Thursday, December 20, 2012

ඔබට හොරා සිදුවිය හැකි : අනන්‍යතා හොරකම

මතකද ඔබ එදා ඔබේ ගමන් මල්ල කාර්යාලයේදී  අස් - පස් කළා. මල්ල ඇතුලේ තිබුණු කඩදාසි කෑලි , බස් ටිකට්, බිල්පත් සියල්ල දැම්මේ ලගම තියන කුණු කූඩයට. ඒ අතරේ ඔබේ පෞද්ගලික ලියවිලිල්ලක කොටසක් උනත් තියෙන්නට ඇති. ඔබේ  අවශ්‍යතාවය වූනේ ගමන් මල්ල අස්  කරගැනීමයි. නමුත් ඔබ දන්නවද දෙවරක් නොසිතා ඔබ ඉවත දැමු ඒ කොළ කැබැල්ලම  ඔබට කරදරයක් වන්නට පුළුවන්.  ඔබට කරදරයක් කරන්නට මාන බලමින් සිටින්නෙකු, කාර්යාලය පිරිසිදු කරන සේවකයාට ඉස්සර  උනොත් කසල බදුන තරමක් අවුස්සා ඔබට අවැඩක් කරන්නට මගක් පාදා ගන්නට පුළුවන්. ඔබත් අනන්‍යතා සොරෙකුගේ ගොදුරක් වන්නට පුළුවන්. අනන්‍යතා සොරකම (Identity  Theft ) යනු ඔබට වැඩිපුර අසන්නට නොලැබෙන, එනමුත් ඔබට විශාල හානියක් සිදුකල හැකි තර්ජනයක්. නවීන තාක්ෂණය සමග නිතිපතා ගැටෙන ඔබ මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි.

ඔබ ඉවතලන පෞද්ගලික ලියවිල්ලක ඇති තොරතුරු, ඔබ මිතුරන් සමග ප්‍රසිද්ධියේ යෙදෙන දුරකථන සංවාද වලින් ඇහිඳ ගන්නා තොරතුරු, කාර්යාලයේ ඔබ අමතක කර යන ඔබේ දිනපොත, තැන තැන තනිකරන ඔබේ ජංගම දුරකථනය පමණක් නොවෙයි ඔබ හුවමාරු කරන ලිපි, ඊ - මේල් , කෙටි පණිවුඩ පවා ඔබව කරදරයට පත් කරන්නට පුළුවන්. මෙවැනි කිසියම් ක්‍රමයකින් සොරාගන්නා ඔබේ පෞද්ගලික තොරතුරු භාවිතා කරමින් ඔබේ අනන්‍යතාවය ඔවුන් සතු කරගැනීමත් එමගින් යුතු ප්‍රයෝජන ලබාගැනීමත් මේ සොරුන්ට සුළු දෙයක්. මෙලෙස ලබාගන්න තොරතුරු භාවිතයෙන් ඔබ බියවද්දා කප්පම් ලබා ගැනීමට  වුවත්  ඔවුන්  පෙළබෙන්නට  පුළුවන්.


ඔබ අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කරන්නෙක් නම් ඔබේ ණයපත් අංක , මුරපද ආදිය විවිධ වෙබ් පිටු වලට ඇතුලත් කිරීමේදීත් ඔබ බෙහෙවින් පරික්ෂාකාරී වීය  යුතුයි. යම් හෙයකින් ඔබේ ණයපත් අංකය හා අදාළ තොරතුරු සොරකම් කරගතහොත් ඔබේ අනන්‍යතාවය ඉදිරිපත් කරමින් ගනුදෙනු සිදුකිරීමට ඔවුනට ඉඩ ලැබෙනවා. මේ පිළිබඳව ඔබ දැනුවත් නොවුනහොත් ඔබට වියහැකි පාඩුව ඇති විශාලයි. මෙම ක්‍රමවලින් ඔබ්බට යන සමහරක් අනන්‍යතා සොරුන් තමන්ගේ කාර්යය ඉටු කරගැනීම සඳහා යොදා ගන්නේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු. මේ සඳහා පුවත්පතක පලවන මරණ දැන්වීමක තොරතුරු  පමණක් වුවත්   ප්‍රමාණවත්. මෙලෙස මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් සොරකම් කරන සොරුන් මැතිවරණ කාලවලට නම් ඕනෑ  තරම්.

අනන්‍යතා සොරකමින් ආරක්ෂා වීම හරම්ම අසීරු කාරණයක් නොවෙයි. සිදුකල යුත්තේ ඔබේ පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් වීම පමණයි. ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම ඔබ ආරම්භ කල යුත්තේ ඔබේ නිවසේ ලියුම් පෙට්ටියෙන්. ඔබේ ලිපි ඔබේ අතටම ලබාගත නොහැකිනම් යතුරු දමා වැසිය  හැකි ලියුම් පෙට්ටියක් භාවිතා කිරීම නුවණට හුරුයි. නිවසේ තිබෙන වැදගත් ලියකියවිලි, ඔප්පු තිරප්පු, බැංකු පොත් ආදිය යතුරු දමා වාසිය හැකි ස්ථානයක සුරක්ෂිතව තැබිය  යුතුයි. අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කරන විට විශ්වාසවන්ත වෙබ් පිටුවලට පමණක් ඔබේ තොරතුරු ඇතුලත් කිරීමට වග බලාගන්න. ඔබට නැවත අවශ්‍ය නොවන ලිපි ලේඛන විනාශ කර දමන්න.නිවසින් පිටතට යාමේදී ඔබේ බැංකු කාඩ්පත්, හැදුනුම්පත් අඩංගු පසුම්බිය ආරක්ෂා කරගන්න. ඔබේ කාරය නවතා ඉන් බස යන විට තවත් කෙනෙකුට ලඟා වියහැකි පරිදි එතුල ලියකියවිලි දමා යාමෙන් වලකින්න. එලෙසම කාර්යාලයේදී සෑම  විටකදීම ඔබේ පරිගණකයේ  දත්ත වලට  තවත් අයෙකුට  ප්‍රවේශ වීමට ඇති හැකියාවන් අවුරවන්න. පරිගණකයේ, විද්‍යුත් තැපෑලේ, ෆේස්බුක් ගිණුමේ මුරපද සුරක්ෂිතව තබාගන්න. කිසිලෙසකින් හෝ ඔබ මෙවැනි අනන්‍යතා සොරකමකට ලක්වුවහොත් වහාම පොලිසිය ඒ පිළිබඳව දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගන්න. ඔබේ බැංකු ගිනුමක තොරතුරු හෝ ණය  කඩ්පතක තොරතුරු අන්සතු වුවහොත් අදාළ බැංකුව හැකි ඉක්මනින් දැනුවත් හැකි ඉක්මනින් දැනුවත් කිරීමට වග බලාගන්න.


ඔබේ ආරක්ෂාව පිළිබඳව වගකීම සෑමවිටකදීම ඔබ සතුයි. යමක් සිදුවු පසු තවත් පාර්ශවයකට චෝදනා කිරීමෙන්  කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නැහැ. ඔබේ කරලයේදී හෝ වැඩබිමේදී ඔබට කිට්ටුවන අලුත් මිතුරන් ගැනත් සැලකිලිමත් වීමට අමතක කරන්නට එපා.  ඔවුන් මිතුරු වෙස් ගත පස මිතුරන් විය හැකියි. සැම විටකදීම දුර දකින්නෙකු වෙන්න. ඔබට වියහැකි අනතුරු වලින් ආරක්ෂාවීමට හැකි සෑම  පියවරක්ම   කරන්න. මීළඟ වාරයේදී  තැකීමකින් තොරව ඔබ විසිකර දමන්නේ ඔබේම අනන්‍යතාවය බව මතකයේ තබාගන්න.


Tuesday, December 18, 2012

පා පුවරුවේ යන්නේ ඔබ - ප්‍රමාද වෙන්නේ අනිත් මගීන්ට


සෙනග ඉතිරෙන බස් රථයේ අසීරුවෙන් එහෙට මෙහෙට යන කොන්දොස්තර මහත්තයාගේ කරච්චලේ එක වෙලවකට මගීන්ට වදයක්. හේතුවක් ඇතුවත් සමහර විට හේතුවක් නැතුවත් පුරුද්දකට වගේ කොන්දොස්තර මහත්තුරු හුගක් විට කෑ ගසමින් මගීන්ට තරවටු කරනවා. මේ අතරට මෑතක ඉදල එකතු වුනු තවත් දෙයක් තමයි පා පුවරුවේ යන්න එපා කියන දේ. පා පුවරුවේ මගීන් එල්ලාගෙන පැත්තට බරවුණු බස් රථ ඉස්සර නම් හරිම සුලබ දසුනක්. දැන් පොලිසියේ මහත්වරුත් පා පුවරුවේ මගීන් එල්ලිලා යන එක වලක්වන රාජකාරියට අත ගහලා නිසා දැන්නම් මේ දසුන තරමක් දුර්ලබයි.
පා පුවරුවේ ගමන අපේ පිරිමි ළමයින්ට වීර ක්‍රියාවක් වගේ දැනුනට ඒ දේ බෙහෙවින්ම භයානකයි. සමහර පිරිමි ළමයි පා පුවරුවේ එල්ලිලා ගෙදරට ආවම එකත් සලකන්නේ වීර ක්‍රියාවක් විදියට. වේගෙන් යන බස් රථය එක්වරම තිරිංග තද කළා නම් වීරයාට යන්න වෙන්නේ ගෙදර නෙවෙයි ඉස්පිරිතාලෙට. කොන්දොස්තර මහත්තයටත් රියදුරු මහත්තයාටත් කන් දීලා බස් රිය ඇතුලට වෙන එක හරි බැහැල ඊළඟ බස් රථයේ ගෙදර එන එක තමයි නුවනට හුරුම දේ.  
ඔබ පා පුවරුවේ හෝ එල්ලිලා බස් රථයේ එන්නට හදන්නේ ඉක්මනින් යන ගමන යන්නයි. නමුත් අතරමගකදී පොලිසියෙන් නතර කෙරුවොතින් පමා වෙන්නේ ඔබට පමණක් නොවෙයි. බස් රථයේ ගමන් කරන අනික් මගීනුත් ඔබ නිසා නිවසට හෝ රාජකාරියට යන්නේ ප්‍රමාද වෙලා. ඔබේ ජීවිතයට ආදරය නැති උනත් අනික් මගීන්ගේ පහසුව ගැන සිතා බලා හෝ පා පුවරුවේ යාමෙන් වලකින්න. ඔබ නිසා කොන්දොස්තරත් රියදුරු මහතාත් අනෙක් මගීනුත් අපහසුතාවයට ලක්කරන්නට එපා.


ලෝක විනාසෙ!


මේ දවස් වල කවුරු එක්ක කතාබහ කලත් කොහෙන් හරි කරකවලා එන්නෙම එකම මාතෘකාවට. 'ලෝක විනාසේ'. මේක  21 වෙනිදා වේවිද? නැද්ද? සමහර දෙනෙක් ස්ථීරවම කියන්නේ 21 වෙනිදා කිසිම හානියක් වෙන්නේ නැහැයි කියලයි. ඒ අතරේ තවත් කොටසක් බය වෙලා හිටියත් ඒ බය පෙන්නන්න ලැජ්ජයි. ලැජ්ජාව පැත්තක තියල තවත් ටික දෙනෙක් හිතේ හැටියට එළිපිටම හොඳහැටි බය පෙන්නනවා. පන්සල්, පල්ලි, කෝවිල් ගානේ දිග පෝලිම්. මේ දවස් වල තියෙන අයහපත් කාලගුණය නිසා මේ අයගේ හදගැස්ම තවත් ටිකක් වැඩි වෙලා.

මේ දවස් වල සාමාන්‍ය පෙළ කරන නංගිලා මල්ලිලා නම් ලෝක විනාසේ 21 වෙනවට හුගක්ම අකමැතියි වගේ. විබාගේ ඉවර වෙලා හුස්මක් ගන්නත් කලින් අනික් පැත්තට ලෝක විනාසේ. මස ගණනක් පුරාවට මහන්සි වෙලා මහන්සි වෙලා , ඒ මහන්සිය නිවාගන්න තියන කාලේ ලෝක විනසෙකට සුදානම් වෙන්න කවුද කැමති? විබාගේට හරි හැටි මුහුණ නොදුන්න අයනම් ලෝක විනාසේ ප්‍රතිපලත් එක්කම  එක්කම ඒවි, කිසිම සැකයක් නැහැ. උසස් පෙළ ප්‍රතිපල එනකම් මග බලන් ඉන්න කණ්ඩායමට උනත් තියෙන්නේ මේ ගැටලුව තමයි.
චිත්‍රපටි බලල බලලා ලෝක විනාසේ සිද්ධවෙන හැටි ගැන හොඳ අවබෝධයෙන් ඉන්න යට අනම් මේක සුළු දෙයක්. ලෝක විනාසේ සිද්දවෙන්න පටන් ගන්නේ කොහෙන්ද, කවදද, ලෝක විනාසේ අවොත් එකෙන් ගැලවෙන්නේ කොහොමද කියලත් මේ අයටනම් හොඳ අවබෝධයක් තියනවා. ඒ නිසා මේ ගැන  ඔවුනට කිසි තැකීමක් නැහැ. ඕනෙම වේලාවකදී ඔහේ ඕනේ දෙයක් වෙච්ච දෙන කියල ඉන්න උදාසීනයන්ටත් ලෝක විනාසේ ඇති අරුමයක් නැහැ. ලෝක විනාසෙට වැඩ ලොකු දෙයක් සිද්ද උනත් ඒ උදවිය ඔය විදියටම ඔහේ බලාගෙන ඉදීවි.
ලෝක විනාසේ පිට පටවලා තමන්ගේ වැඩ යුතු පාඩු කරගන්න කෙනෙක් ඉන්නවනම් ඒ දේ නම් එතරම් සුබ කටයුත්තක් නෙවෙයි. තමන්ගේ වැඩ මග අරින්න ලෝක විනාසෙත් අපුරු හේතුවක් කරගත්තු ටික දෙනෙකුත් අපි අතරේ නැත්තේම නැහැ. ලෝක විනාසේ නාවොත් ඊට පහුවෙනිදට ඒ උදවියට මොනවා හිතේවිද ? ලෝක විනාසය කවදා කොහොම උනත් අපි අපේ ගමන නිවැරදිව යමු. අපේ වැඩ රාජකාරි වලට බාධා කරන්නට මායවරුන්ටවත් , අපේ පෘතුවියේ ගැටෙන්නට එන නිබිරුටවත් ඉඩ දෙන්නේ ඇයි ? 21 ලෝක විනාසේ උනත් නැතත් අපි ජීවත් වෙන පුරාවට අපේ ජීවිතය නිවැරදිව ගත කලොත් පමණයි අපට ඕනෙම විනසේකට බය නැතුව මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ.

21
වෙනිදා  කොයිවගේ දෙයක් සිද්ධ වුනත් ඒ වනතුරු කාලය බයටම දියකරලා අරින්නේ නැතිව ප්‍රයෝජනවත් දෙයකට වැයකරනවා නම් එයින් ඔබටත් යහපතක් වේවි. 



Tuesday, December 11, 2012

රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ !


ගංගොඩවිල සෝම හිමියන් අප අතරින් වියෝවී වසර නමයක්  ගෙවී ගොස් ඇතත්, ගුවන්විදුලි සහ රූපවාහිනි  නාලිකා වලට ස්තුතිවන්ත වන්නට උන්වහන්සේගේ ධර්ම දේශනා අදටත් අපට නොඅඩුවම අසන්නට ලැබේ. මේ හේතුව නිසාම අපේ සෝම හාමුදුරුවෝ අපවත් වී ඇති බවත් සමහර විටදී  අමතක වී යයි. කෙසේ වුවත් සෝම හාමුදුරුවන්ගේ බණ  උන්වහන්සේ වැඩ සිටි කාලයට පමණක් සීමා වුවක් නොවේ. බුදු බණ තුලින් තරුණ ජීවිත හැඩගස්සවා ගැනීම පිලිබදව සෝම හිමියෝ නිරතුරුවම තරුණ පිරිස් දිරිගැන්වූ බව අදටත් අප මතක් කරන්නේ ගෞරවයෙනි.
පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ගංගොඩවිලදීය. වයස අවුරුදු 26ක් වු සෝම තෙරුණුවන්ගේ භාරකාරත්වය 1974දී ලංකාවේ සම්මානීත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහ තෙර වෙත හිමිවිය.සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් මහා සංඝයානන් වහන්සෙලාගේ ක්‍රියා පටිපාටිය ඉගෙන ගනු ලැබුහ. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ  ප්‍රධාන පරමාර්ථය වුයේ  තරුණ පරම්පරාවේ ජීවිත ධර්මය අනුව හැඩගැස්වීමයි. උන්වහන්සේ මේ සදහා ප්‍රවේශ වුයේ "තරුණ සවිය" නැමැති සංවිධානය පිහිටුවා ගැනීමෙනි .
අවසාන කාලය තුළ උන්වහන්සේට අවශ්‍ය වුයේ බෞද්ධාගමේ අගයන් පිළිබඳ මිනිස් සිත් තුළට කා වැද්දීමයි. එපමණක් නොව ගංගොඩවිල සෝම හිමියෝ දහස් ගණන් රටවල් වල සංචාරය කරමින් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ෂාපද පහ සාමාන්‍ය සරල දිවි පෙවතකට අදාළ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ධර්මය පැතිර වීමට කටයුතු කළහ. උන්වහන්සේ විසින් යොදා ගත් සරල අදහස් දැක්වීමේ ක්‍රියා පටිපාටියම ධර්ම දේශනා සාර්ථක විමට ඉතා වැදගත් කරුණක් විය.


 එක ධර්ම දේශනාවකදී උන් වහන්සේ ආදරය සහ පවුල් ජීවිතය ගැන කතා කරද්දීම තවත් තැනකදී මත්  උවදුරේ ආදීනව පිලිබඳ තරුණයන්ගේ අවධානය යොමු කරවූ සේක. විටකදී දෙමවුපියන්ගේ යුතුකම් සහ වගකීම් ඔවුනට මතක් කර  දෙමින් දරුවන්ටද මවුපියන්ට කීකරු වනඅයුරු කියා දුන්හ. එක වරක් සෝම හාමුදුරුවෝ මව් ගුණ පිළිබඳව දම් දෙසු අවස්ථාවක් මගේ මතකයට නැගේ. අලුත් පන්නයේ අම්මලා තම රුපය ගැන සිතමින් දරුවාට කිරි දීම ප්‍රතික්ෂේප කරන බව රහසක් නොවේ. එලෙස හැදෙන දරුවන් මවගේ උණුසුම ගැන නොදනී. එලෙස මවු උණුසුම නොදත් දරුවන් මවුපියන්ට නිසිලෙස යුතුකම් ඉටු කරාවී යයි ලැබෙන සහතිකය කුමක්ද? ඒ අතරදීම උන්වහන්සේ දරුවන් ලැබීමේදී සිසේරියන් සැත්කම් ප්‍රතික්ෂේප කරන මෑණිවරුන් අගය කරන්නටද අමතක නොකළහ. ප්‍රසුත වේදනාව දන්නා මව, උපදින දරුවාගේ අගය දනී. ඒම නිසා මවකට විදිය හැකි වටිනාම වේදනාව ප්‍රසුත වේදනාවයි. .


වර්තමානයේ බොහොමයක් පවුල් අවුල් වලට හේතුව වශයෙන් උන්වහන්සේ දුටුවේ මත රකුසා විසින් ඇති කර තිබු බලපෑමයි. දිනකට මත්  ද්‍රව්‍ය සදහා වියදම් වන මුදල ඉතිරි කරගතහොත් මසකට ඉතිරි කරගත හැකි මුදල් ප්‍රමාණයත්, එම මුදල් වලින් තම ආදරණීය දරුවන්ගේ ජීවිතය සුවපත් කර හැකි අයුරුත් පෙන්වා දුන්නේ උදාහරණ සහිතවය. උන්වහන්සේ වැඩ සිටි පන්සලට නිතර යන එන පස් දරු  දායක මහතෙක් විය. එම දායක මහතා රැකියාව වශයෙන් කලේ ලොරි රථ එලවීමයි. නමුත් එම රැකියාවෙන් සාර්ථකව තම බිරිදටත් දරුවන් පස් දෙනාටත් සැලකීමට ඔහුට හැකියාව ලැබී තිබුනේ ඔහු මත් වතුර ප්‍රතික්ෂේප කළ නිසාවෙනි.

සිංහල ජාතිය වෙනුවෙන්ද උන්වහන්සේ එඩිතරව කතා බහ කලේ කිසිදු විටකදී ජාතිවාදයට අත  නොවනමිනි.  සිංහල ජාතිය විනාස වී යන්නේ වෙනත් කිසිදු ජාතියක බලපෑමක් නිසා නොවන බවත් සිංහලයන්ගේම කුසීත කම නිසා බව ඒත්තු ගන්වන්නට උන්වහන්සේ විශාල උත්සහයක් දැරූ සේක. සෝම හාමුදුරුවෝ අපවත් වුනේ හදිසියේමය. 2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී මහරගම, විජේරාම ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම සදහා රුසියාවට වැඩම කළසේක. එහිදී උන්වහන්සේට ඇතිවු හදිසි හෘදයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස්හි රෝහලකට හදිසියේ ඇතුල් කරන ලද අතර එහිදී උන්වහන්සේගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් වසර 56 ක ආයු වළදා අපවත් වූහ.උන්වහන්සේගේ අපවත් වීම නිසා ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුළ සැක සංකා මතු කරන්නටද හේතු විය.


මේ සෝම හාමුදුරුවෝ අපට දුන් ඔවදන් නිසි ලෙස පිලිපදින්නට පුලුවන්නම් රට ලෝකය ජය ගැනීමට අමුතු උත්සහයක් අවශ්‍ය වන්නේද නැත. උන් වහන්සේ දුන් ඔවදන් තරුණ පරම්පරාව කොතරම් ඇද බැඳ ගත්තේද කියතොත් අදටත් ඔවුනට සෝම හාමුදුරුවෝ අමතක නැත. සෝම හාමුදුරුවෝ  අදටත් වැඩ සිටියානම් අයාලේ යන තවත් පිරිස් යහමග ගන්නට උන්වහන්සේ සමත් වනු ඇත. රට ජාතිය වෙනුවෙන් කවදාක හෝ සෝම හාමුදුරුවෝ යලිත් අප අතරම ඉපදෙනු ඇත.

"අතීතයේ ජාතියත් රටත් රකින්නට සාසනේ රකින්නට ඉදිරිපත් වෙලා දේශපාලනය කරපු බික්ෂුන්වහන්සේලා හිටිය. සමහරක් විට සමහරක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම මේ ආත්මේ නිවන් දකින්නට අදහසක් නැහැ. මම  හිතනවා මම එතනට ගිහින් මේ රටත් ජාතියත් මේ රටේ  සමගියත් ඇති කරලා සම්බුද්ධ සාසනෙත් ආරක්ෂා කරගෙන මේ කටයුත්ත කලොත් මට නිවන් දකින්න හොඳ පින්කමක් වෙයි එක. කුසල කර්මයක් වෙයි. මම ඒ අරමුණෙන් වැඩ කරනවා.”




දෙමව්පියන්ගේ රැකවරණය නොසිතු ලෙස අහිමි වී ගියහොත් ?

දරුවන්ට දෙමව්පියනුත්, දෙමවුපියන්ට දරුවනුත් තරමට වටිනා වස්තුවක් මේ මිහිපිට තවත් නොවේ. දෙමව්පියන්ගෙන් දරුවනට ලැබෙන සෙනෙහස සහ රැකවරණයට සම කල හැකි අන් කිසිවක්ද නොමැත. මව් පිය සෙනහස දන්නා කෙනෙකුට මේ පිළිබඳව පුන පුනා කියා දැක්වීම අර්ථයක් රහිතය. මව් කුස ඔබ පිළිසිද ගත දිනයේ පටන් ඔබ වෙනුවෙන් ඔවුන් කල ඇති මෙහෙය වචන කිහිපයකින් විස්තර කිරීම කිසි ලෙසකින් වත් කල නොහැක්කකි. කුඩා බිලිදුන් කසල ගොඩවල, ගං ඉවුරුවල අතරමන් කර යන මව්වරුන් සිටින සමාජයක, දහසක් අපහසුතා මැද  ඔබ රැක  බලා ගැනීමම ඔවුන්ට දිවිය පුරාවටම කෘතවේදී වීමට ප්‍රමාණවත්ය. දෙමව්පියන්ගේ සෙනෙහස සහ ආශීර්වාදය උපරිමයෙන් ලබා ගන්නට හැකි වන්නේ උපරිම  වසනවන්තයින්ට පමණකි. දෙමව්පියන්ගේ රැකවරණය නොසිතු නොපැතූ ලෙස අහිමි වී ගියහොත් ? එවැන්නක් සිදුවීම ගැන කතා කරන්නට නොව සිතන්නටවත් සිත ඉඩ නොදේ. නමුත් මව හෝ පියා හෝ මව පියා දෙදෙනාගේම රැකවරණය අහිමි දරුවන් සමාජයේ දුලබ නොවේ. මව්පිය රැකවරණය අහිමිව ගියද ජීවිතය අසාර්ථක කර නොගෙන සාර්ථකව එයට මුහුණදී ජය ගත්තෝ බොහෝය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගන්නට හැකි වන්නේත් තමන්ටමය. ඔවුන්ගේ වියෝවකදී දැනෙන වේදනාවට සම කල හැකි වේදනාවක්ද නොවේ.

 
ඔබ නොසිතු මොහොතකදී මවගේ හෝ පියාගේ රැකවරණය අහිමි වුවහොත්:

දුක තුනී කර ගැනීමට ඔබට අවශ්‍ය  තරම් කාලය ලබාගන්න. 

 එක්  එක්  පුද්ගලල්යින්ට දුක තුනී කරගැනීම සඳහා විවිඩ  කාල සීමාවන් ගතවේ.සමහරෙක් ස්වභාවයෙන්ම ඉක්මනින් දුක තුනී කරගැනීමට සමත් වුවත් සමහරෙක් ඒ සඳහා දිගු  කාලයක් ගත කරයි. ඔබ ගැටෙන්නේ ඔබේ දිවියේ මුහුණ දීමට සිදුවන විශාලම වියෝවක් සමගය. එම නිසාම ඒ දුක තුනී කරගැනීම සරල නොවන ක්‍රියාවලියකි. ඒ සදහා ඔබට අවශ්‍ය තරම් කාලය ලබාගන්න.

හිතවතෙකුට කතා කරන්න, ඔබේ හිතේ ඇති දේ පවසන්න 



ඔබේ හිතේ ඇති ශෝකය සිත තුලම හිර කරගෙන පීඩා විදිනවට වඩා  ලගම මිතුරෙකුට හෝ හිතවතෙකුට ඒ පිළිබඳව පවසන්න. එය ඉක්මනින් දුක තුනී කරගැනීමටත් ඔබට උදව්වක් වේවි. හිතවතෙකුට කතා කිරීමට අකමැති නම් ඔබේ පාසලේ හෝ රැකියා ස්ථානයේ ඔබ වෙනුවෙන් රැදී සිටින උපදේශයෙකුට කතා කරන්න. දැන් අප රටේ බොහෝ පාසල් වල සහ රැකියා ස්ථානවල ඔබේ ගැටළු කතා බහ කරගැනීම සදහා විශේෂ උපදේශකවරයෙකු සිටීම සුලබව දැකිය හැක්කක්.


පිරිහුණු ශක්තිය ක්‍රමයෙන් නැවත ගොඩ නගා ගන්න.
  මව්පියන්ගේ වියෝවකදී ඔබව අධෛර්යයට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් සදාකාලිකවම දුකින් දුර්මුඛව සිටීමෙන් ඔබට හෝ මියගිය දෙමව්පියන්ට ප්‍රයෝජනයක් නොමැත. මියයන්නට පෙර මව්පියන් ඔබ කෙරෙහි තැබූ බලාපොරොත්තු අපමණය. ඔබ සදාකාලිකවම දුකින් පීඩා විදින අයෙකු වනු දැකීම ඔවුන්ගේ බලාපොරොත්තුව නොවේ. දුක තුනී කරගන්නට ගන්න උත්සහයීදීම, ඔබ කලින් ගත කල ජීවිතයටම නැවත ගමන් කිරීමට උත්සහ කරන්න. වැටුණු තැනින් නැගිට ඔබේ කටයුතු මැනවින් ඉටු කරගැනීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගන්න.

පුර්ව දේවතාවා හැමදාමත් මතකයේ තබා ගන්න. 



අද ඔබ ළඟ සිටියේ නැතත් ඔවුන් නිරතුරුවම ඔබේ දිවියේ කොටසක් වීම වැළක්විය නොහැක. මන්දයත් ඔබ අද සිටිනා තත්ත්වයට පැමිණීමට පදනම කැපුවේ ඔවුන්ය. ඔවුන් සමග සතුටු වුනු අවස්ථාවන් හැමදා මතකයේ තබාගන්න. ඔවුනට ඔබේ හදවතේ ඇති ස්ථානය හැමදාමත් සුරක්ෂිත කරගන්න.

 ඔබ, ඔබ ගැන පෙරට වඩා සැලකිලිමත් වන්න.

මව්පියන් අහිමිවීමකදී ජීවිතය පිළිබඳව කලකිරීමට පත්ව තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව ඇති සැලකිල්ල අඩු නොවීමට වග බලාගන්න. කෑම කෑවාදැයි  අසන්නට බලන්න මව හෝ පියා නොමැති නිසාම වෙලාවට ආහාර ගැනීමට ඔබම ඔබට මතක් කරගන්න. පෙර පරිදිම ව්‍යායාම කරන්න. විවේක ගන්න. ඔබ ගැන පෙරට වැඩ සැලකිලිමත් වන්න. මීට අමතරව ඔබ අදහන ආගමකට අනුව ඒ ඒ පුජනීය ස්ථානයකට ගොස් පින්කම් කිරීම, අලුත් විනෝදාංශයක් ඇති කර ගැනීම, ලොව සාර්ථකව දුක දින ජයගත්තවුන්ගේ කතන්දර කියවීමෙන් ඔවුන්ගේ අත්දැකීම් ඔබේ කරගනීමෙනුත් ඔබට නැවතත් ශක්තිමත්ව නැගී සිටින්නට අත්වැලක් වේවි.