Saturday, September 29, 2012

බෝ වෙන හොඳ ගති ගුණ

දයාබර දියණිය වෙතටයි,

ජූනි මාසයේ දිනයක මා රාජගිරියේ පිහිටි වික්ටෝරියා නිවාසයට ගියේ මිතුරකුගේඋපන්දිනයක් වෙනුවෙන් පිරිනැමෙන දානමය කටයුත්තකට සහභාගී වන්නට. ඔබත් නිතර එහි යන එන බව මට මතකයි. සොම්නස සහ දොම්නස අතර ඇති පරතරය නොසලකා හැරිය තරම් වූ කුඩා බව පුණ්‍ය කර්මයක් අවසානයේදී සටහන් තබන පොතේ කවුදෝ ලියා තිබුණා. එය පරම සත්‍යයක් බව එහි යන හැම වතාවකම මට දැනෙනවා. මීළඟ වතාවේදී ඔබටත් එය අත්විඳිය හැකි දැයි බලන්න. තනිවම කිසිත් කර ගත නොහැකි වුවත් එහි සිටින අයගේ මුහුණුවල දකින්නට ලැඛෙන සන්තෝෂය හඳුනා ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ සිනා මුහුණුවලින් අපට ආපසු ගෙන ආ හැකි දේ බොහොමයි. කිසිම කෙනෙක් තමා පත්ව සිටින තත්ත්වය පිළිබඳ ව මැසිවිල්ලක් නගනු තබා සිතන්නේවත් නැහැ. දෑතේ කර්මාන්තයක් කළ හැකි අය නිර්මාණකරණයේ යෙදෙමින් සුළු ආදායමක් උපයා ගන්නවා. අනේක දුක්ඛ දෝමනස්සයන්ට නිරන්තරයෙන්ම ගෝචරව ඇති මගේ සිත එහි දී පාවෙන සුළඟක හෝ පා කර හරින්නට මොහොතකට හෝ මා උත්සාහ ගන්නවා.

මා අද ඔබට කියන්නේ එහි දී මා දුටු අගය කළ නොහැකි තරම් වටිනා දෙයක් පිළිබඳවයි. උපන් දිනය වෙනුවෙන් පිරිනැමුන දානය අවසානයේ මා දන්නා හඳුනන අය සමග කතා බහ කිරීමට වාට්ටුවෙන් වාට්ටුවට ගියා.

ජීවිතයේ තරුණ කාලයේ දී සිදු වූ බරපතල රිය අනතුරකින් සදාකාලිකවම ඔත්පල වූ විමලසිරිගේ මුහුණ කවදත් ප්‍රිය මනාපයි. ඔහුගේ ඇඳ අසල කුඩා පුටුවක පුංචි කොලු පැටියෙක් වාඩි වී සිටියා. ඇත්තටම මගේ සිත ගැස්සුණා.

— මෙයා මොකද මෙතන කරන්නෙ?˜

මා ප්‍රශ්නය යොමු කළේ විමලසිරිට.

— ආ , එයා හැමදාම ඉස්කෝලෙ ඇරිලා එනවා. ඇවිත් හැමෝටම උදව් කරනවා˜

විමලසිරි ගේ පිළිතුරෙන් මා තරමක් සහනයකට පත් වුනා.

— කොහෙටද පුතේ ඉස්කෝලෙ යන්නෙ?˜

පාසල් නිල ඇඳුමේ කමිසය උනා තබා කොට කලිසම සහ මේස් බැනියම ඇඳ සිටි පුංචි කොලු පැටියාගෙන් මා විමසුවේ

ඔහුගේ උරහිසට අත තබමින්.

— රාජගිරියේ ජනාධිපතියට˜

— කීවෙනි පන්තියෙ ද?˜

— හතේ ˜

— මෙයා ගෙ සීයා මෙහෙ ඉන්නවා. එයා සීයත් එක්ක එනවා.˜

විමලසිරිගේ කතාවෙන් මා නැවතත් අන්දුන් කුන්දුන් වුනා.

— සීයා? ඇයි, සීයට මොනව වෙලාද?˜

— සීයා මෙහෙ වත්තෙ වැඩ කරනවා˜

විමලසිරිගේ පිළිතුර නැවතත් මගේ හද ගැස්ම අඩු කළා.

— මෙයා කොහොමද උදව් කරන්නෙ?˜

— එයා හැම දේටම උදව් කරනවා. කන්න බැරි අයට කවනවා. ඇවිදින්න බැරි අයට ඇවිදින්න උදව් කරනවා.ළඟින් ඉඳගෙන කතා කර කර ඉන්නවා. එයා ළඟින් හිටියත් අපට සැනසිල්ලක්˜

විමලසිරිගෙ කටහඬේ ගැබ්වෙලා තිබුණ හැඟීම හඳුනා ගන්නට මා තවමත් උත්සාහ කරනවා. ඒ සතුට ද? කෘතගුණපූර්වකත්වය ද? එසේත් නැත්නම් අපට කවදාවත් හඳුනාගන්නට නොහැකිවන ඉතාමත් ආදරණීය වූ ආගන්තුක හැඟීමක් ද? ඇත්තටම දයාබර දියණියේ, මා තවමත් ඒ හ~ හඳුනා ගන්නට උත්සාහ ගන්නවා.

ගිලානෝපස්ථානය පිළිබඳ මුල්ම මෙන්ම අතිශයින් ප්‍රබල වූ පාඩම අපට උගන්වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ශරීරය පුරාම පැතිර ගිය සැරව ගෙඩි පුපුරා ගොස් ඕජස් ගලමින් සිටි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අසලට කිසිවකු ගියේ නැහැ. ඔබට මතකද දහම් පාසල් පොතේ මේ කතාව. ඇඟ පුරා ඛෙලි ගෙඩි තරම් විශාල වූ සැරව ගෙඩි සැදී ඔත්පල ව දුර්වල සිටි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ ගේ පින්තූරය ඔබට මතක ඇතැයි සිතමි. දහම් පාසල් පොත රචනයේ දී මෙම කතා පුවත ඉතාමත් ප්‍රබල හැඟීම් උපදවන ආකාරයට ඉදිරිපත් කර තිඛෙනවා. සියල්ලන් විසින් අත්හැර දමන ලද රෝගී තෙරුන් වහන්සේ ට පිහිට වන්නේ අපේ බුදු පියාණන් වහන්සේ. තෙරුන් වහන්සේව පිළිකුළෙන් බැහැර නොකළ බුදු වහන්සේ උන් වහන්සේව නාවා පිරිසිදු කිරීමෙන් අනතුරුව ඛෙහෙත් ගල්වා සුවපත් කරනවා. අපට මේ උගන්වන්නේ කළ යුතු දෙය නොවේ ද?

වික්ටෝරියා නිවාසයේ දී මට මුණ ගැහුණ පුංචි පුතා නියෝජනය කරන පරම්පරාවක් අපට සොයා ගත හැකිද? එසේ නැත්නම් ඒ පුංචි කොලු පැටියා ස්වභාවධර්මයේ අහඹු නිර්මාණයක්ද? පරිච්ඡෙද කිහිපයක් පසුකරමින් බොහෝ උදාහරණ සපයමින් මහත් පරිශ්‍රමයකින් සිත තුළට කාවැද්දිය යුතු මහාර්ඝ වූ ගුණාංගයක් ඒ පුංචි සිත තුළ පැහැදිලිවම පැලපදියම් ව තිඛෙනවා. මේ හපන්කම කළේ කවුරුන් වුවත් එය එසේ මෙසේ හපන්කමක් නොවේ. දෙමවුපියන් විය හැකියි. මුණුබුරා තමා පසුපස කැඳවාගෙන එන සීයා විය හැකියි. ශිල්ප සාදන පාසල විය හැකියි. මේ සියල්ලන්ගේම එකතුවක් විය හැකියි. එසේත් නැත්නම් සසර පුරුද්දක් විය හැකියි. ඒ කෙසේ වෙතත් ආදරණීය දියණියේ, මා ඔබට පසුගිය දිනක හඳුන්වා දුන්
බෝවන හොඳ අතරට මෙය ද එක් කළ යුතුයි.

වියපත් වෙන මගේ ජීවිතයේ මා ලබා ගන්නා අතිශයින් දුර්ලබ වූ අත්දැකීමක් මට ලබා දෙන හතේ පන්තියේ පුංචි පුතාගේ අනාගතය සාර්ථක වීමට අවශ්‍ය යෝධ බල යෝධ සවිය ඔහුට ලැබේවා යයි මා ප්‍රාර්ථනා කරමින් ලබන සතියේත් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා .

                                                                                                    ඉන්ද්‍රානි වසන්තා පීරිස් නැන්දා

No comments:

Post a Comment