් මඟ ඇරුනා කියල මට කනගාටු නොහිතෙවී කියලා. 

මේ ගැන දැනට ඉන්න කිට්ටුවන්තම යාලුවෙක් එක්ක කතා කරද්දී මගේ බය  දුරටම අඩුවුණා. ඒ නිසා යාලුවෝ ගැන මගේ කාරනා ලැයිස්තුවට තවත් කාරනාවක් එකතු කරන්න පුලුවන්.

4. කාලයත් එක්ක අපේ ප්‍රශ්න වෙනස් වෙන බව ඇත්ත. අවශ්‍යතා වෙනස්වෙන බව ඇත්ත. මේ නිසා මිනිස්සුන්ට සම්බන්දතා මග ඇරෙන බවත් ඇත්ත. හැබැයි  ඒ මිත්‍ර සම්බන්දතාවේ දෙපාර්ශවයම මේ වෙනසට අනුව හැඩගැහුනොත් මිත්‍ර සම්පත්තිය දිගටම පවත්වාගෙන යන එක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මිත්‍ර සම්බන්දතා මග ඇරෙන්න හේතුව ජීවිතේ සංකීර්ණ වීම නෙවෙයි, ඒ සිදුවන වෙනසත් එක්ක එක පාර්ශවයක් වෙනස් වෙන්න දක්වන අකමැත්ත. 

ඉතින්, අපි අවශ්‍යතාවයේ හැටියට sms, call minutes, data  plan  දෙන mobile service provider  කෙනෙක් වගේ වුනොත් sim මාරු කරනවා වගේ යාළුවො මාරු වෙන එකක් නැහැ.  

Wednesday, September 23, 2015

"ඔබ ඔය කියන 'ප්‍රේමය' ගැන මමත් හොඳින්ම දන්නවා"






(i)
එක් සිකුරාදාවක ඉඳන් 
තවත් සිකුරාදාවකට 
නොඉවසිල්ලෙන් 
දින ගැනපු කාලයක් 
කාලෙකට පෙර 
මටත් තිබුණා
නොඇසුවාට කවුරුත්...

වැසි බර අහස් කුස දෙස 
නියවමින් බලමින් 
වැහි දෙවියන්ට නෝක්කඩු කියන
සතියේ අග දවස් 
බොහෝමයක් තිබුණා
කාලෙකට පෙර 
නොදැක්කාට කවුරුත්...

****************
(ii)
ප්‍රේමය විෂයයෙහි 
මා කිසිත් නොදනිතැ'යි
පාරම් බාන ඔබැ'විත් 
උදුරා ගන්න කළියෙන් 
'මට' අයිති සිකුරාදාවල් 
බොහෝමයක් තිබුණා
මට... 
නොදන්නවාට කවුරුත්! 

*****************
 (iii)
වැස්සත් නොවැස්සත් 
හැම සිකුරාදා ම දැන්
වැහි දෙවියන් ඉන්නේ
හිතේ සැනසිල්ලෙන්!  


Monday, September 14, 2015

සිරකරුවෝත් මනුෂ්‍යයෝ ද?



'සිරකරුවෝත් මනුෂ්‍යයෝය' වැලිකඩ බන්ධනාගාරය අසලින් ගමන් කරන ඕනෑම අයෙකුට දැක හුරු පුරුදු වාක්‍යය කි. නමුත් අපට අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව සිරකඳවුරු වල තත්ත්වය බන්ධනාගාර තාප්පයේ වාත්තු කල චිත්‍රය තරම් අලංකාර නොවේ.

සැප්තැම්බර් 12 වනදාට යෙදෙන අන්තර්ජාතික සිරකරුවන්ගේ දිනය අලළා ජේෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගම මහතා සමඟ කල සාකච්ඡාවකදී සඳහන් කලේ ශ්‍රී ලංකාවේ සිර කඳවුරු වල ඇති බොහෝ බරපතල ගැටැළු අදාල බලධාරීන්ගේ අවදානයට ලක් නොවන බවත්, පිලියම් නොයෙදීම නිසා දිනෙන් දින වර්ධනය වන මේ ගැටලු මඟින් බරපතල අර්බුද රාශියකට පාර සැකසෙන බවයි. 

2009 වසරේ සිට තිරාණගම ඇතුළු මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ නීතිඥයන්ගේ සංවිධානය විසින් වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, නව මැගසින්  බන්ධනාගාරය,  මීගමුව,මහර, බෝගම්බර, කළුතර සහ රත්නපුර බන්ධනාගාර වල පිරිමි සහ වැලිකඩ, මීගමුව, බෝගම්බර සහ රත්නපුර කාන්තා රැඳවියන් සඳහා නීති ආධාර ලබා දීමේ වැඩසටහන් වලදී රැස් කරගත් තොරතුරු වලට අනුව  සිරකරුවන් ශාරීරිකව මෙන්ම මානසිකව ද බොහෝ අසහනකාරී තත්ත්වයෙන් වල පසුවෙයි. 

කෙනෙකු සිරගත වන්නේ යම් වරදකට දඩුවමක් වශයෙනි. එනිසා එම සිරගතවීමේදී මුහුණ පාන්නට සිදුවන අපහසුතාද දඬුවමේම කොටසක් ලෙස සලකා නිහඬව සිටිය යුතු යයි අයෙක් සිතිය හැකිය. නමුත් මෙලෙස සිරකඳවුරු තුල දී දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුවන්නේ යම් සිර දණ්ඩනයකට යටත් සිරකරුවන් නොවේ. චෝදනා වලට වැරදි කරුවන් නොවූ, උසාවියෙන් දඬුවම් නියම නොවුණු රැඳවියන් විශාල සංඛ්‍යාවකට  ද මෙලෙස අනිසි දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුව ඇත්තේ රටේ ක්‍රියාත්මක වන නීතියටත් වඩා, නීතිය ක්‍රියාත්මක කරවන අංශ වල අයගේ දුර්වලතා නිසාවෙන් ය. 

සිරකඳවුරු වල තදබදය 

ලංකාවේ සියලුම බන්ධනාගර බරපතල තදබදයකට මුහුණ දෙන්නේ අද ඊයෙක සිට නොවේ. 2009 වසරේදී ලංකාවේ සියලුම බන්ධනාගාර වල රඳවා තබා ගත හැකි රැඳවියන් සංඛ්‍යාව වුයේ 11,707  කි (සිර  දඩුවමකට යටත් -6673 සහ රිමාන්ඩ් -5034).2015 වන විටද මෙම සංඛ්‍යාව නොවෙනස්ව  පවතියි. 2009 වසරේ නම් කරන ලද  දිනයකදී  බන්ධනාගාර වල සිටි රැඳවියන් සංඛ්‍යාව 27,873  (සිර  දඩුවමකට යටත් - 13,694 සහ රිමාන්ඩ් - 14,129)ක් විය. මෙය රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට ආසන්න වශයෙන් සමාන වේ. 1995 වසරේදී දිනක රැඳවියන්ගේ සාමන්‍යය 11,447ක් වූ අතර, 2014 බන්ධනාගාර දත්ත වලට අනුව මේ සංඛ්‍යාව තෙගුණයකි. 

1997 වසරේදී ඇප පණත හදුන්වා දෙමින් එවකට අධිකරණ ඇමති ජී එල් පීරිස් මහතා ප්‍රකාශය සලකා බලමු. 

" පසු ගිය මාස හය තුලදී මා විසින් වැලිකඩ, බෝගම්බර, නුවර සහ මාතර ඇතුළු බොහෝ බන්ධනාගර වල සංචාරය කරන්නට යෙදුනා. එහිදී දක්නට ලැබුණු සිරකරුවන් අතරින් යම් දඬුවමකට ලක් නොවී සිරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව ශෝචනීයයි. මේ අතරින් බොහෝ දෙනෙක් බන්ධනාගාරය තුල රැඳී සිටින්නේ ඔවුනට ගෙවීමට නියම කල මුදල් සොයා ගැනීමට නොහකි නිසයි. ඒ නිසයි මේ තත්ත්වය අනුකම්පා උපදවන සුලු තත්ත්වයක් වන්නේ." 

"මෙය ඉතාමත් දරුණු තත්ත්වයක්. මෙය විශ්වාස කරන්නට නම් එය සියසින් දැකිය යුතු වෙනවා. මෙලෙස සිරගතව සිටින පුද්ගලයන් අතර අවුරුදු දෙක, තුන, හතර ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය සිටිනවා. මෙය එකඟ විය නොහැකි තත්ත්වයක්"  (1997.10.07 හැන්සාඩ් වාර්තාව )

1997 ඇප පණත හදුන්වා දුන්නේ මේ ගැටලුවට පිලියමක් ලෙස වුවත්, මෙම දත්ත අනුව පෙනී යන්නේ මෙම අභියෝගය ජය ගැනීමට එය අසමත් වී ඇති බවකි. 

දිගු කාලීන රිමාන්ඩ් රැඳවියන් 

සිරකඳවුරු වල උක්ත තදබදයට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඇප ලබා ගැනීමට නොහැකිව සහ අධිකරණයෙන් දඩුවම් නියම නොවූ සැකකරුවන් දීර්ඝ කාලීන ලෙස රිමාන්ඩ් බන්ධනාගාර තුල රඳවා ගෙන  සිටීමයි. තිරාණගම මහතා සඳහන් කල සිදුවීම්  අතර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවෙකු අවුරුදු 9ක් සහ මාස 7ක කාලයක් තුල රිමාන්ඩ් භාරයේ තබාගත් අවස්තාවක් සහ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවෙකු අවුරුදු 8ක් සහ මාස 3ක කාලයක් තුල රිමාන්ඩ් භාරයේ තබාගත් අවස්තාවක් වූ අතර මෙවැනි උදාහරණ රිමාන්ඩ් රැඳවියන් අතර දුලබ නොවේ.

ඉතාම අවාසනාවන්ත ලෙස මේ අතරින් සමහර රැඳවියන් තම ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම රිමාන්ඩ් භාරයේ සිටිමට සිදුවූ අවස්ථා ද සඳහන් වේ. තවදුරටත්  මේ පිළිබඳව පැහැදිලි කල තිරාණගම මහතා ප්‍රකාශ කලේ මෙලෙස රිමාන්ඩ්  භාරයේ  සැකකරුවන් සමහර අවස්ථා වලදී තමන් සැක පිට අත් අඩංගුවට පත්ව සිටින වරදට සාමාන්‍යයෙන් නියම කරන දඬුවම් කාලය මෙන් තුන් ගුණයකට ආසන්න කාලවකවානුවක් රිමාන්ඩ් බාරයේ සිටීමට සිදුවූ අවස්ථා ද බොහෝමයක් ඇති බවයි. 

2014  බන්ධනාගාර දත්ත වාර්තා වලට අනුව 2013 දෙසැම්බර් 31 වන දින රිමාන්ඩ් බාරයේ සිටි රැඳවියන් 10,032 අතරින් රැඳවියන්  2,220 ක් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියවුන් වන අතර, ඒ අතරින් පිලිවෙලින් රඳවියන් 480 ක සහ 127 ක සංඛ්‍යාවක් අවුරුදු තුනකට සහ අවුරුදු පහකට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිය වුන් වේ.   


ප්‍රතිවිපාක 

මේ ආකාරයෙන් දීර්ඝ කාලීනව සිරගතව සිටීමට සිදුවීම නිසා බන්ධනාගාර වල ඇතිවන  තදබදයට අමතරව එම සිරගතව සිටින පුද්ගලයාටද මුහුණ දීමට සිදුවන ශාරීරික සහ මානසිකව අහිතකර තත්ත්වයන් රාශියකි. බන්ධනාගාර ආඥාපනතට අනුව රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ට   දිනකට වරක් තම ඥාතීන් හමුවිය හැකි අතර ආහාරපාන වර්ග නිවසෙන්  ගෙන්වා ගත හැකිය. නමුත් දින නියමයක් නොමැතිව මෙලෙස රිමාන්ඩ් බාරයේ  ගණනාවක් රැදී සිටින්නවුන් බැලීමට දිනපතා පැමිණිම අභියෝගයකි. චෝදනාව ඔප්පු වනතුරු ඔවුන් නීතිය අබිමුව නිවැරදි කරුවන්ය. නමුත්, ඔවුන් තමන්ට හුරු පුරුදු  භාහිර ලෝකයෙන් වෙන් වී සිරකඳවුරු වලබිත්ති අතරට කොටු වී කල් ගෙවති. මෙලෙස දීර්ඝ කාලීනව බාහිර ලෝකයෙන් වෙන්වී, නැවත එම ලෝකය හා එක්වීමට ලැබෙන දිනයක් ගැන නොදත් ඔවුහු මානසික අවපීඩන තත්ත්වයක්ට ගොදුරු වීමට ඇති ඉඩ වැඩි වීම පුදුමය උපදවන කරුණක් නොවේ.


එක්  අයෙකුට ඇති ඉඩක තුන්දෙනෙකු රඳවා තබන විට ඇති වන අපහසුතා ගැන  සිතන්න.  එක් අයෙකු විසින් බාවිතා කලයුතු පහසුකම් තිදෙනෙකු අතර බෙදාගත යුතුවේ. මෙම ඉලක්කම් දහස් ගණනකින් වූ විට අර්බුධයේ තරමද  එලෙසම වැඩි වේ. ඒ හා සමගම තීව්‍රවන සනීපාරක්ෂාව පිලිබඳ ගැටළු, පරිසර ගැටළු සහ සමාජීය ගැටළු නිසා සිරකරුවන්ගේ තත්ත්වය තවදුරත් පහත වැටෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. 

මෙවැනි තත්ත්වයන්  මත  සිරකරුවන් ප්‍රචණ්ඩකාරී වීම බන්ධනාගාර පාලකයින් විසින් මුහුණ දෙන තවත් ගැටලුවකි. මෑත කාලයේදි වැලිකඩ, වවුනියා සහ අනුරාධපුර ඇතුලු බන්ධනාගාර කිහිපයක ඇතිවූ කැරලි කෝලාහල උදාහරණ කොට ගත හැකිය. 

පෙර සඳහන් කල පරිදි රිමාන්ඩ් භාරයේ සිටින සියලුම රැඳවියන් වැරදි කරුවන් නොවේ. උදාහරණයක් ලෙස වැරදි වැටහීමක් හෙතුවෙන් අත් අඩංගුවට පත් වුවෙකු සලකන්න. උසාවියෙන් තීන්දුවක් ලැබෙන තුරු රිමාන්ඩ් බාරයේ පසුවීමට සිදුවුවහොත්, වරදක් නොකලා වුවද බන්ධනාගාර ජීවිතයේ අභියෝග වලටත්, එම පරිසරයටත් මුහුණ දීමට ඔහුට සිදුවේ. ඔහු හෝ ඇය අහිංසක වුවත් ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරි වු වෙනත් අපරාධකරුවන් හා ගැටීමට සිදු වේ. ඒ අතර මත්ද්‍රව්‍ය තැරව්කරුවන් හෝ භාවිතා කරන්නන් ද විය හැකිය. 
 
වරදක් නොකල අයෙකු වුවද දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි පරිසරයක ගැටීම නිසා වරදට යොමු වුවහොත් එය පුදුම විය යුතු කරුණක් ද? සාමාන්‍ය මිනිසුන් ලෙස බන්ධනාගාර ගත වුවන් නැවත සමාජයට පැමිණි විට අපරාධකරුවන් ලෙස හැසිරීමට හේතුව ලෙස සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂකයන්ද මේ හේතුව හඳුනා ගනියි. 

වියදම 

 මීට අමතරව මෙලෙස රඳවා ගෙන සිටින සැකකරුවන් තවත් ගැටළු රාශියකට මුහුණ දෙනු  ලබයි. ඒ අතර නීති ආධාර ලබාගැනීමේ හැකියාව නොමැති වීම, තම වේතනය උපයා ගැනීමට ඇති හැකියාව නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ගැටළු ප්‍රධාන වෙයි. 

මෙයින් අනිසි ලෙස රටේ සමස්ත ආර්ථිකයට සිදුවන බලපෑමද නොසලකා හැරිය නොහැකිය. මෙලෙස සිරගතව සිටින්නන්ගෙන් බොහොමයක් රටේ ශ්‍රම බලකායේ කොටස්කරුවන් වේ. දඬුවම් විදින රැඳවියන් විවිධ කර්මාන්ත වල යෙදෙවිය හැකි වුවද රිමාන්ඩ් රැඳවියන් එසේ කර්මාන්ත වල යෙදෙවීමද කල නොහැකිය.  

එක් අතකින් ඔවුන්ගේ ඉපයීම් මාර්ග වැසී අතර, අනෙක් අතින් ඔවුන් වෙනුවෙන් මහජන මුදල් භාවිතා වේ. බන්ධනාගාර දෙපාර්තමෙන්තුවට අනුව එක් රැඳවියෙකු සඳහා දිනකට රුපියල් 300ක් පමණ වැය වේ. මෙලෙස ගත් කල රිමාන්ඩ් රැන්ඳවියකු සඳහා අවමව රුපියල් 109,500ක මුදලක් වසරකට වැය වන අතර මේ වියදම් වන්නේ මහජනතාවගේ බදු මුදල්ය. 
   
තිරාණගම ඇතුළු මානව හිමිකම් සහ සංවර්දනය සඳහා වූ නීතිඥයන්ගේ සංවිධානය මෙම ගැටලු අතර වන, මානව හිමිකම් කඩවීම් පිලිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව අවස්තා කිහිපයකදීම දැනුවත් කර ඇති නමුත් ඒ සඳහා සාර්ථක විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

සිරකරුවන් පිළිබඳව ඇති ගැටලු මෙහි සඳහන් ගැටළු කිහිපයට පමණක් සීමා වූවක් නොවේ. මෙහි සඳහන් රිමාන්ඩ් සිරකරුවන් පිලිබඳ ගැටළු බොහෝමයක් රටේ නිතී පද්ධතියේ අක්‍රමිකතා මඟ හරවා ගැනීමෙන් පමණක් බොහෝ දුරට විසඳා ගත හැකිය. නමුත් ඒ පිළිබඳව බලය ඇත්තන්ගේ අවධානය සෑහෙන පමණ යොමු වී ඇති බවක් ද නොපෙනේ. 

මේ අනුව බලන කල එක් කරුණක් ඉතා පැහැදිලිය. ලංකාවේ සිරකරුවන් ද මනුෂ්‍යයන් ය. කර්මය පල දෙන මනුෂ්‍යයන් ය. අපේ බන්ධනාගාර වල තත්ත්වය විමසා බැලූ විට අපේ නිතී පද්ධතියට වඩා කර්ම ශක්තිය බලවත් යැයි නොසිතා සිටීමට නොහැකි ය. 

Friday, July 3, 2015

අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ!

අද අහස අඳුරුය.
ඛේදසහගතය.
මගේ හදවත වාගේය

මොහොතකින් වැසි බිඳු
වැටී මහා පොළොවට
හෑල්ලු කරාවි ඔබේ බර

මොහොතකින් යලි ඉර
බබලාවී අහස මැද
කිසිදිනක වැසි වලා නොදුටු සේ

කඳුළු මට නැත
සිඳී ගොස් ඇත
ඉදින් මා හැමදාම අඳුරුය
නොපායාවි නැවත ඉර

අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ!

Monday, June 15, 2015

මම අදේවවාදියෙක් නොවෙමි. නමුත්...

මා දන්නා එක් පවුලක දරුවෝ තිදෙනෙක් වූහ. ඔවුහු දෙමවුපියන් හා සතුටෙන් සමගියෙන් ජීවත් විය. හිටිහැටියේ උන්ගේ මවු මිය ගියේය. දුකට පත් පියාද කෙටි කලකින්ම මෙලොව අත්හැර  ගියේය. දරුවෝ  මේ ලොව තනිවූ විට ඔවුන්ගේ හිතවත්තු, "අපේ පුතාලව දෙවියොම බලන්න ඕනේ" යයි කන්නලවු කළහ. දරුවන්ගෙන් වැඩිමහල් දරුවා පවුලේ බර කරට  ගත්තේය. බොළඳ වියට  කලින්ම සමුදුන් ඔහු තනිවම පවුලේ බර ඇද්දේය. පොඩිවුන් දෙන්නා කවදාවත් බඩගින්නේ නොතියන්නට ඔහු උත්සහ  දැරුවේය.ඔහුගේ දිරිය දුටු හිතවත්තු, "පුතාට වරදින්නේ නැහැ, දෙවියන්ගේ පිහිටෙන්  ඔක්කොම හොඳින් වෙයි," යයි කීහ. නමුත් සියල්ල හොඳින් සිදුවුයේ  නැත.අත්දැකීම් අඩුකමත්, හරි මග කියන්නට දෙමවුපියන් ළඟ නැති නිසාත් ඔහු කලකින් නොමග ගියේය.  දැන් සියල්ලෝම  ඔහුට දෙස් දෙයි. "උබේ ඉදිරිය දැක්මක් නැති නිසා තමයි මේ ඔක්කොම," හිතවත්තු  කියති. ඔහුව බලාගන්නවා යයි කියූ දෙවියන් ඔහුව ආරක්ෂා කලේ නැත. ඔහුට හරි මග  පෙන්නුවේ නැත. නමුත් හිටවතුන් දෙවියන්ට දෙස් දෙනවා මට ඇසුනේ නැත.

දෙවියනි ඔබ බලසම්පන්නය. මම නිකම්ම මනුෂ්‍යයෙකි. අසරණ ඔහුට ඔබ හරි මග නොපෙන්නුවේ ඇයිදැයි මට විමසිය හැකිද?

මම නිවසට එන අතරමගදී  දිනපතා මම කඩවසම් තරුණ පිරිමි දරුවෙකු දකින්නෙමි. ඔහු  යමක් කමක්  ඇති පවුලක සැපට හැදුනු දරුවකු බව  දුටු විගසින් තේරුම් ගත හැකිය. රූමත් තරුණ ලඳුන් ඔහුගේ අසලින් එහෙ මෙහෙ යන විට, ඔහුගේ ඇස් දිලිසෙනයුරු මා හොඳින්ම දැක  ඇත්තෙමි. ඔහු ඒ ගැහැණු  ළමුන් හා සිනාසේ. ඔහුගේ සිනාවේ තේරුම් ගත නොහැකි දුකක් ලියවී ඇත. මේ ඇයි දැයි තේරුම් ගන්නට මට කලක් ගත විය. ඔහුගේ  සිනාව දුක් බර  වන්නේ, ඔහුට ඇත්තේ ඒ සිනාව පමණක් වන  බැවිනි. ගේ දොර, වතු පිටි සියල්ල දී සුන්දරව වැදුණු මේ තරුණයාට සිතට එන සිතිවිලි වචන කරන්නට නොහැකිය. ගැහැණු ළමුන් ඔහු කඩවසම් බව මුමුණන හඬ ඔහුට ඇසෙන්නේ නැත.

සර්වබලධාරි දෙවියනි, මම කිසිවක් නොදන්නා මනුස්ස දුවකි.  මේ තරුණයාට  ශබ්ද නගන්නට හෝ අසන්නට හැකියාව ඔබ නොදුන්නේ ඇයි දැයි ම ඔබෙන්   අසන්නේ  කෙසේද?

ටික කලකට පෙර මම මිතුරෙකුගේ සුව දුක් බලන්නට මහරගම පිළිකා රෝහලට ගියෙමි. මගේ මිතුරා තරමක් වියපත්ය. ජීවිතය පිලිබඳ දැනුම් තේරුම් ඇත. ජීවිතය විඳ ඇත. ඔහුගේ ඇඳ ඉදිරි ඇඳෙහි සිටි දරුවාගේ වයස අවුරුදු දහසයකට වැඩි වන්නට නොහැකිය.  ලෙඩුන් බලන වෙලාව වූ බැවින් ඔහු වට කර සමවයසේ මිතුරු කැලකි. ඔවුහු  බරක්පතලක් නොමැතිව කටට එන්නක්ම දොඩවති. පන්තියේ විවේක කාලයකදී  මෙන් වාට්ටුවේ  එකම ගාලගොට්ටියකි. මිතුරන් සමග තරගයට  සිනාසුනද  ලද ඇසිල්ලකදී ඔහුගේ මුහුණ වේදනාවෙන්  බර වෙන  බව සැලකිල්ලෙන් බලන්නෙකුට මිස වෙනත් අයෙකුට දකින්නට ලැබේවිද යන්න මට සැකයකි. යහළුවන් සමග විනෝදයෙන් ගත කල යුතු කාලය ඔහු ගතකරන්නේ රෝහලේ  ඇඳක් මතය; ජීවිතය විඳිය යුතු කාලය ඔහු ගත කරන්නේ තවදුරටත් ජීවත් වන්නට ඉඩ ලැබෙයි දෝ කියා විඳවමිනි.

මා නිකම්ම නිකම්  මනුස්සයෙකි. මා නිරීක්ෂණය කල දේ දෙවියන්ට මග හැරුනේ කෙසේදැයි මම කෙසේ අසන්නද ?

 මගේ  රටේ  නිරතුරුවම සියදිවි නසගත්තවුන් ගැන අසන්නට ලැබේ. අධර්මයෙන්  මිනිසුන් පෙලන නායකයින්, වංචාකරුවන් සහ සොරුන්  එමටය. දරුවන් නැති දෙමවුපියන්, දෙමවුපියන්  නැති දරුවන් ගැන කතා  කෙතරම්ද? කොළඹ පාරක්  දිගට ඇවිද  යන විටදී අඩියෙන් අඩියට යාචකයෙකි.  නැතිනම් අත්පා  අහිමි වූවෙකි; අන්ධ මිනිසෙකි; රෝගියෙකි.  දෙවියන්  වැඩ සිටිනා පන්සලක, පල්ලියක, කෝවිලක නැති දේ ගැන හඬා වැටෙන්නෝ අඩු  නැත. දෙවියන්ගේ  බිමේ  සිට ඔහුවූ දේව භක්තිකයින්ගෙන් අනුකම්පා අයදිති.

ඉතින්, මා නම් බල නැති මිනිසෙකි.  ඔද තෙද බල ඇති දෙවියන් ප්‍රශ්න කරන්නට මට ඇති අයිතිය  කුමක්ද?

Monday, June 1, 2015

නිදහස් මානවකය,


බැමි ඇති
බැමි නැති
බැමි අතහැර නැති
ලතැවෙන
කැළඹෙන
සිතුවිලි
ඉම නැති...

ඒ හැම අතරෙහි
මා ඔබ දුටුවෙමි!

ඇති බැමි
නැති බැමි
කිසිවක් වග නැති
ඔබ ලොව දස අත
ඔහේ ඇවිද යති
නිදහස් අදහස්
වටකළ  බැමි නැති
ඔබේ දිවිය ගැන
කිම මා බැඳ ඉසි?


Friday, April 10, 2015

(අ)මිහිරි අවුරුදු!

කණ  හිරිවට්ටන
කොවුලාගේ නාදේ
මතකද  ඉස්සර
සුමිහිරි ගැයුමකි

හතර කොනට
අපි හතරක් උන් කල
මතකද  රස පිරි
අවුරුදු මේසෙකි

අලුත් ඇඳුම් ඇඳ
ලිප මොළවන කොට
මතකද සරුවට
කිරි උතුරපු හැටි

එරබදු මොකටද
වැට ළඟ පිපිලා
අද ඔබ නැති කල
හිත ළඟ සුසුමෙකි!

Wednesday, March 25, 2015

ඕනෑ කර තිබේ!



ඇත්නම් අයෙක් ලොවේ
නිමවන්නට සමත් 
පාට පුයර, සුවඳ විලවුන්

මකන්නට හැකි
වෛර කුයිලය
ඔබේ සියොළඟ නැඟෙන

වසන්නට හැකි
ක්‍රෝධ රේඛා
ඔබේ මුහුණේ ඇඳුනු

ඕනෑ කර තිබේ ඔහු
ලෝකය ලස්සන තැනක් කරන්නට!

Tuesday, March 10, 2015

ඉතිරිව ඇති එකම පැණය

සබඳ,
ඔබෙන් අසන්නට 
ඉතිරිව ඇත්තේ 
තව එක් පැණයක් 
පමණකි ...

මා ඔබේ සොඳුරිය 
නොවුනේ නම් 
රෑ සිහිනෙන් විත් 
ඉඳ හිට 
හිස අතගා-මා සනසා 
යන්නට එන්නේ කිම 

මා රිදවන්නද ?
මා රවටන්නද ?

ඔබෙන් අසන්නට
ඉතිරිව ඇත්තේ
තව එක් පැණයක්
පමණකි!

Wednesday, February 25, 2015

ඔබෙන් ඉක්මන් පිළිතුරක් ලැබෙන තුරු...

වර්ෂ 2015ක් වූ පෙබරවාරි මස 25 වනදා නිවසේදීය 

දයාබර හිතවත, 

ඇනුණු කටුවක් නිසා වණ වූ තුවාලයකින් කලක ඔබත් පීඩා විඳි බව මගේ මතකයට නැගුනු බැවින් ඔබට ලියන්නෙමි. 


කලකට පෙර යටි පතුලේ ඇනුණු බෝගන්විලා කටුවක් නිසා මා බොහෝ කලක සිට පීඩා වින්දෙමි. පොළොවේ අඩිය තබා ඇවිදින වාරයක් වාරයක් පාසා මට දැඩි වේදනාවක් දැනුනත්, කිසිවෙකු ලවා කටුව ඉවත් කර ගතහොත් සහනයක් ලැබෙන බව දැන දැනත් එසේ නොකිරීමට හිත නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි මට කියන්නට නොතේරෙයි. ඇනුණු විගසම ගලවා දැමුවා නම් මෙවන් පීඩාවකට මා ලක් නොවන්නට ඉඩ තිබුණි. නමුත් කටුව ඇනුණු මොහොතේ ඒ ගැන එතරම් උනන්දුවක් ඇති නොවුනේ කුමන හෝ අහේතුවකට විය යුතුය. 

කටුව ඇනුණු මුල් කාලයේදී ඇවිදින විට දැනුනු සියුම් වේදනාව මට සිහින් වින්දනයක් විය.කටුව ගලවා දැමීම මා තව තවත් ප්‍රමාද කරන්නට ඇත්තේ ඒහෙයින් විය යුතුය. කල් ගතවෙද්දී වේදනාව ක්‍රමයෙන් පුරුද්දක් බවට පත්විය. ඉතින් කකුලේ ඇනුණු කටුව ඉවත් කිරීම කල නොයුත්තකි. එය එසේම තිබෙන්නට හැරිය යුතුව තිබුණි. කෙසේ වෙතත් කල් ගත වත්ම කටුව ටිකෙන් ටික යටි පතුල පාසා කරගෙන තව තවත් ඇතුලට යන්නට විය. වේදනාව දැනෙන නොදැනෙන තරමේ නිසා ඒ ගැන අවදානයක් යොමු කරන්නට සිදු වුයේ නැත. කල් යද්දී වේදනාව නැත්තටම නැති තරමේ නිසා එය ඉබේ ගැලවී යන්නට ඇතැයි  මා සිතුවෙමි. 


නමුත් එය එසේ ගැලවී ගොස් නැති බව මට දැනුනේ දිනක් හදිසියේම කටුව ඇනුණු කකුල ගලක හැපුණු විටදීය. කටුව ඇනුණු තැනම ගලේ වැදුණු නිසාදෝ පැරණි වේදනාව නැවත මතුවිය. කාලයත් සමග අමතකව ගොස් තිබුණු දැනීමක් නිසාදෝ එක වරම අලුත් වුනු වේදනාව දරන්නට නොහැකි තරමේ විය. පළමු වතාවට කටුව ගලවා දැමිය යුතු යැයි මට කල්පනා විය.


ඉතින් අලුත් යතුරු කටුවක් සොයා එය ස්ප්‍රීතු යොදා පිරිසිදු කලෙමි. යටි පතුලේ කටුව ඇනුණු තැනත් හොඳින් පිරිසිදු කර ගන්නට වග බලා ගත්තෙමි. හිත දැඩි කරගෙන ඇනුණු කටුව හමු වෙනතුරු යතුරු කටුවෙන් පතුල හැරුවෙමි. එය මා සිතුවාට වඩා දැඩි ලෙස වේදනා ගෙන දෙන්නක් විය. දැඩි ඉවසීමකින් උත්සහ කලද ඇනුණු කටුව සොයා ගන්නට නොහැකි විය. 


කෙසේ හෝ මේ පීඩාකාරී කටුව සොයාගන්නෙමියි සිතා හිත දැඩි කරගෙන තවත් ගැඹුරට යටි පතුල හෑරුවෙමි. ඝනකම සම කොටස පසු කර ඇති නිසා යතුරු කටුවේ තුඩ ඇනෙනා  වරක් වරක් පාසා දැනුනු වේදනාව දෑසට කඳුළු නංවන තරම් විය. 


මෙතරම් උත්සහ කර කටුව ඉවත් නොකරගෙන උත්සාහය අතහැර දැමීම ඵලක් නොවන බැවින් වේදනාව දරාගෙන මස පාදමින් තව තවත් ඇතුලට හෑරුවෙමි. සියුම් සමද තුවාල වී ලේ ගලන්නට වුවද මට හමුවුනු කටුවක් නැත. එය කාලයත් සමගම මගේ සිරුරේම කොටසක් බවට පත්වන්නට ඇතැයි සිතමි. නැතිනම් කටුව නොහම්බෙන්නට හේතුවක් නැත. 


වේදනාව නැවත මතු වුනු විට කටුව ඉවත් කරන්නට ගත තීරණය වැරදි තීරණයකි. මතුවුණු වේදනාව නැවත යටපත් වන්නට ඉඩ හැර මා බලා සිටිය යුතුව තිබුණි. දැන් කටුව තිබු තැන ගැඹුරු තුවාලයකි. විවිධ ඖද යෙදුවත් තුවාලය දිනෙන්  දින පැසවනවා මිසක සුව වන බවක් පෙනෙන්නට නැත. වේදනාව කොතරම්ද යත්, දැන් ඇවිදින්නටවත් ඒ අඩිය බිම තබන්නට පුළුවන් කමක් නැත. 


කුමන ඖෂදයක්, ප්‍රතිකර්මයක් බාවිතා කරන්නදැයි මට තේරෙන්නේ නැත. මේ වේදනාවෙන් මා මිය යන්නේ නැති බව දනිමි. නමුත් කකුලේ අඩිය නැවත කිසිදිනක බිමින් තබන්නට බැරි වේදෝයි අනියත බියකින් මගේ සිත ඔද්දල්ව ඇත. 


ඔබේ තුවාලය සුව වන්නට ඇතැයි සිතමි. කලයුත්තේ කුමක් දැයි සිතා ගන්නට නොහැකි බැවින් ඔබේ උපදෙස් පතමි. මේ සඳහා කල හැකි දෙයක්, ලබා ගත හැකි සහනයක් වේනම් මට දැනගන්නට සලස්වන්න. 


ඔබෙන් ඉක්මන් පිළිතුරක් ලැබෙන තුරු බලා සිටිමි.


සදා ජය, 


මීට,


වේදනාවෙන් ගැලවීමක් නැතැයි බියට පත් මම!


Thursday, January 22, 2015

මඟුල් පරක්කුව

පහුගිය දවසක රැකියාවේ වැඩකට මිරැන්ඩා හේමලතා මහත්මිය මුණගැහෙන්න යන්න අපට සිද්ධ වුනා. අපි ඇගේ  නිවසට ගිය අවස්ථාවේ ඇය  අපේ පැරණි ජන ක්‍රීඩා උපකරණ කිහිපයක් අධ්‍යයනය කරමිනුයි හිටියේ.ඇය අධ්‍යයනය කරමින් හිටිය උපකරණ සියල්ල මුල් උපකරණ අදේශයෙන් ඇය  විසින් තනා ගත් ඒවා. ඒ අතර තිබුණු මඟුල් පරක්කුව ගැන ඇය අපට රසවත් කතාවක් කිව්වා.

"මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න බාවිතා කරපු ක්‍රීඩාවක්. ඉවසීම නැති කෙනෙකුට මේක අවසානය වෙනතුරු ක්‍රීඩා කරන්න බැහැ. මඟුල් පරක්කුව කියල මේකට නම වැටෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඉස්සර මඟුල් බලාපොරොත්තුවක් තියාගෙන පිරිමි දරුවෙක් තමන්ගේ ගෙදරට ආවම ගැහැණු  දරුවාගේ තාත්තා, දුවව පෙන්නනන්න කලින් පිරිමි දරුවට දෙන්නේ මේ මඟුල් පරක්කුව. මේ ප්‍රේහෙලිකාව පිරිමි දරුවා විසඳන විදියෙන් ඔහු තේරුම් ගන්නවා මේ පිරිමි දරුවා තමන්ගේ දුව දෙන්න තරම් සුදුසු ඉවසිලිවන්තයෙක්ද කියල."

ඇය කියන්නේ අපි දැනට බටහිරින් එන බුද්ධි වර්ධන උපකරණ වලට වැඩ බොහොම දියුණු උපකරණ අපේ ගැමියන් අතර භාවිත වුනත්, අපේ අවාසනාවකට මේ දේවල් අභාවිතය ගිහින නිසා, බටහින් එන උපකරණ අපිට මැජික් වගේ පේනවා කියලයි.

මේ පින්තුරේ තියෙන්නේ හේමලතා මහත්මිය හදාගෙන තියන මඟුල් පරක්කුව. මේ විසඳලා ඉවර වුනු මඟුල් පරක්කුවක්.



පහල තියන පින්තුරේ ලංකාදීප පත්තරේ පළවුණු එකක්. මගුල් පරක්කුව විසඳගන්න එක ආකාරයක  පියවර එකේ පෙන්නලා තියනවා.
(http://www.lankadeepa.lk/index.php/articles/107523)


රුපයේ පෙන්නලා තියන ආකාරයට කෙලවරේ තියන හතරැස් ලොකු කොටස ඉදිරියේ තියන විවෘත කොටසින් එලියට ගැනීමයි කල යුතු වන්නේ. මේක විසඳන එක සංකීර්ණ බව මේ රූපයෙන්ම පේනවා.

මේ ගැන උනන්දුවක් ඇති වුනු නිසා අන්තර්ජාලය හරහා තව තොරතුරු ටිකක් හොයල බැලුවා. බොහොමයක් ලිපිවල තිබ්බේ මඟුල් පරක්කුව විවාහ මංගල උත්සව වලදී චාරිත්‍ර සිදු වෙනකම් ඥාතින්  කාලය ගත කරන්න භාවිතා කල දෙයක් කියලයි. ඒ පිලිබඳ වීඩියෝවක් පල්ලෙහා තියෙන්නේ.

https://www.facebook.com/video/video.php?v=822338384491965

තව තොරතුරු දන්නවනම් පහලින් ලියලම යමු...