Monday, December 9, 2013

ආරක්ෂාව


 
ඔබගේ දෙවොල අභියස

පින්තූරය :
http://opinionsandexpressions.files.wordpress.com/2009/05/chilli-and-lemon.jpg
දැල්වූ පහන් නිමී යනතුරාවට
මුණුබුරා කපා දෙන
සිහින් දිගු කම්බියට
සීය හතලිහට දෙන
ගෙඩියෙන් ගෙඩිය අමුණා
බැතිමතුන්ගේ චිත්ත පීඩා
ඈත් කර සනසන්න
තැනින් තැන ගෙනියන
රෝද හතරත් ජීවිතත්
මරුවගෙන් රැක ගන්න
කහ දියෙරෙන් පොඟා 
මම කාසියට විකුනන
ආරක්ෂාව…

මගෙ පුංචි පැල්පතේ
ග්‍රහ අපල දුරු වෙන්න
මිල මුදල් ගැවසෙන්න
පුංචි මුණුබුරාගේ
ඉස්කොලේ හරියන්න
එක නැට්ටෙ දෙහි තුනක්
කහ දියරෙ පොඟාලා
කම්බියක අමුණලා
උළුවස්සේ එල්ලන්න
මට තවම ඉඩ නොමැති
ආරක්ෂාව…


නිමිත්ත : පෑලියගොඩ කෝවිල් ගේට්ටුව අසල ආරක්ෂාවන් විකුණන සීයා සහ මුණුබුරා (ඔවුන් ලේ නෑයන්ද යන්න මම නොදනිමි )   

Thursday, November 21, 2013

අළුත් පොතේ - පරණ අකුරු

රළු පරළු වී ගිය
අකුරු බොඳ වී ගිය
පොතක් මා ලඟ විය
නිතර තනිවට කියවිය

කාලය ගෙවි ගිය
පොතද අතටම දිය විය
පැරැණි පිටු ගැලැවිය
අළුත් පොතකට කල් විය

පැරැණි පොත වෙත සමු දී
අළුත් පොතකට සිත දී
රැගෙන විත් බර දී
අළුත් පිටුවක් පෙරැලී

පෙරළුනු අළුත් පිටුවේ
පැරැණි අකුරුය තිබුනේ
ඝනැති හම් කවරේ
නොමැත වෙනසක් කෙරුවේ

Sunday, November 17, 2013

උඹේ ගවුම


නංගිගේ ගවුමේ කටු සටහන
නංගියේ ඔය ගවුම
උඹෙ ඇඟේ හැඩේමයි
පවිටු තැන් කිළිටි තැන්
සඟවන්න අමාරුයි.

තරුණ ඇස්, මහළු ඇස්
අමුතු ඇස් මහ ගොඩයි
ගවුම් කර විනිවිදත්
ගියපු බව සහතිකයි

(උඹේ හෙට දවස ගැන
අනෙ නඟේ මට බයයි...)

Tuesday, November 5, 2013

අයිතිය






 'ගැහැණිය අයිති මිනිසාටයි' යන්න
වැටහුණු දා පටන්
මා අයිති ඔබට යැයි
මා සිතා උන්නෙමි...

ගොඩනැගූ මනෝ මන්දිර
බිත්ති සැරසු රූ සියල්ලෙහි
මගේ තනි රකිමින්
නිබඳ ඔබ මා අසළ විය...

මා ඔබෙ ගැහැණිය නොවන බව
ඔබ මට පසක් කර දුන් දිනයේ
මනෝ මන්දිර සියල්ල
ක්ෂණයෙන් බිඳී සමතලා විය...

ඔබට හිමි යැයි මා සිතා උන්
මගෙ අයිතිය
මටද අහිමිව ගිහින් ඇති බව
ඉතින් මට වැටහී ගියේය... 

Tuesday, October 29, 2013

සර්ප සෙනෙහස

විෂ දළට බියෙන්
තනිකර දමා ගිය
සැපින්නක් ලඟට ගෙන
ලෙන්ගතුව කිරි පෙව්වෙමි.
කෑදරව කිරි බිවු සැපින්නද
මට පෙරළා ආදරය පෑවාය.
එයින් මසිත ද ඔද වැඩී ගියේය.
ඇය කිසිදා දෂ්ඨ නොකරාවි ‍යැයි
මම නිකමට සිතුවෙමි...

එනමුදු එක් දිනක
සර්ප සෙනෙහස වෛරයට පැරදුනි.
ඇය පෙණය පුප්පා
විෂ පිරුණු දළයෙන්
මට දෂ්ඨ කළාය...

වේදනාවක් දැනුනා වුවත්
මා පුදුමයට පත් නොවූවෙමි.
මන්දයත් කිරි පොවනා විටද
ඔබ පෙරළා දෂ්ඨ කරනා බව
මම හොඳින්ම දැන සිටියෙමි...




Friday, October 25, 2013

බාධාව

ගිහිගෙයින් නික්මෙන්න
වන ගතව තනිවෙන්න
හිමි හිමින් මෝදු වුණු
පුංචි ආශා කැකුළු
නොපිබිදිම මැළැවුණේ...

ගඩොලින් ගඩොල බැඳි
තවත් එක් ගිහි ගෙයක
වත්ත කෙළවර පුංචි පඳුරක
සුවඳවත් පොඩි රෝස කුසුමක්
පිපී නැලැවෙන නියාවෙනි...


Thursday, October 24, 2013

රස මසවුළු අතර...

ඔබ අතින් පිළිගැනෙන
කුස පුරා ගිජුකමින් ගිල දමන
රස අහර බඳුන් වල
එකතු වී තිබෙන්නේ
ඔබේ ළඳරුවන්ගේ
කුස පුරා ඇවිලෙනා
ගින්දරේ උණුසුමින්
ඔබෙ ගතින් මතුවෙනා
දහඩියේ බිඳිති බව
මේ විසල් මන්දිරේ
මැති ඇමැති දනන් හට
සිහි නොමැත සහතිකයි.













2012.01.24