Wednesday, February 25, 2015

ඔබෙන් ඉක්මන් පිළිතුරක් ලැබෙන තුරු...

වර්ෂ 2015ක් වූ පෙබරවාරි මස 25 වනදා නිවසේදීය 

දයාබර හිතවත, 

ඇනුණු කටුවක් නිසා වණ වූ තුවාලයකින් කලක ඔබත් පීඩා විඳි බව මගේ මතකයට නැගුනු බැවින් ඔබට ලියන්නෙමි. 


කලකට පෙර යටි පතුලේ ඇනුණු බෝගන්විලා කටුවක් නිසා මා බොහෝ කලක සිට පීඩා වින්දෙමි. පොළොවේ අඩිය තබා ඇවිදින වාරයක් වාරයක් පාසා මට දැඩි වේදනාවක් දැනුනත්, කිසිවෙකු ලවා කටුව ඉවත් කර ගතහොත් සහනයක් ලැබෙන බව දැන දැනත් එසේ නොකිරීමට හිත නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි මට කියන්නට නොතේරෙයි. ඇනුණු විගසම ගලවා දැමුවා නම් මෙවන් පීඩාවකට මා ලක් නොවන්නට ඉඩ තිබුණි. නමුත් කටුව ඇනුණු මොහොතේ ඒ ගැන එතරම් උනන්දුවක් ඇති නොවුනේ කුමන හෝ අහේතුවකට විය යුතුය. 

කටුව ඇනුණු මුල් කාලයේදී ඇවිදින විට දැනුනු සියුම් වේදනාව මට සිහින් වින්දනයක් විය.කටුව ගලවා දැමීම මා තව තවත් ප්‍රමාද කරන්නට ඇත්තේ ඒහෙයින් විය යුතුය. කල් ගතවෙද්දී වේදනාව ක්‍රමයෙන් පුරුද්දක් බවට පත්විය. ඉතින් කකුලේ ඇනුණු කටුව ඉවත් කිරීම කල නොයුත්තකි. එය එසේම තිබෙන්නට හැරිය යුතුව තිබුණි. කෙසේ වෙතත් කල් ගත වත්ම කටුව ටිකෙන් ටික යටි පතුල පාසා කරගෙන තව තවත් ඇතුලට යන්නට විය. වේදනාව දැනෙන නොදැනෙන තරමේ නිසා ඒ ගැන අවදානයක් යොමු කරන්නට සිදු වුයේ නැත. කල් යද්දී වේදනාව නැත්තටම නැති තරමේ නිසා එය ඉබේ ගැලවී යන්නට ඇතැයි  මා සිතුවෙමි. 


නමුත් එය එසේ ගැලවී ගොස් නැති බව මට දැනුනේ දිනක් හදිසියේම කටුව ඇනුණු කකුල ගලක හැපුණු විටදීය. කටුව ඇනුණු තැනම ගලේ වැදුණු නිසාදෝ පැරණි වේදනාව නැවත මතුවිය. කාලයත් සමග අමතකව ගොස් තිබුණු දැනීමක් නිසාදෝ එක වරම අලුත් වුනු වේදනාව දරන්නට නොහැකි තරමේ විය. පළමු වතාවට කටුව ගලවා දැමිය යුතු යැයි මට කල්පනා විය.


ඉතින් අලුත් යතුරු කටුවක් සොයා එය ස්ප්‍රීතු යොදා පිරිසිදු කලෙමි. යටි පතුලේ කටුව ඇනුණු තැනත් හොඳින් පිරිසිදු කර ගන්නට වග බලා ගත්තෙමි. හිත දැඩි කරගෙන ඇනුණු කටුව හමු වෙනතුරු යතුරු කටුවෙන් පතුල හැරුවෙමි. එය මා සිතුවාට වඩා දැඩි ලෙස වේදනා ගෙන දෙන්නක් විය. දැඩි ඉවසීමකින් උත්සහ කලද ඇනුණු කටුව සොයා ගන්නට නොහැකි විය. 


කෙසේ හෝ මේ පීඩාකාරී කටුව සොයාගන්නෙමියි සිතා හිත දැඩි කරගෙන තවත් ගැඹුරට යටි පතුල හෑරුවෙමි. ඝනකම සම කොටස පසු කර ඇති නිසා යතුරු කටුවේ තුඩ ඇනෙනා  වරක් වරක් පාසා දැනුනු වේදනාව දෑසට කඳුළු නංවන තරම් විය. 


මෙතරම් උත්සහ කර කටුව ඉවත් නොකරගෙන උත්සාහය අතහැර දැමීම ඵලක් නොවන බැවින් වේදනාව දරාගෙන මස පාදමින් තව තවත් ඇතුලට හෑරුවෙමි. සියුම් සමද තුවාල වී ලේ ගලන්නට වුවද මට හමුවුනු කටුවක් නැත. එය කාලයත් සමගම මගේ සිරුරේම කොටසක් බවට පත්වන්නට ඇතැයි සිතමි. නැතිනම් කටුව නොහම්බෙන්නට හේතුවක් නැත. 


වේදනාව නැවත මතු වුනු විට කටුව ඉවත් කරන්නට ගත තීරණය වැරදි තීරණයකි. මතුවුණු වේදනාව නැවත යටපත් වන්නට ඉඩ හැර මා බලා සිටිය යුතුව තිබුණි. දැන් කටුව තිබු තැන ගැඹුරු තුවාලයකි. විවිධ ඖද යෙදුවත් තුවාලය දිනෙන්  දින පැසවනවා මිසක සුව වන බවක් පෙනෙන්නට නැත. වේදනාව කොතරම්ද යත්, දැන් ඇවිදින්නටවත් ඒ අඩිය බිම තබන්නට පුළුවන් කමක් නැත. 


කුමන ඖෂදයක්, ප්‍රතිකර්මයක් බාවිතා කරන්නදැයි මට තේරෙන්නේ නැත. මේ වේදනාවෙන් මා මිය යන්නේ නැති බව දනිමි. නමුත් කකුලේ අඩිය නැවත කිසිදිනක බිමින් තබන්නට බැරි වේදෝයි අනියත බියකින් මගේ සිත ඔද්දල්ව ඇත. 


ඔබේ තුවාලය සුව වන්නට ඇතැයි සිතමි. කලයුත්තේ කුමක් දැයි සිතා ගන්නට නොහැකි බැවින් ඔබේ උපදෙස් පතමි. මේ සඳහා කල හැකි දෙයක්, ලබා ගත හැකි සහනයක් වේනම් මට දැනගන්නට සලස්වන්න. 


ඔබෙන් ඉක්මන් පිළිතුරක් ලැබෙන තුරු බලා සිටිමි.


සදා ජය, 


මීට,


වේදනාවෙන් ගැලවීමක් නැතැයි බියට පත් මම!


4 comments:

  1. දැන් ඉතිං අදෝනා ආඩපාලි දොඩ කම් නැත්තේය. මන්ද ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි බව තොප නොදන්නෙහිද.උපදෙස් දීමට මා හටද කල නොහැක්කේ මගේ කකුලද දිනෙන් දින පැසව පැසවා ඕජස් ගලන බැවිනි

    ReplyDelete
  2. දෙශකය කියපු දේ තමා මටත් කියන්ට තියෙන්නෙ
    ඔඩු දුවන්නට පෙර කපා දාන්ට හිහි

    ReplyDelete
  3. වෙනස් විදියක ප්‍රවිෂ්ඨයක් සහිත නිර්මාණයක් කුසූ..:) හොඳ උත්සහයක්..

    කටුව ගැන කියනවානම් අපිටත් ඔහොමම වෙලා තියෙනවා..කාලයක් යද්දි කටුව අපේම කොටසක් වෙනවා..හැබැයි ඊට උඩින් මස් දළු දාලා සමහරවිට මසටම සින්න වෙලාත් යනවා..කාලයක් තිස්සේ සිරුරේ මසෙන් ප්‍රතික්ෂේපවීම මත මරාගෙන මැරෙන තත්වෙකට නැත්නම් පිළිකාවකට එන්නත් ඉඩ තියෙනවා..වැදගත්ම දේ නියපොත්තෙන් කඩන්න හැකිදේ නියපොත්තෙන්ම කඩලා දාන එකයි..හැම "කටුවක්ම" ජීවිතේ ඇනෙන ඔය වගේ..ඇනුනු හැටියේ උදුරලා දාන්න ඕන ඔය වේදනාවට කොයිතරම් හිත ලෝබ වුණත්..:)

    ReplyDelete