Wednesday, October 3, 2012

නෑයෝ...



පසුගිය දවසක කල්පනාගේ ලඟම ඥාතියෙක් අන්තරා වුනා. මල ගෙදර වැඩ කටයුත් වලට සහභාගී වෙන්න ගිය ගමනේදී කාලෙකට පස්සේ නෑදැයෝ ඔක්කොම වගේ එකට එකතු වුණා. වැඩපලවලට උදව් දෙන ගමන් නැන්දලා මාමල හුගදෙනෙක් කලේ වැඩිහරියක් කලේ තවමත් මළගෙදරට නොආපු නෑදෑයන් ගැන ඕපාදුප කියවන එක.
"දෙහිවල ලොකු අයියගේ ලොකු පුතා ඉස්සරහ ගෙදර දැරිවිත් එක්ක යාලුයිලු. දැන් ගොඩ කාලෙක ඉදල මේ සම්බන්දෙ තියනවලු. ගෙදර අයත් කැමතියි කියන්නේ. " එක නැන්දා කෙනෙක් කරලියට ගෙනාවේ අලුත් ආරංචියක්.
"අනේ ඇත්තද?" ළඟ හිටපු අත්තම්ම හීල්ලුව. "අපට සෑහෙන පවුලක්ද මම අහන්නේ... තාත්තා වගේම තමයි පුතත්. ඔයෙහෙනම් යාලු කරගෙන තියෙන්නේ අම්ම වගේම කෙනෙක්." අත්තම්මා දිගටම කියවගෙන යනවා.

" කෙල්ල එතරම්ම ලස්සනත් නැහැ අම්මා. එත් කොහොම හරි දැල් දාලා කොල්ලව අල්ලගන්න ඇති. ලොකු අයියාට නම් වගේ වගක් නැහැ. ළමයින්ට ඕනේ දෙයක් කරගන්න ඇරලා නිකම් බලන් ඉන්නවානේ" අපේ අම්මාටත් කට පියාගෙන ඉන්න බැහැ 
එකට වට වෙච්ච නෑදෑයෝ රංචුවම ලොකු අයියාගේ ගෑනු ළමයා ගැනයි, ලොකු  මාමාගේ තීරණයයි බරටම විවේචනයක්. අත්තම්මා කියන විදියට නම් ලොකු අයියා කරන්නට යන්නේ ලොකු තාත්ත ලොකු අම්මව බැඳගත්තා හා සමානම මෝඩ කමක්. අපරාදේ මේ මේ අහක යන වචන. ලොකු අයියල දැන් වෙනකොට දෙපාර්ශවයෙන්ම ආශීර්වාද අරගෙනත් ඉවරයි.
ලොකු මාමා වෙද්‍යවරයෙක් . එය බැඳ ගත්ත අපේ ලොකු අම්ම ඉස්පිරිතාලේම නර්ස් නෝනා කෙනෙක්. හරි ඉවසිලිවන්තයි. කරුණාවන්තයි.  මාමට ඉහලින් වචනයක් කතා කරන්නේ නැහැ. අපේ ගෙවල් වල වගේ එල්ලීගෙන රන්ඩුවලට යන්නෙත් නැහැ. පරම්පරාවේ තත්ත්වයට හොඳ මදි කියලයි අත්තම්මා කසාදෙට අකමැති වෙලා තියෙන්නේ. අත්තම්මා විරුද්ධ වෙද්දීත් කසාදෙ කෙරිලා තියෙන්නේ සීයා තාත්තා අමනාපයක් පෙන්නුවේ නැති නිසාලු.
ලොකු අයියා යාළුවෙලා ඉන්න අක්ක වුනත් හොඳට ඉගෙන ගත්තු ළමයෙක්. පෙනුමත් එතරම් වරදක් නැහැ. එයත් අම්මා වගේම කරුණාවන්තයි කියලි ලොකු අයියා නම් කියන්නේ. "ඒ දෙන්නත් කැමතියි නම්, දෙමවුපියනුත් කැමතියි නම්, මගුලත් තීන්දුයි නම් ඕගොල්ලෝ මොකටද ගැන වාද වේවි ඇඟේ ලේ ටික පුච්චා ගන්නේ." හිතට ආපු සිතුවිල්ල කල්පනා වචන වලට පෙරලුවේ නැත්තේ වැඩිහිටියන්ගේ කතා වල මැද්දට පනින්න පුළුවන් කමක් නැති හින්දයි.  

No comments:

Post a Comment