Friday, December 25, 2020

She'll love you when she hears your story!

 "ඔබේ කතාව ඇසූ විට ඇය ඔබට පෙම් බඳීවි"

මා සිනාසුනා මතකයි. 

එදා සිට මේ වන තුරුම 

මා යම් තැනක නතරව 

තවමත් සිතනවා ඒ ගැන 


"කුමක්ද මගේ කතාව?"

ඔබ දන්නා මගේ කතාව. 

සමහර අය මා හැර ගිය බවද 

නියමිත කාලයට පෙර ?

සමහර දේ නොලැබී ගිය බවද 

වුවමනාවන් දැඩිම විට?

අනේක විධ සිත් රිදුම්  ද

පාවා දීම්  ද පෑරවීම් ද?

කුමක්ද ඔබ දන්නා කතාව

ඔබ ඇයට කියන්නට සැරසෙන?


නැතිනම්, ජිවිතේ තනිකමද 

සිනාවේ කඩතුරාවෙන් වසාගෙන ඉන්නා 

ජිවිතේ බලාපොරොත්තු 

කිසිවෙකුත් තේරුම් නොගන්නා 

ජිවිතයේ ආලෝකය ද 

සොයාගෙන ගොස් හති වැටෙන 

කිසිදා මා සොයා නොඑන?


කුමක්ද ඔබ දන්නා කතාව?

අත් හැරිය යුතුදේ උරේ මත දරාගෙන 

එ බර නොදැනෙන මා යන ගමනද  

ඔබ දුර ඈත සිට බලා සිටිනා? 

 


Sunday, May 10, 2020

එතෙක් ඉවසමු, ඉවසා බැරිම තැන...

හැකිනම් සොඳුර 
ඔබ කර මත ඇති 
සියලු අමිහිරි බර 
මා කරපිටට ගන්නෙමි

ඔබ ගයන දුක් ගී 
මාගෙ කර්කශ හඬින් 
කෑ ගසා ගයන්නෙමි

ඔබේ සියොළඟ වේදනාවන් 
මාගේ කර පිරිමැද 
දුරු කර හරින්නෙමි 

අහසේ තරුද
මුහුදේ වැලිද ගෙන 
ලොව උඩු යටිකුරු කර 
සියලු දේ පෙර ලෙස 
අඹන්නෙමි 

එත් බැරිනම් අඩුම ගානේ 
කියාගන්නම බැරිම දුකකට 
කඳුලක්ව ගලන්නෙමි

එහෙත් සොඳුර.... 
මා දෑස ද වියලිය. 
දෑත ද විලංගු ය.
කරමත ලොකු බරකි ය. 

නමුත් මා දිනක 
'විලංගු ලිහන නැණ' 
සොයාගන්නෙමි 
ඔබටද කියා දෙන්නෙමි.

එතෙක් ඉවසමු සොඳුර 
ඉවසා බැරිම තැන... 







Thursday, May 7, 2020

ඔබෙ සුසුම් පමණක්ම ද සුසුම්?

සුසුමකට සිනාසෙන්නී
දන්නවාද ඔබ
පුපුරු ගහන මතකයක බර
හඬා වෙහෙසුණු ඇස්
කකියවන රිදුම් ගැන

ඔබෙ සුසුම් පමණක්ම
සුසුම් යැයි බස්  දොඩන්නී
දන්නවාද ඔබ
සිරුම් තුවාලත්
සමහරක් විටකදී
සුව නොවී ඔඩු දුවන බව
රිදුම් ඉවසුම් නැති බව


නොපෙනෙන වේදනාවට
අවමන් කරන්නී
දන්නවාද ඔබ
ජීවිතය එපා වන
ඒ උන්ම එක්‌ දිනක
පරාජය පසෙකලා
වේදනා දුක් මතම
ජය කණුව ගොඩ නඟන බව

Saturday, September 7, 2019

වෙහෙස

අපේ ගමන වෙහෙසකරයි
නිවනට මග බෝ දුරයි
වෙහෙස නිමන නිවන් මගද
වෙහෙසකර ද මට සැකයි!

Monday, August 12, 2019

මුතු ඇටයේ අපි

ගිලෙන නැවක ඉඳ  ඉදිරිය බල බල කඳුළු සලන                                                   අපි
මේ නැව අතහැර ඈතට ඈතට යන්න හිතන                                                      අපි
නැවෙන් පිටට ගොස් නැව දෙස බලමින් සුසුම් හෙලන                                      අපි
නැව් බඳ ඇතිවුන සිදුර වසන මඟ කිසිවිට නොසොයන නොදකින මේ         අපි!


Saturday, April 20, 2019

අවසන් නොවුනු කතාවක්

බීර විදුරුවක පෙන බුබුළු අතරින්
පා කරලන්නට සිතුවෙමි
හදවත පතුලේ කැලතෙන
රිදුම සිරවුම වේදනාව
ගැලුම් ගණනක් බීර
නිරපරාදේ දුක් විඳපු සැටි
ලඟා කර දෙනු නොහැකිව
මා සිතේ අරමුණ

උල් පිහි තුඩක් ගෙන
මස් ගොබයකට තද කලෙමි 
වේදනාවක් නොදැනේ
හදවත් කකියවන
පැරණි වේදනාවන්
රිදවයි උල් පිහි තුඩට වැඩියෙන්


පහනක් දැල්වූවා
යදිමින් දෙවියන්ට
නැති වගයි උන්ගේ පඬුපුල් ආසන
මගේ දුකට උණු වෙන්නේ
...

ඉතින් 
අල්ලා බැලුවෙමි  
මා  සුරත පහන් දැල්ලට...
නැත පුදුමයක් දෙවියනේ
මටත් නැත දැනෙන්නේ
පිලිස්සුමක වේදනාවක්
ඉතින් කෙලෙසක උණු වෙයි ද 
මගේ දුකට ඔබේ අසුන 

Saturday, February 2, 2019

රන් ඔටුනු සහ කටු ඔටුනු


හිස දරද්දී රන් ඔටුනු 

සිහිවෙයි 
පෙර කල දැරූ 
කටු ඔටුනු ...


එහි උල් කටු ඇනී 
දැනුනු වේදනාවක් 
සිහි වී රිදෙයි 
මා සිත...
.
.
.






හිසට රන් බර වැඩි වූ කල 
ඇනුණු රිදවුණු කටු ද 
මිහිරියාවක සෙයකි 
මවන්නේ...

කළ පවු වල මහත! 
රත්තරන් පසෙක ලා
තියුණු උල් කටු අනින 
වේදනාවට ලොබ බඳිනවා 
මේ සිත 
.




(Image courtesy : HEAVY CROWNS BY ANNA CORNIFFE: shopannacorniffe.bigcartel.com/)




Thursday, October 11, 2018

-------- රෙජී --------



ඊයේ ලෝක මානසික සෞඛය දිනය. මුහුණු පොතේ විවිධ ලියුම් කියවනකොට, විශේෂයෙන්ම මානසික රෝගීන්ට වෙනස්කම් කිරීම ගැන,මගේ මතකයට ආපු කෙනෙක් ඉන්නවා.

ඒ  රෙජී!

රෙජී ජිවත් වෙන්නේ අපේ ගෙවල් කිට්ටුව. වයස අවුරුදු 70කට වැඩි ඇති. ගොඩක් උස, උසේ හැටියට මහත තියන මනුස්සයෙක්. මුණ පුරා රැවුල වවල.  එක්කෝ සරමක් එක්ක ෂර්ට් එකක්. නැත්තන් කොට කලිසමක් එක්ක. කොයි ඇඳුම ඇඳන් හිටියත් ඒවා අපිරිසිදුයි. පිරිසිදු කරලා ගත්තනම් වයසට ගිය නළුවෙක් වගේ පෙනුමයි.

රෙජී ට රැයක් දවාලක් නැහැ. හිතුනු හිතුනු වෙලාවට රිටකුත් අරන් පාරේ එහාට මෙහාට ඇවිදිනවා. රෙජීට හොඳ කාල වගේම නරක කාලත් තියනවා. හොඳ කාලෙට කොන්ඩේ ගානට කපල මුණ එහෙම සෝදලා තමයි යන්නේ. නරක කාලවලට කොන්ඩේ එහෙම්මම අපිළිවෙලට වැවිල, කටෙන් කෙල බේරෙනවා. උදේ පාන්දරම එලියට බහින කොට දකින්න ආස හිතෙන දර්ශනයක් නෙවෙයි.

ඒ කාලෙට ඉස්පිරිතාලෙන් ඇවිත් රෙජිට බෙහෙත් විදින බවත්, එතකොට තත්ත්වය යහපත් අතට හැරෙන බවත් මම අහල තියනවා.වෙනස දැකල තියනවා වුනාට බෙහෙත් විදිනවා මම නම් දැකල නෑ.


රෙජීට හොඳ වචන නරක වචන එච්චර ගානක් නෑ. එයාගේ අකමැත්තක් තියනවනම් පාර දිගේ ලවුඩ් ස්පිකර් දමාගෙන වගේ අදාල කෙනාට ලුණු ඇඹුල් ඇතිව බනිනවා. අපේ සීයාටත් නම ගම සහිතව බනිනවා අපිට ඇහිලා තියනවා. ගමේ මිනිස්සු කියල තියනවා.

මේ ඔක්කොම නිසා පොඩි කාලේ දී රෙජිට මම බය වුනා. පාරේ එනවා නම් අනිත් පැත්තට වෙලා මග අරිනවා. එත් ලගින් යද්දී බයයි.

දැන් අවුරුදු ගානක් තිස්සේ රෙජිත් පාරේ යනවා. බනිනවා. කෑගහනවා. මනුසයෙකුට හෝ සතෙකුට හිංසාවක් කරන බවක් පේන්න නැහැ. ඉතින් මගේ බය ටික ටික අඩුවුණා. මන් හිතන්නේ වයසින් වැඩෙද්දී  මනෝ රෝග ගැන ලබපු දැනුමත්  රෙජිව දකින විදිය වෙනස් වෙන්න බලපෑවා.

උදේට උදේට රෙජි සල්ලි කියක් හරි ඉල්ලනවා. ඉස්සර මම දැක්කේ නෑ වගේ යනවා. රෙජී සීයට බනිනවා.


එක දවසක් මම මගේ හැසිරීමේ වෙනසක් කළා. රෙජි ලඟට ඇවිත් සල්ලි ඉල්ලුවම නොදැක්ක ගානට ඉන්නේ නැතුව, 'අන්කල් ගූඩ් මොර්නින්ග්' කියල ඔහුට සුබ පැතුවා. අනේ රේජි ලස්සනට හිනා වුනා. මගේ පපුවේ බර දෙතුන් ගුණයකින් වැඩි වුණා. 'ආ ගුඩ් මොර්නින්ග් නෝන'. මෙන්න පිස්සු රෙජි සාමාන්‍ය මනුස්සයෙක් වගේ මට පෙරලා සුබ  පතනවා. 'මේ තේකක් බොන්න කීයක් හරි දෙන්න නෝනා.'

රෙජී තේ බොන්නේ නෑ. එකතු වෙන සල්ලි වලින් මැජික් අරිෂ්ට බොනවා. මම එක දන්නව. එත් මම පර්ස් එකට අත දාල නෝට්ටුවක් දුන්න. 20ක් ද 50ක් ද මතක නෑ.

එදා ඉදන් හැමදාම උදේට රෙජි එනවා මම බස්  රථයට නගින්න ඉන්න වෙලාවට. වචනයක් දෙකක් කතා කරනවා. හිටි ගමන් විහිලුත් කරනවා. හහ්...හහ් ...හා ගාල මහා හය්යෙන් හිනා වෙනවා. රුපියල් 20ක් ඉල්ලන් යනවා.

ඊට පස්සේ කවදාවත් රෙජි සීයාට බනිනවා මට ඇහිලා නැහැ. කවුරුත් අපිට ඇහුනු බවක් කිව්වෙත් නැහැ!

------------------------------------------------------------------------------------------------------------------

***සමහර විට මානසික ආබාධ තියනවා අයට අපි සලකන විදියට වෙන්න ඇති ඒ අය අපිට සලකන්නේ. අපි ඒ අය දිහා බලන විදියට වෙන්න ඇති අපි දිහාත් බලන්නේ***




Sunday, August 19, 2018

පල්ලියට ආ මව

ලෝගු දරන්නාණෙනි නුඹ ඔය අමතන
මහ තෙද බල ඇති දෙව් සමිඳුන්
දැක නැතිවද තවමත් අසරණ මා 
මෙහි සැමදා විත්  යදිනා මුත්

සිව්වැනි වරටත් කුසහොත් මාගේ
පොඩි කිරි දරුවන් සියලු දෙනා
මොන පාපයකට ගැහැණු වුණාදැයි
අහන්න මා ගැන දුක් සිතලා

යන්තන් කිරි බොන වයසෙම මාගෙන්
වෙන්කළ මගේ දරුවන් දෙදෙනා
කොහේ ගියාදැයි සමිඳ දන්නවැති
අහන්න පොඩ්ඩක් සමාවෙලා

මම ද ගැහැනියකි  තිරිසන් වුවද
දෙවි සමිඳානන් මැවූ ලෙසේ
මවු පදවිය දුනි - මගෙන් පැහැර ගති
දෙවි සමිඳාණන් කැමති ලෙසේ

ලෝගු දරන ඔබගේ ඔය හදවත
මගේ කෙඳිරියට උණු වෙන මුත්
ඔබ ඉහලින් වන සමිඳුන් හදවත 
නැත උණු වන්නේ මා වෙනුවෙන්


Monday, August 6, 2018

ඇත්තටම ජයග්‍රහණය කිරිම



ඊයේ පෙරේදා පද්මාවත් චිත්‍රපටිය බලන්න වෙලාවක් ලැබුණා. මම සාමාන්‍යයෙන් තව කෙනෙක් එක්ක චිත්‍රපටි බලන්න කැමති නැහැ. මොකද අතරමගදී බාධා වෙන නිසා. මගේ එයාඑක්ක නම් කොහොමට වත් චිත්‍රපටි බලන්න බැහැ  මොකද අතර මගදී ප්‍රශ්න අහන නිසාත්, හින්දි හෝ දමිළ කතාවක සින්දුවක් නැටුමක් තියනවා නම් අවසරයක් නැතුවම ස්කිප් කරලා දමන නිසාත්. කොහොමහරි පද්මාවත් බලන්න එයාවත් එක්කහු කරගන්න සිද්ධ වුණා.

කතාව අවසානයේදී අපි දෙන්නට එකගතාවයකට එන්න බැරි වුණා. චිත්‍රපටය හදපු මිනිස්සුන්ට අපිට හිතවන්න ඕනේ වුනු විදියටම මම පද්මාවතී රැජිනගේ පැත්ත ගත්තා. එයා තමන්ගේ වරිගයේ නම්බුව ආරක්ෂා කරන්න කල හැකි උදාරතම කැප කිරීම කළා. සතුරු රජතුමාට දිනුම නොලැබෙන තැනට වැඩ කටයුතු කරලා ඉතිහාසයේ විශිෂ්ට කාන්තාවක් විදියට නම ලියවා ගත්තා.

මගේ අදහසට එයා විරුද්ධයි. එයා අහනවා පිරිමි ඔක්කොම යුද්දෙන් මැරිලා ගිහින්, ගැහැණු ඔක්කොම ගින්නට බිලිවෙලා මුළු රජධානියම නැතිවෙලා ගියාට පස්සේ ඒ ලැබුණු ගෞරවයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියල. ඒ වෙලාවේ මම පරාජය බාර නොගෙන පද්මාවතිගේ නම්බුව ආරක්ෂා කරන්න කතා කළා.

ඒත් එයාගේ තර්කයේත් ඇත්තක් නැත්තේ නැහැ. පද්මාවතී ගින්නට පැනල ඇත්තටම ලබාගත්තේ ජයග්‍රහණයක් ද?සතුරාට අවශ්‍ය දේ නොදුන්නා කියල තමාට ජයග්‍රහණයක් ලැබෙනවද?  සතුරා පරාජය කල පලියට තමන්ට ජයග්‍රහණය ලැබෙනවද?

ජය හෝ පරාජය කියන්නේ මායාවක් ද?  මේ ලොකුවට කතා කළා වුනත් තරමක් බාල නිෂ්පාදනයක් වුනු චිත්‍රපටියකට මනුස්සයෙක් මෙච්චර හිතවන්න පුළුවන් වුනු එකත් ඒ නිෂ්පාදකයින්ගේ ජයග්‍රහණයක් වෙන්න ඕනේ.

මේ චිත්‍රපටි උදාහරණ විතරක් නෙවෙයි, අපේ ඇත්ත ජිවිතේ ජය පරාජයත් මායාවක් නෙවෙයි ද. අපි ප්‍රභාකරන් ව පරාජය කළා. එත් සිංහල ජාතියක් විදියට, රටක් විදියට අපි ජයග්‍රහණයක් ලැබුවා ද? 2015 ජනවාරි වල අපි මහින්ද පරාජය කළා. අපි දිනුව ද? ඉස්සරහට එන මැතිවරණයකදී තියන ආණ්ඩුව සමහර විට (මේ යන විදියට බොහෝවිට) අපි පරාජය කරයි. එහෙම කියල ඒ පරාජය කිරීම නිසා අපි දිනාවිද?

සිදුහත් බෝසතාණන් මාර පරාජය කල පලියට බුදු බව ලබා ගත්තා ද? වීර්යයෙන් උත්සහ කල නිසා බුද්ධත්වය අවබෝද කර ගත්තා ද?

මම හිතන විදියට නම් ජයග්‍රහණය බොහෝවිට පරාජය කිරීමෙන් ස්වායක්තයි. අපිට
ජයක් ලබන්න තවත් කෙනෙක් පරාජය කරන්නම ඕනේ නැහැ. නමුත් තමන්ගේ සටන ගැන හොදින් දැනගන්න ඕනේ. ඒ වගේම තමන් සටන් කරන සතුරාවත් හොඳින් දැනගන්න ඕනේ. මේ ඔක්කොටම වැඩියෙන් තමන් තමන්ව හොඳින් දැනගන්න ඕනේ. සමහර විට අපි සටන් කරන්න බොහොම වෙහෙස වෙලා අවසානයේ ඒ ගැන කල්පනා කලහම ඒ සටන සම්පුර්ණයෙන්ම අනවශ්‍ය සටනක්. ඉතින්, ලබාගත්ත කියල හිතාගත්තු ජයග්‍රහණයත් අනවශ්‍යම ජයග්‍රහණයක්.  ඒ ජයග්‍රහණය නැති වුනා කියලත් තමන්ගේ ජිවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

මේකට එක උදාහරනයක් කියලම මේ හෑල්ල ඉවර කරන්නම්.

iphone එකක් පාවිච්චි කරන්න අපි හුග දෙනෙක් ආස කරනවනේ. සමහරු මේකට සටන් කරනවා. මගේ එක මිත්‍රයෙක් iphone  එකක් ලබා ගන්න අවුරුදු ගානක් සටන් කළා. කෑමට බිමට තිබුණු මුදල් පවා කැප කරලා අන්තිමේ දී එයා ඒ සටන දිනුවා. දිනලා ඊළඟ දවසේ එනකොට මන් එයාගෙන් ප්‍රශ්න කළා. දැන් පෙරුම් පුරලා පුරලා තමන්ට ඕනේ දේ දිනා ගත්තා නේද කියල. එයා කිව්වේ සටන් කරන කම් තිබුණු ආසාවත් සටන දිනුවට පස්සේ නැති වෙලා ගියා කියල.

අපි කරන හුගක් දේවල් මේ වගේ නෙවෙයි ද?

Monday, July 23, 2018

අත්හැරුණු දේ යලි මතක් කිරීම සහ පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගැනීම

  කාලයක් තිස්සේ බ්ලොග් ලිවිල්ල අත්හැරිලා තිබුණේ. දැන්  මතක් වෙලා බලපුවම   හරියටම අවුරුදු  දෙකකින් කිසිම දෙයක් ලියවිලා නැහැ. මේක හිතාමතා අත්හරිමකටත් වඩා ඉබේ සිද්දවුණු දෙයක්. බොහෝවිට රැකියාවේ සිදුවුණු වෙනසත්, නිතර පරිගණකය ඇසුරට අවශ්‍යතාවක් නොතිබීමත් මේකට හේතු වෙන්න ඇති.

බ්ලොග් එකට හුගක් දේවල් ලියවුනේ කියාගන්න බැරි දේවල්  කියල දාන්න මේක  හොඳ මෙවලමක්  නිසා."මා මුවින් වැමෑරුනු දුක් ගැහැට එකතු කර එය මහා කවියකැයි පසු කලෙක ඔබ කීහ." කියල මහගම සේකරත් කියල  තිබුනනේ.  මමත් සේකරත් පොලොවයි අහසයි වගේ උනාට, මේ කියමන  අදාලයි වගේ.     


 වැඩිපුර හිතට ආපු දේවල්  අකුරු වෙලා තියෙන්නේ ජිවිතේ අමාරු කාල වලදී, හිතට එන හැමදේම කියාගන්න කෙනෙක් නැති එහෙම නැත්තන් අහන ඉන්න අයට තමන් කියන දේ තේරෙන්නේ නැහැයි කියල හිතුනු අවස්ථාවලදී.

එහෙම කියල අද මේ හිතට  එන දේවල් යතුරු කරන්නේ කියාගන්න බැරි දෙයක් තියෙන නිසා නෙවෙයි. ඊයේ උදේ එක්තරා ආචාර්යවරයෙක්  බ්ලොග් ලියවිල්ල ගැන අහම්බෙන් වගේ  කතා කරපු නිසා. මේ ආචාර්ය වරයා බ්ලොග්  ලියන්නන්   කිහිප දෙනෙක්වම දිරි ගන්වල තියෙනව. හිතට එන දෙවල් අකුරු කරල එ හරහා යම් අස්වැසිල්ලක් ලබාගන්න පුලුවන් බව එතුමා කිව්ව. මෙක මන් හොදටම දන්න දෙයක්. විදල තියන දෙයක්. එ නිසා වෙන්න ඇති මෙ වෙලාවේ මෙ වචන ටික ලියවෙන්නෙ.

බ්ලොග් ලිවිල්ල වගෙම කියවිල්ලත් යම්තක් දුරකට මගෙ අතින් මග ඇරිල තිබුනා. එ බවත් මට ආපහු මතක් කලෙ මෙ ආචාර්යවරයා. ඔහු අපුරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා. බ්ලොග් කියවිම අත් හැරීම නිසා  කොතරම් රසවත් දේ මගහැරෙනවා  ද. කට්ටකාඩුව එ බ්ලොගයෙ නම.

ස්ටීවන් කිං කියන ප්‍රසිද්ධ කතාකරුවා  මෙහෙම කියනවා. "ඔබට කියවීමට වෙලාව නැතිනම් ඔබට ලිවීමට වේලාවක් (සහ අවශ්‍ය මෙවලම්) ද නැත. මේ කියමනත් මට අදාල කරගන්න පුළුවන්. දැනට අවුරුදු කිහිපයකට කලින් මාසයක් ඇතුලේ කියවපු පොත් කාන්තාරව දැන් අවුරුද්දක් ඇතුලේත් කියවන්නේ ලොකු වෑයමක්  දරල.

මං පොත් කියවන්න ආසාව තියන කෙනෙක්. පොතේ අන්තර්ගත කතාවට වඩා පොතේ සමහර උදෘත වලින් ජීවිතය කියවන්න මං හුඟක්ම කැමතියි. පොත් කියවල ටික දවසක් ගියත් කල්පනා කරන්න දේවල් ඉතුරු කරන පොත් වලට, කතන්දර වලට මම හුඟක්ම කැමතියි. වැඩ ගොඩවෙනකොට ආසාවන් ඉෂ්ට කරගන්න වේලාවක් හොයාගන්න අමාරු  වෙනවා.ඊටත් එහා එකට අවශ්‍ය මානසික ශක්තිය  පිරිහිලා යනවා.

මේ අලුත් බ්ලොග් සටහන ඒ නීරස කාලයට තිතක් තබාවි කියල පොඩි බලාපොරොත්තුවක් තියනවා. හැබැයි, මේ සටහන තියල ආයෙත් මාස ගණනක් යනකම් බ්ලොග් එකක් තියනවා ද නැද්ද කියල මතක් නොවෙන්නත් පුළුවන්කමක් තියනවා. කල යුතු දෑ අපමණයි. කාලය සීමිතයි. තෝරගත්තු මර්ගයේ පරහක් ද කියලත් මට වෙලාවකට හිතෙනවා. 

Monday, August 22, 2016

අද මහ වැසි වැටිය යුතුය. එහෙත් ඔබ නොතෙමිය යුතුය.

වේලි පණ අදින තරුණ තණ පදුරු
දිවි රැකෙන්නට නම්
අද වැසි වැටිය යුතුය.
ඉරි තැලී ගිය පොළොව තෙමී මෙලෙක් විය යුතුය...

හෙට හිරු කිරණ දක්නට
රෝස කැකුලක් පිපෙන්නට නම්
අද වැසි වැටිය යුතුය.
කේශ මුල් මුදුන් මුල් තුලින්
දිය පොදක් ඇදී යා යුතුය...

ජවැ'තිව හෙට දින දකින්නට නම්
අද දාහය නිමිය යුතුය.
ඉදින්,
මහ වැසි වැටිය යුතුය.

මහ වැසි වසින්නට
අහස් කුස නිමිති බලයි.
ඒ නමුදු,
මහ වැස්සේ තෙමෙන්නට
සූදානම් නැති ඔබ
රවා බලයි ගැබ්බර අහස දෙස...

Thursday, June 2, 2016

සිංහලෙන් ලියන කියන අය ඔනෑ කර තිබේ

ලඟදි අපි අලුත් වැඩක් පටන්  ගත්ත. ඒ තමයි NIGHT  OWLS. Night  Owls  කියන්නේ online  magazine  එකක්. ඒ ආරම්භයට තියපු සටහන තමයි මේ.
-----------------------------------------------------------------------------------
එන්න Night Owls එක්ක රෑ අහසේ පියාඹන්න!


www.nightowls.lk


අපට හැමදාමත් අපි කැමති දේම කරන්න ලැබෙන ඉඩ අඩුයි. නමුත් උවමනාවක් තියෙනවා නම් තමන් කැමති දේ කරන්න ඉඩ හදාගන්න, නැතිවුණු දේ නැවත ලබාගන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. Night Owls කියන්නෙත් එහෙම හදාගත්තු ඉඩක්.

තවත් විදියකට කියනවනම් මේ නිදහස සොයාගෙන යන ගමනක්. මේ හදාගත්තු ඉඩ අපි ඔක්කොගෙම නිදහස් වේදිකාව.

කැමති කැමති දේ කරන්න නිදහස ලැබුනා කියලා ඒ නිදහස තව කෙනෙක්ගේ නහයේ වදින්නේ නැති විදියට අපි පාවිච්චි කරමු. කෙනෙකුට අසාධාරණයක් වෙනාවානම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙමු. පුළුවන් උපරිමයෙන් අපේ ප්‍රශ්න ගැන කතා කරමු. එතකොට අපිට පුළුවන් විදියට විසදුම් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ.

අපේ වෙබ් අඩවිය ඕනෙම කෙනෙකුට විවෘතයි. ඕනේම අදහසකට විවෘතයි. ප්‍රධාන මාධ්‍ය ධාරාවෙන් අවස්තාවක් නොලැබුණු අයට රෑ බකමූණෝ වැඩි ඉඩක් දෙනවා. ඒ නිසා කියන්න යමක් තියනවා නම්, ලියන්න අපිට.

ඔබ වඩා කැමති මොනවටද? කලාවටද, සාහිත්‍යය ද, මේ කාලයේ කතාබහට ද? එහෙම නැත්තම්, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් වගේ අත්කම් ගැන අලුත් හෝඩුවාවල් ද? ජීවිතේ තමන් කැමති මඟ ගිහින් ජය ගත්තු, පරාජය වෙච්චි අය ගැන තොරතුරුද? මේ හැමදේටම ඉඩක් අපි ළඟ තියනවා.

ඉතින්, අද පලවෙනි අඩිය තියපු මේ ගමන අපි යමු කණ්ඩායමක් විදියට. ඉතින් එන්න අපිත් එක්ක. අන්තර්ජාලයේ අසීමිත නිදහස ඵලදායක විදියට උපරිමෙන් භුක්ති විඳිමු.
ඔබේ අදහස්, නිර්මාණ සහ යෝජනා අපිට එවන්න

ඊමේල් – bakamoonukatha@gmail.com
මුණු පොතේ බකමුණෝ: facebook.com/bakamoonukatha
ට්විටර්: @BakamoonuKatha
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

වැඩේ පටන් ගත්තට, එක ප්‍රශ්නයක් තියනවා. මෙච්චර සිංහල කතා කරන ලියන රටේ අපිට සිංහලෙන් ලියන කියන අය හොයාගන්න හුඟක් අමාරු යි. බ්ලොග් සමුහයේ අපිට උදව් කරන්න පුළුවන් අය ඉන්න බව මතක් වුනු ගමන්මයි මේ පොස්ට් එක ලියන්නේ. සිංහලෙන් කවි කතා ලියන ඕනෙම කෙනෙක්ට night owls එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.අපහාසාත්මක, අශ්ලීල දේවල් හැර (සාපේක්ෂයි. මිනුම ලියන කෙනා සතුයි) ඕනෙම දෙයක් අපිට ලියන්න පුලුවන්.

සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, දෙමළෙන් කවි කතා අදහස් ලියන ඕනෙම කෙනෙකුට මේ පණිවිඩේ දෙන්න. Owlets කියල පොඩි අයටම වෙන් වුනු කොටසකුත් තියනවා. ඒ අයටත් චිත්‍ර, කවි, කතා ඕනෙම දෙයක් එවන්න පුළුවන්.

පුළු පුළුවන් විදියට මේ ව්‍යායාමයට උදවු ලැබේවි කියල බලාපොරොත්තු වෙනවා. ලියන, කියවන අය නැතුව මේ පටන් ගත්තු දෙයින් වෙන  ප්‍රයෝජනයක් නැහැ.

තව ඇතුල් කරන්න පුළුවන් දේ ගැන අදහසක් තියනවා නම් කියල එවන්න


මෙකයි සයිට් එක : http://nightowls.lk/wp

Monday, April 25, 2016

සතුටු හිතෙන බස් කතා


www.deviantart.com

බස් එකේ මගේ එහා පැත්තෙන් මැදි වයසේ පිරිමි කෙනෙක් වාඩි වුණා. වෙලාව රෑ 7 පහුවෙලා. කරුවල වැටිලා. බස් එක ඇතුලේ ලයිට් දාලා තිබුනත් එච්චර එළියක් තිබුනේ නැහැ. ඒ මනුස්සය වාඩි වෙලා මිනිත්තුවකින් වගේ කොන්දොස්තර ආව ටිකට් ගන්න. අර මනුස්සයා ඒකට කලින්ම ලෑස්ති වෙලා නොට්ටුවත් දික් කරගෙනයි හිටියේ.

"කිරිබත්ගොඩට"

කොන්දොස්තර සල්ලි නොගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා.

"ඇයි අංකල් කිරිබත්ගොඩට යන්න ඔච්චර සල්ලි දෙන්නේ?"

මේ මනුස්සයා රුපියල් 50ක් කියල දික් කරලා තියෙන්නේ 1000 කොලයක්. එයා ඒ නෝට්ටුව ඇස් දෙක කිට්ටුවටම අරන් බලල ඇස් ලොකු කරගත්ත.

කොන්දොස්තරට වුවමනාව තිබුනා නම් 50 කියල දාහ අරන් පනහක ඉතුරු දෙන්න තිබ්බා. අර මනුස්සය දන්නෙත් නැහැ.

"අන්කල් මට උවමනාව තිබ්බනම් ඕන අරගන්න තිබ්බ. ඔයා දන්නෙත් නැහැ. ඒත් එහෙම ගත්තා නම් මට හරියයිද අංකල් ?"


මගේ එහා පැත්තේ හිටපු මනුස්සයාගේ මුණේ හිනාවක් ඇඳුනා.
-----------------------------------------------------------------------------------

ගාල්ලේ ඉඳල කොළඹ එන බස් එකක්.  මම නැග්ගේ කොල්ලුපිටියෙන්. ඉඳගන්න ඕනේ තරම් සීට්. මම වැඩි වුනේ මුදා පැත්තේ සීට් එකක. එහා පැත්තේ වාඩි වෙලා හිටියේ හරි රවුම් හැඩේ ගෑනු කෙනෙක්. 50ක් 55ක් වයස ඇති.

ටිකකින් කොන්දොස්තර ආව. මගෙන් සල්ලි ගත්ත. ආපහු ඉස්සරහට ගිහින් මම හිටපු තැනට ආව. කොන්දොස්තර අවුරුදු 18ක 20ක අපිරිසිදු පාට කොල්ලෙක්.

"අම්මේ" කොන්දොස්තර ආවේ මගේ එහා පැත්තේ කෙනාට කතා කරන්න. ඒත් ඒ කෙනා නෙවෙයි කොන්දොස්තර පැත්තට හැරුනේ.

"අම්මේ" එයත් උත්සාහය අත අරින්නේ නැහැ. "බැරි අමාරුකම් තියන කෙනෙක් නැග්ගම අපි ඉඳගන්න දෙන්න ඕනේ. ඇහෙන්නේ නැහැ වගේ ඉන්න පවු. අපිටත් බැරි දවසක් එන්න පුළුවන්නේ?" කොන්දොස්තර හරිම ශාන්තව කියල ආපහු ගියා.  ගෝල් ෆේස් හරියේදී අපහු ආවා. "මම නැගිටින්න කිව්වාම අම්මට කේන්ති ගියා නම් සමාවෙන්න. ඒ වෙලේ ඒ මනුස්සයට වාදී වෙන්න දෙන්නම ඕනේ"

අර ගෑණු කෙනත් තනියම මොනවද කියෙව්වා. අහක බලන් කියෝපු නිසා මට තේරුනේ නැහැ. ආබාධිත කෙනෙක් නැග්ගම කොන්දොස්තර මේ මනුස්සයව නැගිට්ටලා සීට් එක අරන් දීල.

-------------------------------------------------------------------

බස් ගැන කියද්දී හුගක් වෙලාවට අපිට මතක් වෙන්නේ එපා කරපු දේවල්. ඒ අතරිනුත් හුගක් විට කොන්දොස්තරගේ වැරදි. ඉතුරු නොදීපුව. ඉස්සරහට යන්න කියල කෑ ගහපුවා. මිනිස්සුන්ට බැනපුවා. එහෙමත් නැත්තන් සෙනග පිරෙනකම් කිය කියා පරක්කු වෙනකම් බස් එක නතර කරන හිටපුව. මේ හින්දම බස් කොන්දොස්තරලා ගැන අපිට තියන ආකල්ප එච්චරම ධනාත්මක නැහැ. ඒත් ඉඳහිට බස් එකකදී අහන දකින මේ වගේ පොඩි පොඩි සිද්ධි නිසා මට හරි සතුටක් ඇතිවෙනවා. කොයි කණ්ඩායම ඇතුලෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා.

Friday, March 18, 2016

හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද?

තාජුදීන්ගේ මරණ අභිරහස දැන් කාලයක ඉදන් ප්‍රවෘත්ති වල පෙරලි කරනවා, ඒත් මේ වෙනකොටත් අරයට මෙයාට ඇඟිලි දික් කරනවා මිසක් වගකිවයුතු කෙනෙක් නීතියට යටත් කරගෙන නැහැ. මේ ලංකාවේ නොවිසිදුනු අපරාධ විශාල ප්‍රමාණයකින් එකක් විතරයි.

වැරදි කරන අයට නීතියෙන් හැමවිටම දඬුවම් ලැබෙනවද? නීතියෙන් ගැලවෙන හැටි දන්න, නීතියෙන් ගැලවිලා අපරාධ කරගෙන යන හැටි දන්නා දක්ෂයෝ ඕනේ හැටියට තමන්ගේ වැඩ කරගෙන යනවා. ඒත් මේ අයට තමන්ගේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද? 

මේ ගැන කතා කරන අපුරු චිත්‍රපටියක් තමයි The Machinist. මනෝවිද්‍යාත්මක ත්‍රාස කතා බලන කෙනෙක් නම් මේ චිත්‍රපටිය මග හැරිලා තියෙන්නට බැහැ. 2004 දී තිරගත වුනු මේ කතාව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම චිත්‍රපටියක් විදියට තමයි විචාරකයෝ හඳුන්වන්නේ. අවුරුදු 12ක් පරණ වුනත් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක්. (මෙම රීතියේ චිත්‍රපටි වලට කැමති අයට)



ද මැෂිනිස්ට් ගැන කතා කරන කොට මුලින්ම අවධානය යොමු වෙන්නේ එහි ප්‍රධාන නළුවා වන ක්‍රිස්ටියන් බේල් ඒ චරිතය වෙනුවෙන් හැඩගැහෙන්න කරන පෞද්ගලික කැපකිරීම. එය හොලිවූඩ් ඉතිහාසයේම දක්නට ලැබෙන විශිෂ්ටතම කැප කිරීම් වලින් එකක්.  ඔහු මේ චිත්‍රපටය සඳහාම ඔහුගේ සිරුරේ බර කිලෝ 30ට ආසන්න ප්‍රමාණයක් අඩුකරගන්නවා. කතාව පුරාවට ඔහුගේ ඇට ගැහුණු සිරුර දිහා බලා  ඉන්නට පවා අසීරුයි.


මෙහි කතා නායකයා, Trevor Reznik,  අවුල් ජාලාවක පැටලුන අයෙක්. ඔහු වසරකට අධික කාලයක් තිස්සේ හරියාකාරව නින්දක් නැති කමින් පීඩා විඳිනවා. ඒ නිසාම, බලාගෙන ඉඳිද්දී ඔහුගේ සිරුර වැහැරිලා යනවා. අනිත් අයට නොපෙනෙන දේ පෙනෙන්නට ගන්නවා. මුළු ජීවිතේම උඩු යටිකුරු වෙනවා. මේ සියල්ලටම හේතුව වෙන්නේ ඔහු පලායන්නට උත්සහ කරන වරදකාරී හැගීමක්.  මුලදී ඔහුටත්, නරඹන්නන්ටත් මේ විරියාසය ගැටළුවක්. නමුත් අවසානයේ ගැටලුවට හේතුව පැහැදිලි වන විට Reznik තරමටම නරඹන අයත් කම්පනයට පත්වෙනවා.


අවස්ථාවෙන් පලා  ගියත්. නිතීයේ රැහැනට අසු නොවුනත් වරදකාරී සිතුවිල්ලකට මිනිසෙකුගේ සිතක් කොතරම් අවුලෙන් වියවුලට පත් කරන්නට පුලුවන්ද? මේ කාරණය කතාව පුරාවට අපුරුවට පැහැදිලි වෙනවා. එංගලන්තයේ Royal  College  of  Psychiatrists හි  මනෝචිකිත්සකයෙකු චිත්‍රපට විචාරය කදී පෙන්වාදෙන්නේ Reznik ගැලවී යන්නට උත්සහ කරන යථාර්තයම ඔහුගේ යටි හිත විසින් මායාකාරී ලෙස ඔහුව කොටු කරගන්නා බවයි.



Reznik අතින් සිදුවන වරද ඔහු කලින් සංවිධානය වී සිදුකරන්නක් නොවෙයි. ඔහුගේ අත්වැරදීමක් නිසා සිදුවන්නක්. නමුත් ඒ සිදුවීමේ ප්‍රතිවිපාක වලින් පැනයන්නට කරන උත්සාහය නිසා ඔහුගේ සිත ඔහුට අවශ්‍ය දඬුවම් ලබා දෙනවා. චිත්‍රපටි කතාවක් උනත් මෙය සිදුවිය නොහැකි දෙයක් නොවෙයි. බුදුදහමේ හෝ මනෝ විද්‍යාවේ පැහැදිලි කෙරෙන විදියට  සිතට මෙවැනි බලපෑම් ඇති කළ හැකියි.


ඔබේ අතින් සුලුවරදක් වී එය සඟවා සිටින විට ඇති වන අපහසුව සිතන්න. ඉතින්, විශාල වරදක් සිදු වුනු විටකදී, පිටත ලෝකයට කෙලෙස පෙනී සිටියත්, ඔබේ සිතෙන් ඔබට ගැලවෙන්නට පුළුවන් වේවිද?





 

Thursday, March 3, 2016

හිතේ ලෙඩ

සිලින්ජරයක රුධිර බිඳකට
කියන්නට බැහැ
හඬ නඟා
වරද ඇත්තේ රුධිරයේ නොව
ගිලන් වූ හද තුල කියා


තැලී පොඩි වුණු හදක් කෙලෙසක
පණ පිඹින්නද පිළුණු රුහිරට ?
සිලින්ජරයේ රුධිර බින්දුව
කියාවි ද ගතු මිසී නෝනෙට?
 

Monday, February 15, 2016

මහත්තයෙක් වෙන්න හැමදාම 'ටයි' එකක් අඳින්න

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා. හැමදාම ලස්සනට අඳිනවා. කවුරුත් මුණ ගැහුනත් නැතත් ටයි එකත් අඳිනවා. කොන්ඩෙ ලස්සනට පාට කරලා පීරනවා. යන යන තැන බඩු මුට්ටු උස්සගෙන යන්න අතවැසියෙක් ඉන්නවා.

තව මනුස්සයෙක් ඉන්නවා. එයා ලස්සනට අදින්නේ විශේෂ කටයුත්තක් තිබුනොත් තමයි. අනිත් දවසට සාමාන්‍ය කමිසයක් කලිසමක් සරල විදියට ඇඳගෙන වැඩට එනවා. සමහරවිට එකම කමිසය සතියට දවස් දෙකක් අඳිනවා. වැඩ වැඩි දවසට කොන්ඩේ උනත් හරියට පීරිලා නැති ගතියක් තියනවා.

මේ දෙන්නම සම තනතුරු දරන, එක අධ්‍යාපන මට්ටමේ උදවිය. පවුල් පසුබිමත් සැහෙන දුරට සමානයි.

ටයි දාන පුද්ගලයා තමන් යටතේ වැඩ කරන අයට දැනෙන්න සලස්වනවා ඒ අය ඔහුගේ සේවකයෝ බව. තමන්ගේ තත්ත්වය ඉහල එකක් බව ආයාසයෙන් දැනෙන්නට අරිනවා. මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා. අණ දෙනවා. අණ පැහැර හැරියොත් දඩුවම් ලැබෙනවා, අඩු තරමින් අපහාසයක් වත් ලැබෙනවා.

ටයි නොදාන පුද්ගලයා මිනිස්සුත් එක්ක වැඩ කරනවා. රියදුරා එක්ක උනත් එකට වාඩි වෙලා කෑම කනවා. තමන් යටතේ වැඩ කරන අයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ අයත් තමන්ගේ මට්ටමේ සමාන කරලා සලකනවා. වරදක් උනොත් හේතු හොයනවා. තරවටු නොකර පිලියමක් හොයන්න උදව් වෙනවා.

එකම වටපිටාවකින් එන, එකම අධ්‍යාපනයක් ලබපු දෙන්නෙක් ඇයි දෙවිදියක්? මම ගොඩක් කලපනා කළා. අන්තිමටයි තේරුනේ මොකක්ද වෙන්න ඇත්තේ කියල. වෙන හේතුවක් හොයාගන්න බැහැ. හේතුව 'ටයි' එක.

කාලයක් ටයි එක දැම්මම එකේ රස්නේ හදවතට වදිනවා. ඉතින් හදවත රත්  වෙනවා. ඉතින් මනුස්සකම කර වෙනවා. හැබැයි ඔයා සමාජයේ වැදගත් මහත්තයෙක් බවට පත්වෙනවා!

ඉතින්, තත්ත්වේ රැක ගන්න ඕනේ නම් ඔයාලත් දිගටම් ටයි එකක් දාන්න. එක දිගට හැමදාම! එකෙන් ඔයාගේ සමාජ තත්වයත් ආරක්ෂා වෙලා අනිත් අයට වඩා උසස් කෙනෙක් බවට පත් වෙයි.







Tuesday, February 2, 2016

(අ)සම්පුර්ණ








'සම්පුර්ණ'
මිනිසෙකු සොයා
හති වැටී ඔබ
දිගු ගමනක...

අසම්පුර්ණ ඔබ
සම්පුර්ණව දකින මම
හුදෙකලා වී
එකම තැන! 

Saturday, December 12, 2015

පැහැසරණී: රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ !

පැහැසරණී: රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ !: ගංගොඩවිල සෝම හිමියන් අප අතරින් වියෝවී වසර නමයක්  ගෙවී ගොස් ඇතත් , ගුවන්විදුලි සහ රූපවාහිනි  නාලිකා වලට ස්තුතිවන්ත වන්නට උන්වහන්සේගේ ධ...

Sunday, December 6, 2015

Mobile sim සහ යාලුවෝ


මිනිස්සු ඇවිල්ලා සමාජ ජීවියෝ. අපිට මුළු ජීවිත කාලෙම තනිවෙලා ඉන්න බැහැ.  මේ නිසාම අපි කාලෙන් කාලෙට ජීවිතේට එක එක පුද්ගලයන් ලං කර ගන්නවා.  වසනාවත්න ඇත්තෝ ඒ ලං කරගන්න අත්තන්ව ජීවිත කාලෙම ලඟින් තියාගන්නවා. නමුත් සමහර විටදී ඒ ලංකර ගන්න අය  අපිව දාල යනව. එහෙම නැත්තන් අපි ඒ අයව දාලා යනවා 
සමහර විටදී කාර්යබහුල බව හින්දා මේ ගොඩනගාගන්න සම්බන්දතා අත ඇරිලා යනවා. හරියට අපේ ඉස්කෝලේ යාළුවො වගේ. අපි ඉස්කෝලේ කාලේදී ඇති කරගත්තු යාළුකම් ඒ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි කීයෙන් කීදෙනාටද? විශේෂ හේතුවක් නැතුව මඟ අරුණු සම්බන්දතා ගැන අපිට අපිටම දොස් පවර ගන්න පුලුවන්ද? 

මගේ ඉස්කෝලේ කාලේ යාලුවෝ ඇති කරගන්න එක මට ලොකු ගැටළුවක් වෙලා තිබ්බා. විශේෂයෙන්ම පුංචි පන්තිවලදී. දැන් කල්පනා කරනකොට හුඟාක්ම ලොකු පන්ති වලට එනකම් මට 'හොඳම යාලුවෙක්' කියන්න කෙනෙක් හිටියේ නැහැ. මට මතකයි අවුරුද්දේ ඉස්ස ඉස්සලම අලුත් පන්තියකට යනකොට තාත්ත මට විශේෂ දේවල් දෙනවා පන්තියේ බෙදල අලුත් යාළුවො හදාගන්න කියල. තුනේ  පන්තියේදී විතර තාත්තා මට පෙට්ටියක් පුරවලා චීස් කෑලි  දුන්නා (අපි හැමදාම චීස් බටර්   කන්න තරම් පැලැන්තියක අය  නෙවේ). ඒ චීස් ඔක්කොම මට තනියම කන්න වුනු බව තාත්තා අදටත් දන්නේ නෑ. පුංචි පන්ති වලදී මම අපිරිසිදු ළමයෙකුත් නෙවෙයි, ඔතැනි  ලමෙකුත් නෙවෙයි, අදක්ෂ ලමෙකුත් නෙවෙයි. ඒත් මටම හිතාගන්න බැරි හේතුවකට මට කිට්ටුම යාලුවෙක් හිටියේ නෑ.
 
ලොකු පංති වලට එද්දී කණ්ඩායම් වලට ඇතුළු වෙනකොට එක එක යාලුවෝ හිටියා. ඒ අය බොහෝවිට යාළුවො වුනේ මම එහා පැත්තේ පුටුවේ වාඩි  වෙලා ඉන්න  නිසා. එහෙම නොවුනා නම් මම බොහෝ විට ඒ කණ්ඩායම් වල කෙනෙක් නොවෙන්න තිබ්බා. උසස් පෙළ පන්තියට එද්දී යාළුවො වුවමනා වෙන හේතු වෙනස් උණා. කෑම බෙදාගන්නවට වඩා මාව තේරුම් ගන්න පුළුවන් යාළුවො මට ඕනේ උණා. ලඟින් යන අදහස් තියන අය හිටිය. ඒ අය  හොඳම යාළුවො උණා. ඒත් හිත ඇතුලෙන් කොයි කණ්ඩායමටත් මාව නොගැලපෙන බව මට  දැනුනා. සීයයට සීයක් ගැලපෙන යාලුවෝ කාටද හම්බ වෙන්නේ?

 
රස්සාවල් කරනකොට මුණගැහුණු අයගෙන් බහුතරයක් පාප මිත්‍රයෝ. ඒ සමහර දෙනෙක් යාලුකම් ඇතිකර ගත්තේ බොහොම ආත්මාර්ථකාමී හේතු වලට.කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල තමයි.සමහරු කිට්ටු වෙන්නේ ඇයි  කියන එක තේරුම් ගන්න බැහැ. මම පලවෙනි රස්සාව කරන්න ගත්තේ අවුරුදු 20ක් වෙන්නත් කලින්. ඒ කාලේ මිනිස්සු අදුනගන්න තරම් අත්දැකීම් නැහැ. හැමෝම ඉස්කෝලේ වගේ ඇති කියල හිතාගෙන කරපු දේවල් වලින් හොඳ පාඩම් ඉගෙන ගත්තා. අන්තිමට රස්සාව එපා කියල ගෙදර ආවා. දැන් හැරිලා බලනකොට හිතෙනවා ඒ කාලේ කොච්චර බොලඳද කියල. 

අවුරුදු 21ක් විතර වගේ කාලේ වෙනකොට මම තේරුම් අරන් හිටියා මම කවදාවත් කණ්ඩායමකට අයිති වෙන කෙනෙක් නෙවෙයි බව. ඒක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.  ඒත් මම හොඳටම බයෙන් හිටියේ මට කවදාවකවත් මාව තේරුම් ගන්න පුළුවනකම තියන යාළුවෝ මට මුණ නොගැහෙයි කියල. 

කාලයත් එක්ක අපි ඔක්කොම වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ධර්මය. මම  පිළිගන්න අකැමැතිමත් මේ ධර්මයම තමයි. අවුරුදු 18ක් වගේ කාලේදී මාව හොඳින්ම තේරුම් ගත්තා කියල මම හිතන් හිටපු මිත්‍රයන් මේ වෙනකොට මාව තේරුම් ගන්නව කියන එක මම හිතන්නේ නෑ. ඒ වගේම ඒ අයව ඒ කාලේදී වගේ මටත් තේරුම් ගන්න බැහැ. අපේ ජීවන රටාවල් වල වුනු වෙනස්කම් නිසා, එක එක හැලහැප්පීම් නිසා අපි වෙනස් මිනිස්සු වෙලා. ඒ වෙනස්වීම එක වෙලාවකට හිත පාරවනවා. 

මම මේ ගැන තනියම ඉන්නකොට ඉබේටම කල්පනා වෙනවා...

මට හිතෙන්නේ එක එක කාලේදී අපි කිට්ටු කරගන්නේ අපිට සමාන අත්දැකීම් තියන පිරිසක් කියල. ඒ අපිට සමාන සිදුවීම් වලට මූණ දුන්නු අයට  අපිව තේරුම් ගන්න පුළුවන් කියල අපි විස්වාස කරන නිසා. පහුගිය දවස් වල රැකියාව සම්බන්ද ප්‍රශ්න ගොඩක් ඇතිවුනා. මම යාලුවෝ කීප දෙනෙක් එක්කම කතා බහ කළා. වරු ගණන් කතා කලත් ඒ අයට මාව තේරුම් ගන්න පුළුවන් වුනා කියලා මට දැනුනේ නැහැ. අඩු තරමේ හැමදාම ලඟින් ඉන්න පවුලේ අයටවත්. එත් ඊයේ මාත් එක්කම ප්‍රශ්න වලට මූණ දුන්නු කීපදෙනෙක් මට මුණගැහුනා. ඒ අය  එක්ක ප්‍රශ්න කතා නොකලත් මට ලොකු සැනසීමක් දැනුනා. තමන්ව තේරුම් ගත්ත කියල හිත තේරුම් ගන්න විදිය හරි පුදුමයි.

මේ වෙනකොට මම 'මිත්‍රයෝ' ගැන තේරුම් ගත්තු කාරණා කීපයක්  තියනවා.ඒවා මගේ අත්දැකීම් මත පදනම් වුනු ඒවා නිසා බොහෝවිට මට විතරක් පොදු දේවල් වෙන්නත් පුලුවන්.

1. තමන් තමන්ව හොඳටම තේරුම් නොගෙන වෙන කෙනෙක් තමන් තේරුම් ගන්නකම් බලන් ඉන්න තාක් කල් හොඳම යාලුවා කියන්නේ මිත්‍යාවක්!  වෙන කෙනකුගෙන් හොඳම යාලුවෙක් හොයන එක තේරුමක් නැති  වැඩක්.තමන් තමන්ගේ හොඳම මිත්‍රයා  වුනු දවසට අනික් මිත්‍ර සම්බන්ධතා වල අගය හරියටම තේරුම් ගන්න පුළුවන්. 

2. කල්ලියකට ගැලපෙන්න බැරි වුනාට ජීවිතේදී තමන්ට ගැලපෙන මිත්‍රයෝ මුණගැහෙනවා. ඒ අය ගණනක් විදියට පොඩ්ඩක් උනත් මහමෙරක් විදියට වටිනවා. ධම්මපදේ කියනවා වගේ "තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින් නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.සහායට බාලයෙකු නො ගත යුතු ය." ගත්තොත් පසු තැවෙන්නට සිදුවෙනවාය. 
 

3. කාලෙත් එක්ක අපි සම්බන්ධතාවයකින් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙනවා. අපි ඉස්සර දුරකථන අංකයක් මිලදී ගන්න එකෙන් බලාපොරොත්තු වුනේ ලාබෙට දුරකතන ඇමතුම් ගන්න. පස්සේ ලාබම sms package එක. දැන් ලාබම data plan එක. මිත්‍ර සම්බන්දතාත් මේ වගේ තමයි. 

මම ජීවිතේ වැඩිපුරම බය කාරණා වලින් එකක් තමයි මේ තුන්වෙනි කාරණය. ඉස්කෝලේ කාලේ මග අරුණු යාළුකම් වගේ දැනට පවතින යාළුකමුත් කාලයක් ගතවෙද්දී 'මග අරුණු යාළුකම්' බවට පත්වෙයි ද කියල. හොඳටම බය හිතෙන්නේ ඒ යාළුකම් මඟ ඇරුනා කියල මට කනගාටු නොහිතෙවී කියලා. 

මේ ගැන දැනට ඉන්න කිට්ටුවන්තම යාලුවෙක් එක්ක කතා කරද්දී මගේ බය  දුරටම අඩුවුණා. ඒ නිසා යාලුවෝ ගැන මගේ කාරනා ලැයිස්තුවට තවත් කාරනාවක් එකතු කරන්න පුලුවන්.

4. කාලයත් එක්ක අපේ ප්‍රශ්න වෙනස් වෙන බව ඇත්ත. අවශ්‍යතා වෙනස්වෙන බව ඇත්ත. මේ නිසා මිනිස්සුන්ට සම්බන්දතා මග ඇරෙන බවත් ඇත්ත. හැබැයි  ඒ මිත්‍ර සම්බන්දතාවේ දෙපාර්ශවයම මේ වෙනසට අනුව හැඩගැහුනොත් මිත්‍ර සම්පත්තිය දිගටම පවත්වාගෙන යන එක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මිත්‍ර සම්බන්දතා මග ඇරෙන්න හේතුව ජීවිතේ සංකීර්ණ වීම නෙවෙයි, ඒ සිදුවන වෙනසත් එක්ක එක පාර්ශවයක් වෙනස් වෙන්න දක්වන අකමැත්ත. 

ඉතින්, අපි අවශ්‍යතාවයේ හැටියට sms, call minutes, data  plan  දෙන mobile service provider  කෙනෙක් වගේ වුනොත් sim මාරු කරනවා වගේ යාළුවො මාරු වෙන එකක් නැහැ.