Tuesday, January 22, 2013

ප්‍රේමයට පන්හිදෙන් පණ පෙවූ - ජේන් ඔස්ටින්





1775 වසරේ දෙසැම්බර් මස දහසය වැනි දින උපත ලද ජේන් ඔස්ටින් ඇගේ  අද්විතීය නව කතා තුලින් ජනප්‍රියත්වයට පත්වුණේ විසිවන සියවසේදියි. Pride and Prejudice සහ Sense and Sensibility වැනි
සම්භාවනීය කෘති මගින් ඇය ප්‍රේමය සහ යතාර්ථය අතර හිඩැස මැනවින් පෙන්වා දෙන්නට සමත් වුනා.

ජේන්  ඔස්ටින් උපත ලැබුවේ ඔස්ටින් පවුලේ සත් වැනියා ලෙසිනුයි. ඇයගේ  මවුපියන් වන ජෝර්ජ් සහ කැසෙන්ඩ්රා වැදගත් පවුලක සමාජිකයින් ලෙස සමාජයේ ඉහල තැනක් දරුවා. ජේන්  ගේ පියා නිවාස  අසල ඇන්ග්ලිකන් පල්ලියක ප්‍රධාන දේවගැතිතුමන් ලෙස විශාල මෙහෙයක් ඉටු කළා. ඔස්ටින් පවුලේ සියල්ලන් එකිනෙකාට ඉතා ලැදිව සිටි අතර මවුපියන් ඔවුන්ව නිතරම ඉගෙනීමට සහ නිර්මානාත්මක ක්‍රියාකාරකම් වලට යොමු කරවූවා. මේ පවුල් පසුබිමත් , පියාගේ පුස්තකාලයේ තිබු ඇති විශාල පොත් කන්දරාවෙන් ලද දැනුමත්  ජේන්  ඔස්ටින් ව නිතැතින්ම නිර්මාණකරණය වෙත යොමු කලා.  පවුලේ සාමාජිකයින් අතරින් ජේන්  වඩාත්ම ලං වුනේ ඇයගේ  පියාටත් වැඩිමල් සහෝදරියටත්. ඔවුන් අතර තිබු යහපත් බැඳීමද  ඇයට  නිර්මාණකරණයට මහත් පිටුබලයක් වුනා. කුඩා කාලයේදී මවුපියන් විසින් ජෙන්ව නේවාසික පාසලක අධ්‍යාපන සඳහා යැවුවත් එහිදී උණසන්නිපාත රෝගයට ගොදුරු වීම නිසා ඇයට  පෙරලා නිවසට පැමිණීමට සිදු වුනා.

යොවුන් වියේ සිටම ඇය  ආලය  සහ මිතුරුදම් පිළිබඳව කතාන්දර ගොතන්නට වුනා. කෙටි කලකදීම අයගේ නිර්මාණ අතරට නවකතා, කෙටි කතා, කවි මෙන්ම නාට්‍ය පිටපත්ද එකතු වුන. නමුත් කිසිදිනක ජේන්  ඒවා ප්‍රකාශයට පත් කරන්නට ඉදිරිපත් වුනේ නැහැ .

ජේන් ගේ තරුණ කාලය බොහෝ විට ගත වුනේ නිවසේ කටයුතු වලට සහ පල්ලියේ කටයුතු වලට උදවු කරමින්. පියානෝ වාදනය ප්‍රගුණ කරන අතරේදීම ඇය  ඇයගේ  ප්‍රථම නවකතාව වන එලිනෝර් සහ මේරි ඈන්  කතාව ලිවිම ආරම්භ කළා . එය පළවුණේ ලිපි මාලාවක් ආකාරයටයි. මෙලෙස ක්‍රමයෙන් ඇය  අගේ ලෝ ප්‍රසිද්ධ
නවකතා වන  Pride and Prejudice සහ Sense and Sensibility ලිවීමත් ආරම්භ කළා.  අසනීපයෙන් පසු වුනු ජේන් ගේ පියා 1805 වසරේදී මිය ගිය අතර ඔහුගේ අභාවය ජේන් ගේ පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා.

1809 වනතුරු ඉතාමත් අසීරු කාලයක් ගතකල ජේන්  මවත් සොහොයුරියත් සමග ඇයගේ  මාමා කෙනුකුන්ගේ නිවසට පදිංචියට ගියා. බොහෝ නිර්මාණයන් ඇගේ අතින් නිමවුයේ මේ නිවසේදීයි. ජීවිතයේ තෙවන දශකයේදී ජේන්  ඇයගේ කෘතීන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළා. නමුත් ඒ සඳහා ජේන් භාවිත කලේ අන්වර්ථ නාමයක්. අවුරුදු 40 පසුවන විටම ඇය  නිතර අසනීප වලට ගොදුරු වන්නට පටන් ගත්තා. එම අසනීපයම ක්‍රමයෙන් නරක අතට හැරීම නිසාවෙන් 1817 ජුලි මස 18 දින මරණයට පත් වුනා. ඇය  අසනීපව සිටි කාලයේදී ලියා තැබූ the  brother  නම් කෘතිය ඇයගේ  මරණයෙන් පසුව Sandition නමින් ප්‍රකාශයට පත් වුනා.

1817 වසරේදී මිය ගියා වුවත් ජේන්ගේ ජනප්‍රියත්වයේ දැනටත් කිසිදු අඩුවක් නැහැ. අදටත් ඇය අග්‍රගන්‍ය
ඉංග්‍රීසි ලේඛීකාවක් ලෙසට පිදුම් ලබනවා. 2002 වසරේදී BBC මත විමසුමකදී ජේන් ඔස්ටින් ලොව වඩාත්ම ප්‍රචලිත බ්‍රිතාන්‍ය ජාතිකයන් 100 අතර 70 වෙනි ස්ථානයේ නම රඳවන්නට සමත් වුනා.  

Saturday, January 19, 2013

පිරිමින් රජකම් කරනා යුගයක අණසක පැතිර වු ක්ලියෝපැට්රා



ඈ  පිරිමින් රජකම් කරනා යුගයක ඇගේ අණසක  පැතිර  වුවාය. ලොව සුපතල නායකයින් ඇයගේ සුන්දරත්වය ඉදිරියේ දණ ගැස්සවුවාය. පිරමීඩ තරමටම ක්ලියෝපැට්රා යන නාමය ඊජිප්තුව හා බැඳි පවතී. ක්ලියෝපැට්රා යන නමින් හැදින්වෙන කාන්තාවන් කිහිපදෙනෙකු පිළිබඳවම පුරාන ඊජිප්තු ඉතිහාස කතාවල සඳහන් වේ. ඒ නමුත් මේ අතර අපට හමුවන සුප්‍රසිද්ධම  චරිතය වනුයේ දොළොස්වැනි ටොලමි රජුගේ බාලම දියණිය වන සත්වැනි ක්ලියෝපැට්රා කුමරියයි. ඇය  ක්‍රි.පූ 69 දී ඇලෙක්සන්ධ්‍රියාවේදී උපත ලද බව කියවේ. ක්ලියෝපැට්රා කුමරියට යන්තම් අවුරුදු 11 පිරුනා පමණි. ඇගේ  පියාගේ කෘර පාලනයට එරෙහිව පෙළ ගැසුණු රටවැසියෝ රජුට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගත්තාහ. නගරය අතහැර යන ලෙසට ඔහුට බල කරන්නට විය. මින් පසුබෑ  ටොලමි රෝමයට පලා ගිය අතර ඔහුට නැවතත් කිරුල පළදින්නට හැකි වුයේ ඉන් වසර තුනකට අනතුරුවයි. ඒ සඳහා ප්‍රසිද්ධ රෝමානු ජෙනරාල්වරයෙකු වූ පොම්පේගේ උපකාර ලබන්නට ඔහුට සිදුවිය. ඔහු නගරය අතහැර ගොස් සැඟවී සිටියදී ඔහුගේ රාජ්‍යය පාලනය කරන්නට සිදුවුයේ ඔහුගේ වැඩිමල් දියණි බේරෙනෙස් කුමරියටයි. මේ අතරතුරේදී එම පවුලේම තවත් සොහොයුරියක් වූ සයවැනි ක්ලියෝපැට්රා කුමරියද මියයෑම  අභිරහසක් විය. ටෝලෙමි නැවත කිරුළු පැළදු පසු ඔහු බේරෙනෙස් කුමරියවද මරා දැමුවේය. ක්‍රි. පූ. 51දී ටොලමි රජුද මියගිය අතර ඔහුගෙන් පසු කිරුළට හිමිකම් කීවේ සත් වැනි ක්ලියෝපැට්රා කුමරියයි.

පවුලේ වැඩිමහල් දරුවාට සිහසුන හිමිවීම එකල ඊජිප්තු සම්ප්‍රදායයි. ගැහැණු දරුවෙකු වුවද සිහසුනට අකැප වුයේ නැත. මේ අනුව ක්ලියෝපැට්රා කුමරියගේ  අතට පාලනය හිමි විය. එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර සිදුවන විවාහයද මෙකල සාමාන්‍ය සිරිතක් වූ අතර එම නිසාවෙන්ම ක්ලියෝපැට්රා කුමරිය අගේ බාල සොහොයුරු 13 වැනි ටොලමි කුමරුවා විවාහ කරගත්තාය මේ වනවිට ක්ලියෝපැට්රා කුමරියට වයස අවුරුදු 17කි. ටොලමි කුමරුට යන්තමින් 12 පිරුනා පමණකි. කාලයත් සමග ටොලමි කුමරු වයසින් මෙන්ම බල තන්හාවෙන්ද වැඩිණි . ඔහුගේ මිනිසුන් යොදවා ක්ලියෝපැට්රා රැජින අසල්වැසි සිරියාවට පන්නා දැමුවේ මේ හේතුව නිසාවෙන්ය. කෙලෙස ඇයව  පන්නා දැමුවත් ක්ලියෝපැට්රාද ලෙහ්සියෙන් උත්සාහය අත්හරින ගැහැනියක නොවුවාය. ඇයගේ  රාජ්‍යය නැවත ලබා ගැනීම සඳහා ඇය භාවිතා කලේ ඇයගේ  ශුර බුද්ධියත්, සුන්දර රූ සපුවත්ය. ජුලියස් සීසර් නම් රෝමානු නායකයාගේ උපකාර ලබාගත්  ඇය  බලය නැවතත් තමා සතු කරගත්තාය. ඇගේම තවත් සොහොයුරෙකු වූ 14 වැනි ටොලමි කුමරුන්ව සරණ පාවා ගත් ක්ලියෝපැට්රා ඔහු සමග බලය බෙදා ගත්තේය.
ක්ලියෝපැට්රා ටොලමිගේ අත  ගත්තද සිත තිබුනේ සීසර් කෙරෙහිය. ඒ වනවිට ඇය  සීසර්ගේ දරුවෙකු ලබන ලකුණුද පහල කරන්නට විය. සීසර්ගේත් ක්ලියෝපැට්රාගේත් පුත් සිසේරියන් උපන් පසු දරුවාද රැගෙන ක්ලියෝපැට්රා සීසර් සොයා රෝමය වෙත ගියාය. ඇයගේත්  සීසර්ගේත් පෙම් කතාව නතර වුයේ, නොසිතු මොහොතක සීසර්ගේ මිතුරෙකුගේම අතින් සීසර් මර දැමීමත් සමගයි. මේ නිසාම ක්ලියෝපැට්රාට සිසේරියනුත් සමග පෙරලා ඊජිප්තුවට එන්නට සිදුවිය. සිසේරියන් ඉජිප්තුවේ සම පාලකයා කරවීමට ක්ලියෝපැට්රා අදහස් කල අතර ඒ සඳහා මගක් සොයනු වස් ඇගේ  සැමියා වූ ටෝලෙමි කුමරුවා ඝාතනය කරවූ බවටද සැකයක් පවතී.
වසර කිහිපයකට පසුව ක්ලියෝපැට්රා සීසර්ගේ මිතුරෙකු වූ මාර්ක් ඇන්තනි සමග පෙමින් වෙලුනාය. මාර්ක් ඇන්තනිද ප්‍රකට රෝමානු නායකයෙකි. ඔහුට දාව ක්ලියෝපැට්රා නිවුන් දරුවන් ලැබූවය.  නමුත් මාර්ක් ඇන්තනි ඇය  වෙතම නොරැඳුනු අතර පෙරලා රෝමයට ගොස් තවත් රෝමානු නායකයෙකු වූ ඔක්ටෙවියස්ගේ සොහොයුරිය වූ ඔක්ටෙවියා තම බිරිඳ කරගත්තේය. කලක් අවෑමෙන් බලයට ඇති ආශාව වැඩි දියුණු වත්ම මාර්ක් ඇන්තනි නැවත ක්ලියෝපැට්රා සොයා ආවේය. ඒ තනිවම නොවේ. දේශපාලන සම්බන්දතා රාශියක්ද ඔහු සමග රැගෙන ආ ඇන්තනි ක්ලියෝපැට්රා සමග අතිනත ගත අතර, ක්ලියෝපැට්රා ඔහුට දාව තවත් පිරිමි දරුවෙකු වැදුවාය. දරුවන්ගේ ආශිවාදයත් සමග ඉජිප්තුවත්, ඊට අමතරව සයිප්‍රස්, ක්‍රීට් සහ සිරියාව වැනි රාජ්‍යයන් කිහිපයකම ඔවුහු බලය පැතිරුවෝය.

ඇන්තනිගේ ක්‍රියාකලාපය ඔක්ටෙවියන්ගේ කෝපයට හේතු විය. රෝම සෙනෙට් සභාව ඊජිප්තුවට එරෙහි යුද්ධයකට පොළබවා ගන්නට ඔහු සමත් විය. යුද්ධය ඇරඹුණු අතර සටන් බිමේදී ක්ලියෝපැට්රා දිවිනසාගත් බව කියවෙන වැරදි තොරතුරක්   හේතුවෙන් කම්පාවට පත්වූ මාර්ක් ඇන්තනි සටන් බිමේදීම සිය දිවි තොර කරගත්තේය. ඔක්ටෙවිඅන්ට යටත් වීමට අකමැති වූ ක්ලියෝපැට්රාද වස වර්ගයක් ශරීර ගත කරගනිමින් සිය දිවියට ආයුබෝවන් කියුවාය.
ක්ලියෝපැට්රාගේ ජීවිතය වටා ගෙතුණු කතන්දර, චිත්‍රපට සහ නාටක එමටය. මේ අතරින් විලියම් ශේක්ෂ්පියර් අතින් නිමවුණු ඇන්තනි සහ ක්ලියෝපැට්රා නාටකය මිනිසුන්ගේ හදවත් වලට සමීප වුයේ ක්ලියෝපැට්රා ඊජිප්තු ඉතිහාසයේ ජනප්‍රියම කාන්තා චරිතය බවට පත් කරවමිනි. 

පැන්සලයේ කථාව

එක් දවසක් සාදා නිම කල පැන්සලයක් පසෙකට ගත පැන්සල් සාදන්නා එය වෙළඳපලට යවන්නට පෙර මොහොතක් කතා කිරීමට අවශ්‍ය බව පැවසුවා. "තව මොහොතකින් ඔබව මේ සැරසිලි ඇති පෙට්ටියට දමා වෙළඳ පොලට යවනවා. නමුත් ඊට ප්‍රථමයෙන් මේ කරුණු පහ ඔබ දැනගත යුතු යයි මම විශ්වාස කරනවා, ඒ කරුණු සැමදාමත් මතකයේ තබාගන්නට හැකි නම් ඔබට විය හැකි හොඳම පැන්සල  වීමට ඔබට හැකියාව ලැබේවි".
එක : වෙනත් කෙනෙකුන්ගේ අතේ ඔබව රදවාගන්නට ඔබ ඉඩ දුන්නොතින් ඒ අතෙහි රැඳී විශිෂ්ට නිර්මාණ කරන්නට ඔබට හැකියාව ලැබේවි.

දෙක : වරින් වර ඔබට වේදනාත්මක උල් කිරීම් වලට මුහුණ දෙන්නට සිදුවේවි. හොඳම පැන්සලක්  වන්නට ඔබට එම උල් කිරීම අත්‍යාවශ්‍යයි.

තුන : ඔබ කරන වැරදි ඔබගේම මුදුනෙහි ඇති මකනයෙන් මකා දමන්නට ඔබට ඉඩ ලැබෙයි. සමහරක් විට ඔබ කල නිර්මාණයක් කවුරුන් හෝ එයින් මකා දමාවි.

හතර : හැමවිටකදීම වැදගත් වන්නේ ඔබේ බාහිර සැරසිලි නොවේ. ඔබේ අභ්‍යන්තරයයි.

පහ : ඔබව භාවිත කරන කවර මතුපිටකදී වුවත් ඔබ ඔබේ සලකුණ තැබිය යුතුයි. ඔබ කවර තත්ත්වයක පසු වුවත් දිගින් දිගටම ඔබ එය සිදු කල යුතුයි.
පැන්සල්  සාදන්නා කී කරුණු තේරුම් ගත් පැන්සල ඒවා සදහටම මතක තබාගන්නට පොරොන්දු වුණා. ඒ නිසාම පැන්සල් සාදන්නා එම පැන්සල පෙට්ටියක බහා වෙළඳ පොලවෙත යවනු ලැබුවා.

මෙම කතාන්දරය තුල සිටින පැන්සල  වෙනුවට ඔබව ආදේශ කර බලන්න. මෙම කරුණු ඔබට අදාළ ලෙස ආදේශ කරගතහොත් ඔබට පත්විය හැකි හොඳම පුද්ගලයා වීමට හැකියාව ලැබේවි.


Tuesday, January 1, 2013

2012 වසරේ පරමාදර්ශී කාන්තාවෝ

ලෝක ප්‍රසිද්ධ වෝග් ( Vogue ) සඟරාවෙන් කල සමීක්ෂණයකට අනුව 2012 වසරේ  ලෝකයේ වඩාත්ම බලපෑම්  කල කාන්තාවන් 100කගේ ලැයිස්තුවක් 2012 වසර  අවසානයත් සමගම ප්‍රකාශයට පත්වුණා. එයිනුත් ප්‍රථම ස්ථාන 10 දිනාගන්නට සමත් වූ කාන්තාවනුයි මේ.


# 010

ස්ටෙලා මැක් කාර්ට්නි

2012 වසරේ ජනප්‍රිය වූ කාන්තාවන් අතරේ දසවන ස්ථානයට පත්වී ඇත්තේ මෝස්‌තර නිර්මාණ ශිල්පිනි ස්ටෙලා මැක් කාර්ට්නි යි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී ඇය  පෙන්වූ නිර්මාණ කුසලතා වසර පුරාවටම  බහට ලක්වුණා .



#009

මිචෙල් ඔබාමා

ඇමෙරිකානු ජනාධිපති බිරිඳ වන ඇය 2012දී වැඩි කාලයක් ගත කලේ අසරණ සරණ ව්‍යාපෘති සාර්ථක කර ගැනීම  සඳහායි.


#008

ට්‍රේසි එමින්

ග්‍රන්ථ කතුවරියක්, කලාකාරිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා ඇති ට්‍රේසි බ්‍රිතාන්‍යයේ චිත්‍ර කර්මය පිලිබඳ මහාචාර්ය වරියක්. ඇයගේ  සිතුවම් කිහිපයක්ම 2012 වසරේදී කතාබහට ලක් වුණා .


#007

බොබී බ්‍රවුන්

ලෝක ප්‍රසිද්ධ බොබී බ්‍රවුන් කොස්මෙටික්ස්හි ප්‍රාරම්භකයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි තුමිය ලෙසත් කටයුතු කරන බොබීගේ ජීවිත කතාව බොහෝ තරුණියන්ගේ ජිවිත අලුත් මගකට ගෙන ආවා.


#006

බියෝන්සේ

සුප්‍රසිද්ධ ගායිකාවක්, ගීත රචකාවියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙසද ලොව පුරා නමක් දිනා සිටින ඇය  වසර පුරාවටම මිචෙල් ඔබාමා සමග ළමා තරබාරුව පිටුදැකීමේ වැඩසටහන් වලට දායක වුණා .



#005

ජෙසිකා ඉන්නිස්

ලෝකයේ දක්ෂතම ජවන සහ පිටිය ක්‍රීඩිකාව ලෙස 2012දී ගෞරවයට පාත්‍ර වු ජෙසිකා 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී කාන්තා රන් පදක්කම් ලාභිනියන් අතරේ මුල් තැනක් දැරුවා .



#004

හෙලේනා ක්‍රිස්ටෙන්සන්

ඡායාරූප  ශිල්පිනියක් මෙන්ම මෝස්‌තර නිරුපිකාවක් වන ඇගේ  2012 දිනපොතේ වැඩි දින ගණනක් වෙන් වී තිබුනේ නැගෙනහිර අප්‍රිකාවේ අසරණ සරණ වැඩසටහන් සදහායි



#003

ඇන්ජෙලීනා ජොලී

මෙම ලැයිස්තුවේ  තෙවන ස්ථානයට පත්වී සිටින්නේ ඔස්කාර් සම්මානලාභී  නිලි ඇන්ජෙලීනා ජොලී යි. දරුවන් සය දෙනෙකු ඇති දැඩි කරන අතරේම එක්සත් ජාතින් සමග එකතුව අසරණ සරණ වැඩසටහන් මෙහෙයවීමට ඇය විශාල කැපවීමක් සිදුකළා .



#002

සමන්තා කැමරන්

මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ බිරිඳ සමන්තා කැමරන්.  සමන්තා 2012 වසර ගත කලෙත් අසරණ සරණ මෙහෙයුම් වලට කැපවෙමිනුයි.




#001

දෙවන එලිසබෙත් රැජින

2012 වසරේ පරමාදර්ශීම කාන්තාව ලෙස තේරී ඇත්තේ කාගේත් ආදරය දිනු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනයි. ඇගේ  දියමන්ති ජුබිලිය යෙදී  තිබුනෙත් 2012 වසරේදීයි.